හතළිස්වෙනි කැළැල 47

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 දෙවියනේ.. කිසිම හිතක් පපුවක් නැති ලෙසින් සිරියා කපා කොටා ඝාතනය කර තිබුණි. ඇය නිදා උන් යහනත්, බිත්තියත් පුරා රක්ත වර්ණයෙන් ලේ ඉහිරි තිබුණි. මම දෑතින්ම මුව වසා ගෙන මහ හයියෙන් හඬා වැටුණෙමි.

සැබැවින්ම මම ඒ මොහොතේ නිවසේ සිටියා නම් මේ කඩු පහරින්ම මා මිය යනවා නෙවෙයිද..?? අනේ අසරණ සිරියා. වියපත් ගැහැණිය පිළිබඳ මම මගේ ඇතුළාන්තයෙන්ම වේදනාවට පත්ව උන්නෙමි.

අරුල් මා වැළැඳ ගෙන මා කාමරයෙන් පිටතට රැගෙන ආවේ ය.

" අයියා... මොකද කරන්නේ..? පොලිසියෙන් ආවොත් මෙව්වා දික් ගැස්සෙනවා.."

විහාන් මා ඉදිරියට ඇවිත් මා දෙසත් නාදුනන බැල්මක් හෙලා අරුල්ගෙන් ඇසුවේ ය. එසේ නම් මොවුන් අතර ඇත්තේ කෙබඳු ආකාරයේ බැඳීමක්ද..?? කුමන ආකාරයේ සම්බන්දතාවයක්ද..? මම අරුල්ගේ පපුවටම තුරුලුව සිතුවෙමි.

"කොල්ලොන්ට එන්න කියපන්. මේක මෙතනම ක්ලෝස් කරමු. මට මෙයා ගැන කවුරුවත් දැන ගන්න ඕනි නෑ.."

අරුල් මගේ උරහිසක් අත ගාමින් පැවසුවේ ය. එසේ නම් මා ආරක්ෂා කළ යුතු බවට හැඟීමක් ඔහු තුළ තිබේ.

තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියේ ය. විහාන් දුරකතනයෙන් කතා කරමින් මිදුලට ගියේ ය. මෙතුවක් කලක් සුවය සැදූ නිවසේ තව දුරටත් සැනසීමක් නොමැති බැවින් මම වැරැන්ඩාවට පැමිණියෙමි. අරුල් මා තනි නොකර මා තුරුල් කර ගෙනම උන්නේ ය.

මෙතරම් ළයාන්විත ප්රතිචාරයක් මම ඔහුගෙන් අපේක්ෂා නොකළෙමි. නමුත් සැබෑ ලෙසම එය සිදු වෙමින් පවතී.

වැහි දිය මඩ කර තිබූ පොළව මත විහාන් එහෙට මෙහෙට යයි. නමුත් කෙතරම් අවස්ථා තිබුණත් මා දෙස නොබැලුවේය.

මා සොයාවිත් මගේ නිවසටම පැමිණ ඇමතිතුමා සහ අරුල් ඇතුලු ඔහුගේ සහචරයන්ගෙන් පලි ගන්නට මා තුළ මුල්ම බීජය වැපුරුවේ ඔහුය. ඒ සෑම මොහොතකම මට සහය වෙමින් සියල්ලම මේ තරම් සුමට ලෙසින් සිදු කරේ ඔහුය. නමුත් ඔහු අරුල්ගේ ගෝලයෙකු බව ඔහු මවෙතින් සැඟවූයේය.

එතනම අපි අතර ඇති විශ්වාසය ගැන සැකයක් දලු දාන්නට පටන් ගනී. මම මොහොතක් අතීත වර්තමාන සිද්ධි ගැළපුවෙමි. ඇමතිතුමා ගැන තොරතුරු ලබා ගන්නට ඔහු මා පාවිච්චි කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ඇමතිතුමාගේ සංවේදී නහර මා ලවා තද කිරීම පමණි.

එසේම අරුල් බාරයේ උන් නාගරාජ් අරුල්ගේ කණින් රිංගා මා වෙත ගෙන ඒමට තරම් ඔවුන් අතර ඇති හිතවත්කමක මට සිතා ගත හැකිය.

අප දෙදෙනාටම එකම අරමුණක් තිබුණද ඔහු මගේ විශ්වාසය කඩ කර අවසන් ය. තවදුරටත් අපිට එකම මාර්ගයේ ගමන් කිරීම සැක සහිතය. මම විමසුම් දෑසින් ඔහු දෙසම බලා හිඳින අයුරු ඔහු දුටුවේ ය.

නමුත් ඔහුගේ බැල්ම ගණනකට නොගෙන මම තවත් ඔහු දෙසම බලා උන්නෙමි.

විනාඩි කිහිපයකට පසු වෑන් රථයක් පැමිණ ගේට්ටුව ඉදිරියේ නතර කළේය. එයින් බැස ආ තරුණයින් කිහිප දෙනෙකු සමඟ විහාන් නිවස පසුපසට ගියේ ය. ගෙතුළට ගිය අරුල් මා ඇතිල්ලකින් වසා ඔහුත් නිවස පිටුපසට ගියේ ය.

තවත් මොහොතකින් තරුණයින් දෙදෙනෙකු නිවස තුළට පැමිණ සිරියාගේ ප්රාණය නිරුද්ධ සිරුර ඇතිරිලි කිහිපයකින් වැසුවේය. මම ඔවුන් නවත්තන්නට ඔවුන් පසුපසින් ගියෙමි.

" අරුල්.. අනේ මොකක්ද මේ කරන්නේ..?"

" කොහෙද සිරියා අරන් යන්නේ..??"

" අනේ සිරියා අරන් යන්න එපා.."

මම හඬමින් අරුල් නවතන්නට උත්සහ කළෙමි. මා වෙනුවෙන් මැරෙන්නට සිදු වූ ඒ අහිංසක ජීවිතය වෙනුවෙන් මා කුමක් හෝ කළ යුතුය.

" සරීනා.. "

ඔහු මගේ මුහුණ ඔහු දෙස හරවා ගෙන මාගේ දෑසේ වූ කඳුලු පිසදැම්මේ ය.

" මේක පොලිසිය දක්වා දුර දිග ගියොත් ඔයා ගැන මිනිස්සු දැන ගන්නවා. අනික මේ ආපු එවුන් ඔයා පස්සෙන් පන්නනවා. ඕකුන් නාගරාජ්ගේ සෙට් එකේ ඉතුරු වෙච්ච එවුන්. "

" මේ කේස් එක පොලිසියෙන් හොයන්න ගත්තොත් ලෝක නඩුවක් වෙනවා. ඊට හොදයි මේක මෙතනින් ඉවර කරන එක.. "

" එතකොට සිරියා..??"

මම ඇස් බෝල කරමින් සැබැවින්ම වේදනාවෙන් ඇසුවෙමි. කිසිදු චාරිත්රයකින් තොරව ඇයම පොළවට යට කිරීම කිසි ලෙසකින්ම පහසු නැත.

"සරීනා.. මේක ගේම් එකක්. මේකෙදි හැමෝටම පණ බේර ගන්න බෑ. අපිට සිද්ධ වෙනවා මුලින්ම අපේ ජීවිත ආරක්ෂා කරගන්න. ඒකට බිල්ලට දෙන්නේ කවුරු වුණත් අපිට සිද්ධ වෙනවා ඒ කැපකිරීම කරන්න "

ඔහු කියන්නට උත්සාහ කරේ කුමක්දැයි මම මුල සිටම දැන උන්නෙමි. ජීවත් වීම යනු ආත්මාර්ථකාමි ලෙස තමා ආරක්ෂා කර ගැනීම බව ඔහු යළිත් ඔප්පු කරමින් උන්නේය.

ප්රාණය දෙවෙනි කොට ඔහුට පෙම් කළ මා ඇමතිතුමාගේ හොර ගැහැණියක් බවට පත් කළෙත් ඔහුගේ මේ ආකල්පයම නොවේද..?? මගේ ලේ රත් වී ගෙන එන බව දැනුණත් මම මුහුණෙන් කිසිදු වෙනසක් නොපෙන්වා උන්නෙමි.

සීත සුළං රැළි හමා විත් මගේ තෙත හිස කෙස් වියළා දැම්මේය. දරාගත නොහැකි හිස කැක්කුමක් සමඟින් මම දෑස් විවර කළෙමි. ගත වූ පැය විසිහතර තුළ කොපමණ දේවල් සිදු වූවාද..? මට මැවි මැවී පෙනුනේ ඇතිරිලි වලින් එතු සිරියාගේ නිසල සිරුර ගේ පිටුපස වළක් කපා වළ දැමූ අයුරුයි.

ලෝකය කෙතරම් කුරිරු දැයි මම සැබෑ ලෙසම අත්විඳමින් සිටියෙමි. මම අප්පච්චීගේ සොහන මත ඇතුරූ කඳුලු වැල් සිරියාගේ වසා දැමූ වළ මතද නිදන් කළෙමි. මම සුසුමක් පිට කළෙමි. එය දැනී අරුල් මගේ හිස අත ගෑවේය.

" තව ටිකක් නිදා ගන්න මැණික.."

ඔහු මගේ සවනට කෙදුරුවේය. නමුත් මගේ දෑස් නතර වූයේ නිහඬව මෝටර් රථය පදවනා විහාන් ළඟයි. ඔහු වැරදීමකින්වත් මා දෙස නොබැලූ බව මම ස්ථිර කර ගතෙමි.

"නිදිමත නෑ අරුල්.. "

මම ඔහුගෙන් ඈත් වී ජනේලයට හිස හේත්තු කර ගතෙමි.

" බය වෙන්න එපා සරීනා. මූ මගේ දකුණු අත වගේ දැන්. මූ ඇමතිතුමාට කේලම් කියන්නේ නෑ.. "

අරුල් විහාන් දෙස බලමින් කීවේය. විහාන් පිටුපස හැරි සිනා සී වහා ඉදිරිපස හැරුණේය. අරුල් සිතන්නට ඇත්තේ මා ඔහුගෙන් ඈත් වූයේ ඔහුත්, මමත් ගැන විහාන් ඇමතිතුමාගේ කණේ තබාවි යැයි බියෙන් වන්නට ඇත කියායි.

අරුල් එතරම් විහාන් විශ්වාස කිරීම මට දැනුනේ ප්රෙහේලිකාවක් ලෙසය. අරුල් යනු ලෙහෙසියෙන් මිනිසෙකු විශ්වාස නොකරන කෙනෙකි.

තවත් මොහොතකින් අපි නගරයෙන් මඳක් ඔබ්බෙන් වූ ගමක අත හැර දැමූ මිදුල වල් බිහි වූ නිවසක් ඉදිරියේ නතර වූවෙමු.

" අරුල්..."

"කොහෙද ඇමතිතුමා..??"

_____________________________

ඇත්තටම කෝ ඇමතිතුමා...??

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI