හතළිස් හයවෙනි කැළැල 46

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 ගලවා දැමූ ඇදුම් මල් පොච්චියක් අස්සකට දමා වැහි දියෙන් අත් වල ඇති මඩ සෝදා ගත්තෙමි. නාගරාජ් තවමත් ජීවතුන් අතර බව සිහිපත් වී මම යළිත් පඳුරක් අස්සේම ගුලි වුණෙමි. ඔහු මේ මොහොතේ පවා දෙවියන්ගෙන් මරණය යදිමින් මරණීය වේදනාවෙන් හුස්ම ගනු ඇත.


මේ දඩයම නාගරාජ්ගෙන් නිමා කරන්නට නොහැක. මගේ ආත්මයම කැප කොට ඒ වැරදිකරුවන්ට දඬුවම් දෙන්නට මා මටම පොරොන්දු වූවෙමි.

තවත් මොහොතකින් වාහනයක හඬ ඇසුණි. එය අරුල්ගේ වාහනය බව දැන දැනත් මම නොසෙල්වී උන්නෙමි. ඔහු වාහනයෙන් බැස ගේට්ටුවද හැර ගෙන මිදුලට පැමිණියේ ය. ඔහුගේ පසුපසින් තවත් අයෙකු පැමිණියේ ය.

නිවසේ එක් කාමරයක එළි දල්වා ඇති බව දුටු අරුල් ඉන පිටුපස සඟවා උන් පිස්තෝලය අතට ගත්තේ ය. ඒත් සමඟම ඔහු පිටුපස සිටි නාදුනන පුද්ගලයාද පිස්තෝලය අතට ගත්තේ ය. අන්ධකාරයත්, මඳ ආලෝකයත් නිසාවෙන් මා දුටුවේ සෙවණැලි රූප පමණි.

නමුත් මම බියෙන් වෙව්ලන අහිංසක මුව පොව්වකුගේ චරිතයට අනුගත වෙමින් උන්නෙමි. අරුල් තවත් අඩි කිහිපයක් ඉදිරියට ආවේ ය. ඒ මුහුණේ හැඟීම් කෙබඳු දැයි දකින්නට හදිසි ආසාවක් මා තුළ උපන්නේය. ඔහු සැබැවින්ම මා පිළිබඳ වද වෙනවා දැයි දැන ගැනීමේ බොළඳ සිතුවිල්ලක් මට ඇති වුණි.

ඒ තප්පරයේම මම ඒ සිතුවිල්ල යටපත් කර ගත්තෙමි. උත්තරය කෙසේ වෙතත් අරුල් වෙනුවෙන් සමාවක් මගේ හදවතේ කොණවත් යළිත් නොඉපදෙන බව මා හොඳින්ම දනී.

වරක් තැලූ මලෙහි පෙති සියුම්ව ස්පර්ශ කරද පෙර මෙන් මල පිපී හිනහෙනු නොයෙනු ඇත. තවත් මොහොතක් බලා හිඳ මම ගුලිව උන් තැනින් නිහඬවම නැඟිට්ටෙමි.

ක්ශණිකවම ක්රියාත්මක වූ අරුල් මා වෙත පිස්තෝලය එල්ල කළේය. නමුත් මා බියපත් අහිංසකාවියක් මෙන් වැස්සේම දිව ගොස් ඔහුගේ විසල් පපුවට තුරුලු වූවෙමි.

"සරීනා.. "

ඔහු මගේ නම මිමිණුවේය. මම එය නෑසුනාක් මෙන් තවත් හයියෙන් ඔහුගේ පපුවේම මුහුණ ඔබා ගෙන ඇඬුවෙමි.

"සරීනා... "

ඔහුගේ රළු ඇඟිලි මගේ පිට මත පතිත විය. සීතලෙන් හෙම්බත්ව උන් මා මොහොතකට ඒ උණුසුමට නතු විය. ඔහු දෑතින්ම මා තුරුලු කර ගත්තේය.

" ඔයා හොඳින් නේද මැණික..?"

ඔහු මාගේ සවනතට ළංව කෙඳිලිරි ස්වරයෙන් මිමිණුවේය. ඒ මා උමතු කරවනා ඔහුගේ ප්රේමණීය හඬයි. ඉතින් ආදරණීය පාඨකය.. ගලක් වූ හදවත යළි යළිත් ගල් වෙනවා මිසක මෙළෙක් නොවන්නේමය. මම හදවතින් සිනාසුණෙමි.

ඔහු මා සැලසුම් කර පරිදි අවශ්ය මොහොතට ළංව තිබේ. මම කිසිදු ප්රතිචාරයක් නොදක්වා තව තවත් හැඬුවෙමි.

" මැණික.."

මම හැඬුම් පසෙක දමා හිස එසෙව්වෙමි. මගේ කම්බුල් මතට වැටුණ වැහි බිඳු ගෙල සිප ගනිමින් පහළට ගලා ගියේ ය.

" ඔයා හොඳින් නේද මැණික..?"

ඔහු මගේ කම්බුල් දෑතට ගනිමින් මගේ මුහුණට එබුණේය. ඒ මොහොතෙදී මම ඔහුගේ දෑස් ළඟටම දැක්කෙමි. එහි වූයේ බියයි. අහිමිවීමේ බියයි. මම හිස සෙලෙව්වෙමි.

" ඔයා ආපු අය දැක්කද..?"

මම හිස සොලවා නැතැයි යන්න පමණක් ඇඬවූවෙමි. ඔහු එක අතක් මගේ හිස මතින් තබා සුසුමක් හෙලුවේය.

" එතකොට අර ගෑණි කොහෙද..?"

ඔහු විමසන්නේ සිරියා ගැන විය යුතුය. මම තවත් හයියෙන් අඬන්නට පටන් ගතෙමි. ඔහු නිවස දෙස බලා ගෙනම මා තුරුලට ගත්තේ ය. ඔහුගේ හද ගැස්ම මගේ කං පෙති මත දෝංකාර දෙයි. ඔහු ඉන්නේ කඩා ඉහිරෙන තරමේ ආවේගයිනි.

"ඔයා ඔහොම ඉන්න මැණික. මං ගෙට ගිහින් බලන්නම්.. "

"අනේ එපා.. මට බයයි. "

මම ඔහුගේ කමීසය කෙළවරකින් ගුලි කොට අල්ලා ගතෙමි. සැබැවින්ම මම බියපත් අහිංසක කෙල්ලගේ චරිතය ඉතාම තාත්වික ලෙසින් පණ පොවමින් උන්නෙමි. නමුත් සැබැවින්ම මා රඟ පානවා යැයි මටම නොහැගුණි.

" බය වෙන්න එපා. සරීනා මං ඉන්නවා.. "

ඔහුගේ අතක් මගේ බඳ වටා යවමින් මා වත්තම් කර ගනිමින් ඉස්සර වූවේය.

" අඩෝ වරෙන්.. "

අරුල් පිටු පස බලා පවසමින් තුවක්කුව ඉනෙහි පිටුපස සඟවා ගත්තේය. ඒත් සමඟ ඔහු පිටුපසින් උන් නාදුනන පුද්ගලයා අඩියක් පෙරට තබා අපි පසු කරමින් ඉස්සර විය.

මගේ හදගැස්ම මොහොතකට නතර විය. ආදරණීය පාඨකයිනි.. සැබැවින්ම මම පුදුමයටත්, විශ්මයටත් පත්ව සිහි එලවා ගත නොහැකිව මොහොතක් බලා උන්නෙමි. අරුල් මා වත්තම් කර ගෙන තවත් අඩියක් පෙරට තබද්දි මම සැබෑ සිහියට පැමිණියෙමි.

මගේ දෑස් අදහා ගත නොහැකිව මම යළිත් වරක් ඔහු දෙස බැලුවෙමි. නාදුනන පුද්ගලයා අන් කවරකුත් නොව ඒ විහාන් බව මගේ සිතට පිළි ගැනීමට නොහැකිව මම දිගු හුස්මක් ගත්තෙමි.

නමුත් විහාන් මා දෙස නොබලාම නිවස වෙත ඇවිද ගියේ ය. මෙතුවක් කලක් විහාන් වැඩ කළේ අරුල් සමීපයේ ඔහුගේ ගෝලයෙකු ලෙසින් බව මම මින් පෙර නොදැන උන්නෙමි. එමෙන්ම ඔහු මාධ්යවේදීයෙකු යැයි මම මෙතුවක් කලත් සිතා ගෙන උන්නෙමි.

එසේ නම් ඔහු රැවටුවේ අරුල්, ඇමතිතුමා පමණක් නොව ඔහු මාව රැවටුවේ ය. ඇරත් අරුල් හිර කර ගෙන උන් නාගරාජ් ඔහු පිටතට රැගෙන ආවේ කෙසේදැයි මා කල්පනා කළ යුතුව තිබුණි.

තප්පර අරික්කාලක් තුළ දහසක් සිතුවිලි මගේ මනසේ තරඟ කරමින් මාව තව තවත් වියවුල් කරමින් සිටී. නමුත් විහාන් මා සම්පූර්ණ ආගන්තුකයෙකු කරමින් මා දෙස නොබලාම සිටී.

මොහොතකින් විහාන් නිවසේ දොර හැර නිවසට ඇතුලු විය. සාලයේ තිබූ මල් පෝච්චි සහ රූපවාහිනිය බිම දමා කඩා තිබුණි. ඒ කිසිවක් ගැන මට අල්ප මාත්රයක දුකක් නොතිබුණි. ඉන් පසු මගේ කාමරයට යන්තම් එබුණෙමි. සියල්ල කඩා බිඳ දා තිබුණි.

විහාන් කෙලින්ම නතර වූයේ සිරියා උන් කාමරය ඉදිරියේ ය. ඔහු දෑසින් කුමක් හෝ යමක් අරුල්ට ඉඟි කරේය. අරුල් මා පිටුපසට කොට විහාන් සමඟ කාමරයට ඇතුලු වූයේය. මම මොහොතක් බලා හිඳ කාමරයට ඇතුලු වුණෙමි.

දෙවියනේ.. කිසිම හිතක් පපුවක් නැති ලෙසින් සිරියා කපා කොටා ඝාතනය කර තිබුණි. ඇය නිදා උන් යහනත්, බිත්තියත් පුරා රක්ත වර්ණයෙන් ලේ ඉහිරි තිබුණි. මම දෑතින්ම මුව වසා ගෙන මහ හයියෙන් හඬා වැටුණෙමි.

සැබැවින්ම මම ඒ මොහොතේ නිවසේ සිටියා නම් මේ කඩු පහරින්ම මා මිය යනවා නෙවෙයිද..?? අනේ අසරණ සිරියා. වියපත් ගැහැණිය පිළිබඳ මම මගේ ඇතුළාන්තයෙන්ම වේදනාවට පත්ව උන්නෙමි.

අරුල් මා වැළැඳ ගෙන මා කාමරයෙන් පිටතට රැගෙන ආවේ ය.

" අයියා... මොකද කරන්නේ..? පොලිසියෙන් ආවොත් මෙව්වා දික් ගැස්සෙනවා.."

විහාන් මා ඉදිරියට ඇවිත් මා දෙසත් නාදුනන බැල්මක් හෙලා අරුල්ගෙන් ඇසුවේ ය. එසේ නම්..???
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI