හතළිස් අටවෙනි කැළැල 48
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මම ඔහුගෙන් ඈත් වී ජනේලයට හිස හේත්තු කර ගතෙමි.
" බය වෙන්න එපා සරීනා. මූ මගේ දකුණු අත වගේ දැන්. මූ ඇමතිතුමාට කේලම් කියන්නේ නෑ.. "
අරුල් විහාන් දෙස බලමින් කීවේය. විහාන් පිටුපස හැරි සිනා සී වහා ඉදිරිපස හැරුණේය. අරුල් සිතන්නට ඇත්තේ මා ඔහුගෙන් ඈත් වූයේ ඔහුත්, මමත් ගැන විහාන් ඇමතිතුමාගේ කණේ තබාවි යැයි බියෙන් වන්නට ඇත කියායි.
අරුල් එතරම් විහාන් විශ්වාස කිරීම මට දැනුනේ ප්රෙහේලිකාවක් ලෙසය. අරුල් යනු ලෙහෙසියෙන් මිනිසෙකු විශ්වාස නොකරන කෙනෙකි.
තවත් මොහොතකින් අපි නගරයෙන් මඳක් ඔබ්බෙන් වූ ගමක අත හැර දැමූ මිදුල වල් බිහි වූ නිවසක් ඉදිරියේ නතර වූවෙමු.
" අරුල්..."
"කොහෙද ඇමතිතුමා..??"
මම වටපිට බලමින් ඇසුවෙමි. අරුල් මා නෑසුණාක් මෙන් මෝටර් රථයේ දොර විවර කළේය.
"අරුල්.. කියන්න කොහෙද ඇමතිතුමා.. "
මම ඔහුගේ බාහුවකට අතක් තබා ඇසුවෙමි. ඔහු මා දෙස බලා කිසිවක් නොකියා මෝටර් රථයෙන් බිමට බැස්සේය. ඔහුගෙන් පිළිතුරක් නොලද තැන මමත් මෝටර් රථයෙන් බිමට බැස්සෙමි.
ඒ වන විටත් විහාන් පාලු ගේ අසලටම ගොස් තිබුණි. මිදුල පුරා වැවී තිබූ වල් පැළ මගේ නිරුවත් දෙපා වල වදියි. නමුත් මම නොසෙල්වී පාලු නිවස දෙසත්, නිවස ඉදිරිපිට උන් විහාන් දෙසත්, දුරකතනය කනේ ගසා ගෙන අඩි කිහිපයක් ඈතට ගොස් සිටිනා අරුල් දෙසත් මාරුවෙන් මාරුවට බලා සිටියෙමි.
ඇමතිතුමා මෙහි නොවන බව මට විශ්වාසය. නමුත් මින් පසුව මගේ අනාගතය පිළිබඳ නම් කිසිදු විශ්වාසයක් නැත. ලද අවස්ථාවෙන් මම විහාන්ට කිට්ටු වූවෙමි. ඔහු වසා තිබූ දොරට හේත්තු වී දුරකතනය ඔබමින් සිටියේය.
" විහාන්... මොකද වෙන්නේ..?"
මම ඔහුට පමණක් ඇසෙනා ලෙසින් ඇසුවෙමි. නමුත් ඔහු ඇස් ඔසවා මා දෙස බලා යළිත් දුරකතනය වෙතම ඇස් අලවා ගත්තේ ය. ඔහු මේ දෙබඬි හැසිරීමේ සීමාව ඉක්මවමින් සිටියි.
" විහාන්... "
මම සෙමින් නමුත් තදින් කතා කළෙමි. ඔහු නොසැලකිලිමත් ලෙසින් මා දෙස බැලුවේය.
" කවුද විහාන්...?"
මම මොහොතකට කැළඹුණෙමි. විහාන් මගෙන්ම විහාන් කවුදැයි අසයි. මම නිහඬ වුණෙමි. සැබැවින්ම ඔහුගේ නාදුනන බැල්ම මා නිහඬ කළේය. මම අඩියක් පසුපසට තබා ඔහුගේ රුව හිසේ සිට පාදාන්තය දක්වාම පිරිස්සුවෙමි.
මට වැරදීමක් සිදුව නැත. මම විහාන් හොඳින්ම හඳුනමි. ඔහුත්, මමත් එකට රැයක් පහන් කර ඇත්තෙමු. ඉතින් ඒ මුහුණුවර මට වරදින්නට විදියක් ඇත්තේම නැත.
" ආ.. ඕක ඇරපන් බන්.."
තවත් මොහොතකින් අප වෙතට ආ අරුල් යතුරක් විහාන් අත තැබුවේ ය. මම යළිත් අරුල් වෙත හැරුණෙමි. එකවරම ඔහු මගෙ දෙතොල් මත ඇඟිල්ලක් තබා මා අසන්නට ගිය දේ නතර කළේ ය.
" ප්රශ්න අහන්න එපා මැණික.. අපි හෙමීට කතා කරමු.."
ඔහු මගේ උරහිස් මතින් දෑත් තබා ගනිමින් කීවේය. එතනින් එහාට මා කිසිවක් නොකියාම විහාන් පිටුපසින් පාලු නිවසට ඇතුල් වුණෙමි. එහි ඉස්තෝප්පුව පුරා දූවිලි පිරී තිබුණි. තැනින් තැන කැඩී තිබුණු පොළව මත වේළුණු කොළ හැලී තිබුණි. බිඳී තිබුණු ජනේලයකින් හුළඟට කොළ ගසා ගෙන එන්නට ඇත.
විහාන් සාලයේ දොරෙහි අඟුල හැරියේ ය. මම ඔහු පසුපසින් නිවසට ඇතුලු වුණෙමි. දෙවියනේ...!!
එය මුළුමනින්ම මා අපේක්ෂා කළ යමක් නොවේ. සුව පහසු ගෘහ භාණ්ඩ සමඟ ටයිල් ඇතුරූ පොළව මා පුදුමයට පත් කළේය. එමෙන්ම පිටතින් පෙනුණු දුර්වර්ණ බිත්ති පවා ක්රීම් පැහැයෙන් වර්ණ ගන්වා ඇත. එසේ නම් පිටතින් අතහැර දැමූ පාලු, මූසල නිවස ඇතුළතින් නවීකරණය කරන ලද සැප පහසු නිවසකි.
" සරීනා.. අපි මේවා පිළිවෙලක් කර ගන්නකම් ඔයාට මෙහේ ඉන්න වෙනවා.. "
අරුල් මා අත හැර දමා ගොස් සෝපාවෙන් හිද ගත්තේය. ඔහු දෑසින් ඉඟි කෙරූ ලෙසින් මමත් ඔහු අසලින්ම වාඩි වුණෙමි.
" මොකද වෙන්නේ අරුල්..?? මට කියන්න. "
" සරීනා.. ඇමතිතුමාට ටිකක් අමාරුයි. මං හරි නම් ඉන්න ඕනි ඇමතිතුමා ළඟ. ඒත් ඔයාව මරන්න නාගරාජ්ගේ සෙට් පස්සෙන් එද්දි මට ඔයාව බිල්ලට දෙන්න බෑ.. "
" මේක ඇමතිතුමාගේ සේෆ් හවුස් එකක්. ඔයාට බය නැතුව මෙහේ ඉන්න පුළුවන්. "
ඔහු මගේ දෑතින් අල්ලා ගනිමින් කීවේය.
"ඇමතිතුමාට කොහොමද.. ?"
ඔහු මගේ දෑත් අත හැර දමා ඇඟිලිතුඩු වලින් නළල තෙරපවා ගත්තේ ය. ඔහු සැබැවින්ම ඉරිසියාවෙන්ද..?? නැත්නම් ඇමතිතුමාට සැබැවින්ම අමාරුද..?
" අරුල්... "
" තමුසේ දැන් ඇමතිතුමාට ලව් නේ.. "
අරුල් මා දෙස නොබලාම ඇසුවෙමි. මගේ දෑස් එකවරම දිව්වේ විහාන් දෙසයි. ඔහු මා දෙස බලා වහා අහක බලා ගත්තේ ය.
"අරුල්.."
" තමුසෙත් මට ප්රශ්නයක් වෙන්න එපා. "
ඔහු එසේ කියමින් මගේ උරහිසකට බර වුණේ ය. ඔහුගේ බර දරා ගත නොහැකිව මම සෝපාවට හේත්තු වුණෙමි.
" තමුසෙට ඕනි හැමදේම මෙහේ තියෙනවා. මං කවුරු හරි තමුසෙගේ තනියට මෙහෙට එවන්නම්. ටික දවසක් පරිස්සමින් ඉන්නවා.. "
ඔහු මගේ කණට කොඳුරමින් මගේ ඉන වටා ඔහුගේ අත යැවීය. මම මොහොතකට හිරි වැටුණෙමි. විහාන් සාලයෙන් පිටව යනවා මම ඇස් කොණකින් දුටුවෙමි.
" අරුල්... "
" ශ්ශ්ශ්.. මුකුත් කියන්න එපා. මට මෙහෙම ඉන්න ඕනි..."
අරුල් තවත් තදින් මා වැළැඳ ගත්තේය. ප්රශ්න වලින් පැන ගොස් මොහොතකට හෝ නිදහස් වන්නට හැකි නම් අපි ඒ අවස්ථාව ගත යුතුය. අරුල් මට නිහඬ වන්න යැයි කියන්නට ඇත්තෙ ඒ නිසා විය යුතුය.
තප්පර විනාඩි වී පැයක් හෝ දෙකක් ගෙවී ගියෙ ය. කෙටි නින්දකට පසු මම දෑස් හැරියෙමි. මා උන්නේ සුවපහසු යහනකය. මා අසලින්ම අරුල් වැතිර උන්නේය. මම යළිත් දෑස් පියා ගෙන මොහොතක් සිටියෙමි.
එසේ නම් මගේ ජීවිතය මා නොදන්නා කාලයකට මේ පාළු නිවසේ හිරව ගෙවෙනු ඇත. මම සුසුමක් හෙළා අරුල් දෙස බැලුවෙමි. ඔහු සැප නින්දකය.
ඒ නපුරු දෑස් පියවී තිබුණේ ය. මම හඬක් නොනගා යහනින් බැස ගත්තෙමි. ඉන් පසු විසිර තිබූ හිස කෙස් එක් කොට ගෙල පාමුලින් තබා බැද ගත්තෙම්.
එය සියලු දේ සපිරි අංග සම්පූර්ණ කාමරයකි. ලංකාවේ ඇමති කෙනෙකු සතු වත්කම කෙතෙක් දැයි අප වන් සාමාන්ය මිනිසෙකු කෙසේ අනුමාන කරන්නද..?
මම කාමරයෙන් පිටව සාලයට ආවෙමි. විහාන්ගේ හඬ මට ඇතුල් කාමරයකින් ඇසුණේ ය. විහාන් මේ රඟපානා නාට්ය කුමක් දැයි මා ඔහුගෙන්ම අසා දැන ගත යුතුය.
මා ඒ කාමරය ඉදිරියට ගොස් දොරට තට්ටු කරන්නට සැරසුණා පමණි. ඔහු දොර ඇර ගෙන මා ඉදිරියේ සිටියේ ය. ඔහුට මාගේ අඩි හඬ ඇසෙන්නට ඇත.
"විහාන්.. "
" තමුසෙට පිස්සුද ගෑණියේ...??"
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.