අවසන් කැළැල 50 LAST
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
සැබැවින්ම මා සාමාන්ය බව පෙන්වීමට මට අවශ්ය විය. ප්රශ්නයක් වූ විට නොකා නොබී හඬමින් තැවෙනා බොළඳ කෙල්ලෙකු මා තුළ නොවන බව පෙන්වීමට මට අවශ්ය විය. විහාන් මා දෙස හොරහින් බැලුවා ඇරෙන්නට හිස ඔසවා හෝ මා දෙස බැලුවේ නැත.
ඔහු ඇති කළ කැළැලේ දිග පළල පවා තවමත් මා ගණන් කළේ නැත. එතරම් රිදුමක් හදවතට දැනුණත් මම නොදැනුණා සේ උන්නෙමි.
රාත්රීය උදා වී හෝරා කිහිපයක් ගෙවුණ තැන අරුල් විහාන් සමඟ යන්නට ගියේ ය. ඔහු යන්නට පෙර මා උණුසුම් ලෙස වැළැඳ ගනිමින් මගේ නළල සිප ගත්තේ ය. අවසානයේ ඔහු සමුගෙන යන්නට ගියේ ය. පිටතින් අත හැර දැමූ නමුත් ඇතුළතින් සුවපහසු පාළු නිවසේ මම තනි වුණෙමි.
අරුල් යන්නට පෙර මගේ කණට කොඳුරා කියූ වදන් මට යළිත් සිහිපත් විය.
"හැමදේකටම පස්සෙත් මං තමුසෙට ආදරෙයි සරීනා.. "
ආදරණීය පාඨකය.. පෙර දිනෙක ඔහු එසේ කියා මා ඇමතිතුමාට පවරා දුන්නේ ය. එහෙයින් ඒ වදන් වල තවත් කිසිදු වටිනාකමක් නැත. මගේ කැළැල් පිරි ආත්මය මත අරුල් යනු තවත් එක කැළැලක් පමණි.
මම උදාසීන ලෙස යහනේ ගුලි වුණෙමි. විහාන්ගෙන් මෙතරම් ද්රෝහිකමක් මම කිසි දිනෙක අපේක්ෂා නොකළෙමි. ඔහුත් ඔහුගේ පියා මෙන්ම මාව පාවිච්චි කළා පමණි. ඇමතිතුමා මා ඔහුගේ ශාරීරික අවශ්යතා වෙනුවෙන් පාවිච්චි කළේය. ඔහු ඔහුගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට මා පාවිච්චි කලේය.
අවැසි නම් මගේ අරමුණ පසෙකින් තබා ජීවිත කාලයම රැජිණක් මෙන් සැප විඳින්නට තවම මට අවස්ථාව තිබේ. නමුත් තවමත් මම එක දෙයක් දැඩිව විශ්වාස කරමි.
කිසිදු වරදක් නොකළ වුන් තලා පෙළා දමමින්, ඔවුන්ගේ සැනසීම හූරා කමින්, ඔවුන්ගේ ආත්මය මත නොමැකෙනා වේදනාත්මක කැළැල් තබනා එවුන් වන්දි ගෙවිය යුතුය. කිසිදු අනුකම්පාවකින් තොරව ඔවුන් කළ සියලු පාපයන්ට ඔවුන් දඬුවම් විඳිය යුතුය.
මම යහනේ ඒ මේ අත පෙරළෙමින් නිදා ගැනීමට උත්සහ කළෙමි. ඇස් පියවෙන වාරයක් පසා විහාන්ගේ අතිශය දරුණු ඝණයේ ද්රෝහිකම සිහිපත් වේ. ඔහු යළිත් මා පහතටම ඇද දැම්මා නොවේද..?
සිතුවිලි අතර සිරව උන් මට නින්ද ගියේ කිනම් මොහොතකදැයි මම නොදනිමි. නමුත් අඩ නින්දේ සිටි මම එකවරම ගැස්සී ඇහැරුණෙමි. මම යහන මත අත ගා දුරකතනය අතට ගත්තෙමි. පාන්දර එක පහු වී මිනිත්තු පහක් ගත වී ඇත.
හරි හමන් නින්දක් මෙන්ම සිතට සැනසීමක් නැති බැවින් හිස යන්තම් රිදුම් දෙමින් තිබුණි. යහනෙන් නැඟිට ගොස් වතුර ටිකක් බොන්නට සිතුණත් මම යළිත් යහනේම ගුලි වුණෙමි. ඒත් සමඟම වියළි කොළ රොඩු පෑගෙන හඬක් මිදුලින් ඇසුණි.
කාත් කවුරුත් නැති මේ පාලු නිවහන වටා තිබුණේ මාස ගණනකින් පමණ ඉදලක් නොදුටු මිදුලකි. යළිත් ඒ හඬ ඇසෙද්දි මම හොඳින් කන් දී අසා සිටියෙමි. කවුරුන් හෝ මිදුලේ ඇවිදිනවාදැයි සිතමින් මම තවත් මොහොතක් බලා උන්නෙමි.
සතෙක්, සර්පයෙක් විනා මේ පාලු නිවහනට එන්නට කවුරුවත් නැත. ඇරත් මේ වෙලාවට අරුල් හෝ විහාන් එතැයි අපේක්ෂා කරන්නට නොහැකිය.
තවත් විනාඩි ගණනකට පසු එවැනි හඬවල් කිහිපයක්ම ඇසුණි. එක මොහොතක, එකම එක මොහොතක ඒ මිනිස් අඩි හඬක් බව මට සිතුණි. ඒ තප්පරේම මම යහනින් බැස ඇතුළතින් අගුලු දැමූ පිටතින් ලෑලි ගසා වසා තිබූ ජනේලයක් අද්දරට ගියෙමි.
නොදන්නා තැනක කාත් කවුරුවත් නොමැතිව තනි වූ විට හිතේ මැවෙනා තවත් එක් මායාවක්දැයි සිතමින් මම තවත් මොහොතක් කන් දී ගෙන සිටියෙමි. නිහඬව ගෙවුණු විනාඩි ගණනකට පසු යළිත් ඒ අඩි හඬ ඇසුණි.
නාගරාජ්ගේ මිනිසුන් මා සොයා අපි පසුපසින් මෙහි පැමිණියාද..?? නැත්නම් මේ අරුල් කියූ මේ වත්තට බලා ගන්නා වියපත් මිනිසා ද..? මගේ හදගැස්ම මගේ පාලනයකින් තොරව ඉහළ යමින් තිබුණි.
යළිත් අඩි හඬ ජනේලය අසලින්ම ඇසෙද්දි මම වහා යහනට දිව ගොස් අරුල්ගේ අංකයට ඇමතුමක් ගත්තෙමි. නමුත් ඇමතුම සම්බන්ද වීමටත් පෙර විසන්ධි විය.
කවුරුන් හෝ මා වටා සැරිසරන බව සක්සුදක් සේ පැහැදිලිය. මරණ බය කෙමෙන් කෙමෙන් මා වෙළා ගනිද්දී මම වෙව්ලන ඇඟිලි තුඩු වලින් යළිත් අරුල් ඇමතුවෙමි. නමුත් ඔහුගේ දුරකතනය ක්රියාවිරහිත කොට ඇත.
පාදාන්තයේ සිටම ඇවිලෙන බියකින් මගේ මුළු ගතම ගිනියම් විය. මා කළ යුත්තේ කුමක් දැයි සිතන්නටත් පෙර සුළඟත් සමඟ මුසුව ආ පෙට්රල් සුවඳ නහයට දැනුණි.
දෙවියනේ...!! ඒ පාපතරයන් මා පණ පිටින් ගිනි තියන්නට සූදානම් වන බව මගේ යටි හිත මට අනතුරු ඇඟෙව්වේය. එක මොහොතකට මගේ සිහිය මවෙතින් ගිලිහුණි. අරුල්.. විහාන්.. ඇමතිතුමා.. නාගරාජ්.. සියල්ලන්ගේම බහිරව රූප මගේ මනසේ ඇදී මැකී යද්දි පියවි සිහියට පැමිණෙන්නට මම උත්සාහ කළෙමි.
මා ජීවත් විය යුතුය. මගේ ආත්මයේ අවසන් කැළැලත් මැකී යන තුරුම මා ජීවත් විය යුතුය. ඇස් වලින් ගැලු කඳුලු පිසදා ගෙන මම කාමරයෙන් පිටතට දිව ආවෙමි.
සාලේ කොණේ තිබූ කොරිඩෝවෙන් මම මුලුතැන්ගෙයට ආවෙමි. එහි දොර තිබුණේ ඇතුළතින් අගුලු දමා පමණි. මම එය විවර කරන්නට කිහිප වරක්ම උත්සාහ කළෙමි. එය තිබුණේ එළියෙන්ද වසා දමා ය.
ඒත් සමඟම දුමාරයක් පැතුරුණි. මොහොතකින් මුලුතැන් ගෙය පුරා ගිනිදැල් නැගුණි. මම තවත් එහි නොසිට කොරිඩෝවෙන් සාලයට පැමිණියෙමි. ගින්න සෑම තැනකම පැතිර ඇත. මම පිස්සියෙකු මෙන් දිවි බේරා ගැනීමට මගක් සොයමින් ගේ පුරා දිව්වෙමි. වරක් නොව දෙවරක් පා පැකිලී මා බිම ඇද වැටුණි.
නමුත් සෑම දොරක් මෙන්ම ජනේලෙක්ම තිබුණේ එළියෙන් වසා දමා ය. ජනෙල් කඩන්නට උත්සාහ කරත් ගිනිදැල් මා පරදා සියල්ලම ආක්රමණය කළේය. නහයට දැනුණේ පිච්චෙන ගඳ පමණි.
මම යළිත් කාමරයට ගොස් දුරකතනය සොයා අරුල්ට ඇමතුමක් ගත්තෙමි. නමුත් ඔහුගේ දුරකතනය තිබුණේ ක්රියා විරහිත කරය. ඒත් සමඟම ඔහුගේ නමිත් දුරකතනයට පණිවිඩයක් ලැබුණි.
"මිනිස්සු කරන්නෙම හුවමාරු කරන එක. මට ඇමතිතුමාට ළං වෙන්න තමුසෙව හුවමාරු කරා. දැන් ඇමතිතුමා බේර ගන්න තමුසෙව හුවමාරු කරන්න වෙනවා. කරන්න දෙයක් නෑ සරීනා. මිනිස්සු තෝර ගන්නේ තමන්ට වැඩිපුර වටින දේ. මමත් සාමාන්ය මනුස්සයෙක්.. "
දෙවියනේ...!! මේ සා වූ රැවටීමක්.. පාවදීමක්..
"අරුල් තමුසේ මිනිහෙක් නෙවෙයි. අමු සතෙක්.. "
මම හඬින් කෑ ගැසුවෙමි. අරුල් මා නාගරාජ්ගේ මිනිසුන්ට පාවා දුන් බව පැහැදිලි ය. මගේ හිතේ නැගෙනා කෝපයත්, වෛරයත්, වේදනාවත් දරා ගත නොහැකිව මම මහ හඬින් කෑ ගැසුවෙමි.
ඔහු මා රවටා මා උගුලකට හසු කොට යන්නට ගොසින් ය. විහාන් සියල්ලම දැන ගෙනත්, සියල්ලටම ඉඩ දී ඔහුත් මග හැර ගොසින් ය.
ගිනිදැල් මතින් නැගෙනා දුම මා වට කර ගනිද්දි මම පසුපසට ගොස් බිත්තියට ගුලි වුණෙමි.
ආදරණීය පාඨකයිනි.. මම ගුණවත්, සිල්වත් ගැහැණියක ලෙස ජීවත් නොවූවෙමි. නමුත් මෙතරම් පහසුවෙන් සහ ඉක්මනින් මරණය මා සොයා එතැයි මා විශ්වාස නොකෙළෙමි. අරුල්, ඇමතිතුමා... සියල්ලන්ම එක්ව මගේ ජීවිතය විනාශයට ඇද දැමූ නමුත් ඔවුන් මාරයාගෙන් ගැලවී සුව විඳියි.
හුස්ම ගන්නට අපහසුවෙන් මම කැස්සෙමි. සාලයේ වහළ ගිනිගෙන බිමට කඩා වැටෙනු ඇසුණි. එසේ නම් මෙය මාගේ අවසන් මොහොතද.. ??
මගේ ජීවිතේ තිබු එකම අරමුණ ඉටු කරන්නට නොහැකිව අප්පච්චී මා බාර ගනීද..?? මගේ ආත්මය පුරා විහිදුන කැළැල්හි වේදනාව සිය දහස් ගුණයකින් මා ආක්රමණය කරයි.
දෙවියනේ...!! හුස්මක් පවා පෙණහලු ඇවිලෙනු දැනී මම නහය වසා ගත්තෙමි. මුළු කාමරයම දුමෙන් වැසී ඇත. තව දුරටත් දෑස් හැර ගන්නට නොහැකිව මම දෑස් තද කර පියා ගතෙමි. ඊලග තප්පරේ මගේ ගත මට අවනත නොවී පණ නැතුව යනු දැනුණි.
අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකිවම මම බිම ඇඳ වැටුණෙමි. මේ සරීනා පොළවටම ඇඳ වැටුණි. තවත් මොහොතකින් මගේ සිහිය මවෙතින් පළා ගියේ ය. කිසිවක් නොදැනී යන තුරුම මම ඇමතිතුමාටත්, අරුල්ටත් වෛර කළෙමි.
මොහොතකින් මට කිසිවක් නෑසී ගියේ ය. මගේ දෙසවන් අගුලු වැටුණි. අඩවන් දෙනෙතින් මම ගිනිදැල් දෙස බලා සිටියෙමි. අවසානයේ සියල්ල අඳුරු විය.
_____________________________________
අද කියන්න ඕනි නිමි කියලද මතු සම්බන්ධයි කියලද මට හිතා ගන්න බෑ. ඔව්.. මීට වඩා කර්කෂ දෛවයක් සරීනා වෙනුවෙන් බලන් ඉන්නවා.
මේක මතු සම්බන්දයක් විතරයි. කැළැල් දෙවෙනි කොටස එක්ක අපි ඉක්මනටම හමුවෙමු.. මතක තියා ගන්න.. සරීනාටත් වඩා ජීවිතේ පතුලෙම හුස්ම ගන්බ හුගක් ගැහැණු අපි අතරෙම ඉන්නවා.
තමන්ගේ ආත්මේ එකම එක කැළැලක් නැති ගැහැණියක් ඉන්නවා නම් අනේ මට කතා කරන්න. රජ පවුලේ ඉපදුණත්, දුගී ගෙපැලක ඉපදුණත් සෑම ගැහැණියක්ම කැළැලක් බිඳීමක් උරුම කර ගන්නවා.
සරීනා කියවපු සමහර නෝනාලා මට ඉන්බොක්ස් ඇවිත් බැන්නා. ඔයා මොනාද මේ ලියන්නේ කියලා. හැබැයි මං කාටවත් උත්තර දුන්නේ නෑ. මොකද කැළැල් ලියන්නේ මං නෙවෙයි. මගේ හදවතට ආරූඪ වුණ සරීනා.. මං කරන්නේ ඒ සිතුවිලි වලට මාව හසුරවන්න බාර කරන එක.
මං ආසයි අද කැළැල් කියවන හැම කෙනෙක්ගෙම අදහසක් කියවන්න. මං ඉල්ලන්නේ එච්චරයි. වචන් දහස් ගාණකට පස්සේ මං වෙනුවෙන් සරීනා වෙනුවෙන් වචන කිහිපයක් පහළින් ලියන් යන්න.
ඉතින් අපි කැළැල් දෙවෙනි කොටසත් එක්ක හමුවෙමු.. තවත් සතියකින් කැළැල් මං මුහුණු පොතින් අයින් කරනවා. ඊට කලින් කියවන්න..
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.