හතළිස් නවවෙනි කැළැල 49

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 එය සියලු දේ සපිරි අංග සම්පූර්ණ කාමරයකි. ලංකාවේ ඇමති කෙනෙකු සතු වත්කම කෙතෙක් දැයි අප වන් සාමාන්ය මිනිසෙකු කෙසේ අනුමාන කරන්නද..?


මම කාමරයෙන් පිටව සාලයට ආවෙමි. විහාන්ගේ හඬ මට ඇතුල් කාමරයකින් ඇසුණේ ය. විහාන් මේ රඟපානා නාට්ය කුමක් දැයි මා ඔහුගෙන්ම අසා දැන ගත යුතුය.

මා ඒ කාමරය ඉදිරියට ගොස් දොරට තට්ටු කරන්නට සැරසුණා පමණි. ඔහු දොර ඇර ගෙන මා ඉදිරියේ සිටියේ ය. ඔහුට මාගේ අඩි හඬ ඇසෙන්නට ඇත.

"විහාන්.. "

" තමුසෙට පිස්සුද ගෑණියේ...??"

ඒ දෑස් මත තිබූ කෝපය දැක මම මොහොතකට ගල් ගැසුණෙමි. සිදු වන්නේ කුමක් දැයි වටහා ගත නොහැකිව මම තවත් මොහොතක් බලා සිටියෙමි. මෙය හුදෙක් ඔහුගේ තවත් ප්රයෝගයක් නොවන බව මම වටහා ගතෙමි.

" විහාන්.."

" දැංවත් ඔය කට වහ ගන්නවා. මං තමුසෙව දන්නේ නෑ. "

" අන්න ඒක හොදට ඔලුවට දා ගන්නවා. "

ඔහුගේ රළු වචන මා පුදුමයට පත් කරමින් මගේ සවන් තෙමා දැමුවේය.

" මොකක්ද ඔයා මේ කියන්නේ..?"

කිසිවෙකු ඉදිරියේ නොනැමෙන, අහංකාර ගැහැණිය සරීනා මට ආරූඪ වෙමින් පවතින බව මම වටහා ගතෙමි. විහාන් යනු මින් පෙර මා දුටු පිරිමියා නොවන බව පළමු වරට මගේ යටි හිත අනතුරු අඟවමින් සිටී.

"ඔයා කියන්නේ මාව දන්නේ නෑ කියලද..??"

මම කිසිදු පැකලීමකින් තොරව ඇසුවෙමි. මම ඇතුළාන්තයෙන් ඉතා ගැඹුරු ආඝාදයකට වැටෙනා බව දැනුණත් මම මුහුණින් කිසිදු හැඟීමක් පිටට නොපෙන්නුවෙමි.

ඔහුගේ මුවෙහි සරදම් සිනහවක් ඇදුණි. ඒ සිනහවම මම හොඳින් අඳුරමි. මින් පෙර මා ප්රයෝජනයට ගනිමින් මා මුලා කරන ලද පිරිමින්ගේ දෙතොලඟ මැවෙන අවසාන සිනහව මා කෙසේ අමතක කරන්නද..??

" මං තමුසෙව දැනන් හිටියා. ඒත් දැන් මං තමුසෙව දන්නේ නෑ. කොහොමත් තමුසේ වගේ සල්ලි තියෙන අතු වලම එල්ලෙන්න හදන ගෑණු කොහොමත් මට පේන්න බෑ. "

"අන්න ඒ හින්දා අපි දෙන්නා නාඳුනන තරමට ඒක අපි දෙන්නගෙම ඇඟට ගුණයි. "

මම ඉතාම සෙමින් නමුත් දිගු හුස්මක් ගත්තෙමි. දෙසවන් වැකෙනා වචන සියල්ලම හිතින් බැහැර කළ හැකි වුවද ඔහු බිඳ දැමූ මගේ විශ්වාසය මට එසේ පහසුවෙන් ඉවත් කර නොහැක. ඔහු තවත් කුමක් හෝ කියන්නට සූදානම් වුවත් මා ඒ කිසිවක් අසන්නට සූදානම් නැත.

මම දෑතින්ම ඔහුව පිටුපසට තල්ලු කළෙමි. නොසිතුව මොහොතක වූ මගේ ප්රතිචාරය හමුවේ ඔහු සමබරතාව ගිලිහී ගොස් පිටුපස තිබූ බිත්තියේ හැපුණි.

ඉන් නොනැවතී මම ඔහුගේ ගතට පැන ඔහුගේ ගෙල මතට මා මෙතෙක් කල් මගේ ආත්මාරක්ශාව වෙනුවෙන් සඟවා තබා ගන්නා අඟල් දෙකාමාරේ කුඩා පිහි තලය ඔහුගේ ගෙලට තද කළෙමි.

" තමුසේ හරි. මං තමුසෙව දන්නෙත් නෑ. තමුසේ මාව දන්නෙත් නෑ. හැබැයි අපි දෙන්නට අඳුර ගන්න දවසක් එයි. "

ඔහුව එසේ සරලව අත හැර දමන්නට මගේ කෲර හදවත මට ඉඩ නොදුන්නේය. මම ඔහුගේ ගෙල මත වූ සම සිදුරු කරමින් පිහි තලය ඇද ගත්තෙමි. ඔහුගේ ගෙලෙන් ගිලිහී ගිය ලේ බිඳු දෙස මම කෑදරයෙන් බලා උන්නෙමි.

"හැබැයි මතක තියා ගන්නවා.. මේ සරීනා හැම කැළලකටම පලි ගන්නවා.. "

මම එසේ කියමින් ඔහුව අත හැර දමා සාලයට ආවෙමි. නමුත් ආදරණීය පාඨකය.. මගේ හද ගැස්ම බොහෝ සෙයින් ඉහළ ගිය බව විශ්වාස කරන්න.. මගේ සිතුවිලි මගේ පාලනයෙන් ගිලිහී ගිය බව විශ්වාස කරන්න.. සැබැවින්ම මොහොතකට මා උන්මන්තක ගැහැණියක් වූ බව විශ්වාස කරන්න.

නමුත් ඒ කිසිවක් පිටතට නොපෙන්වා මම දරා ගත්තෙමි. සංසුන් වූවෙමි. අවසානයේ මම පැරණි සරීනා මා තුළින්ම සොයා ගත්තෙමි. තවත් මොහොතකින් මම සෝපාවෙන් වාඩි වී හිස හේත්තු කර ගෙන දෑස් පියා ගත්තෙමි.

" තමුසෙගේ හිත ඇතුළේ එදා අතරමං වෙච්ච අහිංසක කෙල්ල තාමත් ඉන්නවා. එච්චරයි.. "

පෙරදා රාත්රියේ මා ඔහුගෙන් සමු ගන්නට පෙර ඔහු කී වදන් ඔහුගේම ස්වරයෙන් මට යළිත් සිහිපත් විය. එසේ නම් ඔහු මා පාවිච්චි කොට තිබේ. නොඑසේ නම් ඔහුගේ සෙල්ලමේ මා තවත් එක ඉත්තෙකු වී තිබේ.

සමස්ත මිනිස් වර්ගයා ගැනම දැනුන අපුලෙන් මම ඇමතිතුමා සිහිපත් කළෙමි. කාගෙ කාගේත් සෙල්ලම් අවසානයේ සියල්ලම නිමා වන දවසක් එන තුරු මම ඉතා ආශාවෙන් දින ගනිමි.

එකවරම මුහුණ මතට වැටුණු වතුර බිඳු කිහිපයක් නිසා මම දෑස් හැරුයෙමි.

" මොකද මේ..? මං හිතුවා වොශ් දාලා එළියට එන්න ඇති කියලා.. "

අරුල් තෙත කෙස් පිහිදමින් මා අසලින් වාඩි වූයේ ය.

" මට ඉක්මනටම ඇහැරුණා. ඇමතිතුමා මතක් වුණා.. මට ඇමතිතුමා බලන්න ඕනි.. "

මම සිහින් හඬින් මිමිණුවෙමි. මගේ අරමුණට යෑමට නම් අගනුවරින් ඈත මෙසේ සැඟව ජීවත් විය නොහැක. මට ඇති එකම තුරුම්පුව ඇමතිතුමා සමීපයට යෑම බව මම තේරුම් ගතෙමි.

" මට ඇත්ත කියනවා සරීනා. තමුසේ ඇමතිතුමාට ලව් නේද.. ?"

ආදරණීය පාඨකය.. ඒ කටහඬේ වේදනාවක් මෙන් කේන්තියක් ද ගැබ්ව තිබූ බව මට පැහැදිලිව දැනුණි. මෙවන් මොහොතක නැති ගැහැණු මායම් කුමකටද..?

" මං දන්නේ නෑ අරුල්. මට හොඳටම බයයි. අරුන් මාව මරන්න හොයනවා. ඒ අස්සේ ඇමතිතුමාට වෙච්ච දෙයක් ඔය කවුරුත් කියන්නේ නෑ. මට හුඟක් බය හිතෙනවා අරුල්.. "

" ඔයා කිව්වා නාගරාජ් තාම ජීවත් වෙනවා කියලා. ඌ මාව ආයේ අල්ල ගත්තොත්. මට බයයි අරුල්.. "

මම ඇස්වල කඳුලු පුරවා ගනිමින් අරුල්ගේ පිරුණු බාහුවක එල්ලී කිවෙමි.

" මං මේ ප්රශ්න ඉක්මනටම විසඳන්නම් සරීනා. කොහොමත් මං දැන් ආපහු යනවා. කවුරුවත් මේ තැන දන්නේ නෑ. ඔයාට පරිස්සමෙන් මෙහෙ ඉන්න පුළුවන්. බය වෙන්න එපා.."

" මේ වත්ත බලා ගන්න මනුස්සයා හෙට අනිද්දා ඕන කරන උයන පිහන බඩු ගෙනත් දෙයි. ඒකා ඉන්නේ වත්තේ කෙරවළේ. ඔයාට මෙහේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ.. "

" මං ඉක්මනටම ඇමතිතුමා සනීප කර ගන්නම්. කොහොමත් මං ඇමතිතුමා ගාවට ගිහින් තමුසෙට කෝල් කරන්නම්.. "

ඔහු මගේ හිස කෙස් පිරිමදිමින් කීවේ ය. එසේ නම් මට තනියම මේ පාලු නිවහනේ සිටින්නට සිදු වේ.

විහාන් හවස ටවුමට ගොස් අපිට කන්නට රයිස් පැකට් තුනකුත් උයන්නට අවශ්ය සියල්ලමත් රැගෙන ආවේය. බොහෝ කුසගින්නෙන් සිටි මම බත් ඇටක් නෑර කා අවසන් කළෙමි. අරුල් මා දෙස බලමින් සිනාසෙමින් සිටියේය.

සැබැවින්ම මා සාමාන්ය බව පෙන්වීමට මට අවශ්ය විය. ප්රශ්නයක් වූ විට නොකා නොබී හඬමින් තැවෙනා බොළඳ කෙල්ලෙකු මා තුළ නොවන බව පෙන්වීමට මට අවශ්ය විය. විහාන් මා දෙස හොරහින් බැලුවා ඇරෙන්නට හිස ඔසවා හෝ මා දෙස බැලුවේ නැත.

ඔහු ඇති කළ කැළැලේ දිග පළල පවා තවමත් මා ගණන් කළේ නැත. එතරම් රිදුමක් හදවතට දැනුණත් මම නොදැනුණා සේ උන්නෙමි.

රාත්රීය උදා වී හෝරා කිහිපයක් ගෙවුණ තැන අරුල් විහාන් සමඟ යන්නට ගියේ ය. ඔහු යන්නට පෙර මා උණුසුම් ලෙස වැළැඳ ගනිමින් මගේ නළල සිප ගත්තේ ය. අවසානයේ ඔහු සමුගෙන යන්නට ගියේ ය. පිටතින් අත හැර දැමූ නමුත් ඇතුළතින් සුවපහසු පාළු නිවසේ මම තනි වුණෙමි.

___________________________

තනිවීම පහසු දෙයක් නෙවෙයි.. ඒකත් හදවත සිදුරු කළ කැළැලක් එක්ක.. ඔව්.. විහාන් අවසානයේ තවත් එක කැළැලක් වුණා..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI