දෙවන කතාංගය--දෙවන කැළැල 2
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
තවත් පැයකට පමණ පසු මම ඇය දුන් චීත්ත ගවුමත් ඇඳ ගෙන සාලයේ පුටුවකින් වාඩි වී තේ කෝප්පයක් තොල ගෑවෙමි. එකවරම පා පැදියක් තල්ලු කරන් ආ මැදිවියේ පිරිමි කෙනෙක් එය බිමට අත හැර දමා අඩියට දෙකට සාලයට ආවේය.
" ඉක්මනටම කෙල්ලව ගෙට ගනින්. අර ඇදුම් කඩමාලු ටික ලිපටවත් දාපන්.. "
ඒත් සමඟම නැන්දා මා ඇද ගෙන මෙන් කාමරයට එක්කන් ගියාය. මම සිදුවන්නේ කුමක්දැයි වටහා ගත නොහැකිව මොහොතක් බලා උන්නෙමි.
" අනේ මැණික. වැරදිලාවත් සාලේ පැත්තට එන්න එපා. ඔන්න ඔහොම ඇඳෙන් වාඩි වෙලාම ඉන්න. "
අත් දෙක හැඳ උන් චීත්තයෙන් පිහිමින් ඈ සාලයට යන්නට ගියාය. ඒත් සමඟම කුමක් හෝ වාහනයක් මිදුලෙහි නවතන හඬ ඇසුණි.
මම කිසිවක් සිතා ගත නොහැකිව මොහොතක් ගල් පිළිමයක් සේ බලා හිඳියෙමි. හදවත බියෙන් ගැහෙනා බව පමණක් දැනුණි.
" මේ සිරිදාස නේද..? අර වත්ත බලා ගත්තේ.. "
නාදුනන පිරිමි කට හඬක් උස්ව ඇසුණි. කුමක්දෝ හුරු බවක් ඒ හඬෙහි ගැබ්ව තිබූ බව මට මොහොතකට හිතුණි. මම නිහඬවම දොර ළඟටම ගොස් කන් දී ගෙන උන්නෙමි.
" ඔව් මහත්තයා.. ඔය ගින්න වෙලාවේ මට පිළේම නින්ද ගිහින් තිබුණේ.. "
මැදිවියේ පිරිමි හඬ බොහෝ යටහත් පහත් අයුරින් වචන ගළපනා හඬ ඇසුණි.
"ඒ ගින්න වෙලාවේ වලව්වේ කවුරුවත් හිටියද..?"
" අනේ දන්නේ නෑ මහත්තයෝ. අර එහා වත්තේ පියල් කෑ ගහන සද්දෙටයි මාත් ඇහැරුණේ. "
"අරුල් මහත්තයා මහත්තයා උදේ ඇවිත් ගියත් වලව්වේ කවුරුවත් ඉන්න බව නම් කිව්වේ නෑ.. "
ඔහු ගොත ගහමින් කීවේ ය. නාදුනන හුරු හඬ කිසිවක් ඇසුවාද නැතිනම් නිහඬ වූවා දැයි මම තවත් උද්යෝගයෙන් අසා සිටියෙමි. ගින්නක් හා වලව්වක් ගැන මා නොදන්නවා නමුත් ඒ සියල්ලම කිසිවක් මතක නැති මගේ අතීතයට කෙසේ හෝ සම්බන්ද බව මගේ හිත කීවේය.
මම දිගු හුස්මක් ගෙන යළිත් සවන් දුන්නෙමි.
"සිරිදාස ගෑණු ළමයෙක් දැක්කේ නැද්ද..? ගින්න වෙලාවේ හරි ගින්නට කලින් හරි ඒ වලව්වෙන් එළියට ආපු.."
ඒ අසන්නේ මා ගැනද..?? මගේ යටි සිත කීවේ ඔහු අසන්නේ මා ගැන බවයි..
" නෑ මහත්තයා. ගමේ එවුන් එකතු වෙලා පාන්දර වෙනකම් වතුර ගහලයි ගින්න නිවා ගත්තේ. එතකොටත් මුලු වලව්වම අලු වෙලයි තිබ්බේ.. "
එතනින් එහාට කිසිවෙක් කතා නොකළේ ය. නමුත් ඔහු අසන්නේ මා ගැන නම් මා බේරා ගත් බව මේ නිවැසියන් ඔහුගෙන් සඟවන්නේ කුමක් නිසාදැයි මට සිතා ගත නොහැකිය.
ක්ශණික සිතුවිල්ලක් නිසා දොර රෙද්ද මෑත් කොට සාලයට එබෙන්නට මට සිත් විය. නමුත් මගේ යටි සිත කුමක් හෝ හේතුවක් නිසා මා වැළකුවේය. මම දොර රෙද්ද දෑතින් මිරිකා ගනිමින් යළිත් සවන් දුන්නෙමි.
" මහත්තයා තේ ඩිංගක් බොමු.. "
" නෑ. මට ඕන නෑ. "
ඔහු යන්නට සූදානම් වනු ඇසුණි. හදවතේ එක් අර්ධයක් ඔහු ඉදිරියට යන්නට විධාන කරද්දී හදවතේ අනෙක් අර්ධය මෙසේ සැඟව සිටීමට විධාන කරන්නේය. මා උන්නේ කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිවය.
" එතකොට සිරිදාස වලව්ව නිකම්ම අලු වුණා.."
නාදුනන හඬ පරාජිත ස්වරයකින් දෙසවනට ඇසුණි. ඔහුගේ හඬෙහි දැඩි වේදනාවක්, පසුතැවීමක් තිබූ බව ඔහුට පක්ෂ හදවතේ එක් අර්ධයක් මිමිණුවේය.
නමුත් මගේ දෙපා පොළවට ඇලී ඇතුවාක් මෙනි. මම නොසෙල්වී අසා සිටියෙමි.
" ඔව් මහත්තයා... "
සිරිදාසගේ පිළිතුරින් ඔහු නොසංසුන් වූ බව දැනුණි. තවත් මොහොතකට පසු වාහනය ආ වේගයටත් නොදෙවෙනිව යන්නට ගියේ ය. නමුත් මම තවමත් දොර රෙද්ද දෑතින් මිරිකා ගෙන ඔහේ සිට ගෙන සිටියෙමි.
" වතුර ටිකක් ගෙනෙන්කෝ බන්. යකා ගහලා වගේ හිටන් ඉන්නේ මෙතෙන. බයටම මගේ උගුර කටත් වේලිලා.. "
මම වේගවත් කෙටි හුස්මක් ගනිමින් ඇසූ සියල්ල පෙළ ගස්වා ගන්නට වෙහෙසුණෙමි. හිස් කඩදාසියක් මත අතීතය ලිවීම පහසු නැත. ඇරත් මා කවුද කියාවත් මතකයක් මට නැත.
" අර කෙල්ල ගේ ඇතුළෙද බලපන්.. "
"මැණික.."
නැන්දා කාමරයට එබුණේය. දොර ළඟ ගල් පිළිමයක් සේ හිට ගෙන උන් මා දැක ඈ මොහොතකට තිගැස්සුණි. මා උන්නේ ඊටත් වඩා තිගැස්මෙනි.
"අනේ නැන්දා.. "
මගේ මුවින් ඉකියක් ගිලිහුණි. මම හඬා ගෙනම ඈ වැළැඳ ගත්තෙමි. හදවතේ සිරව තිබූ මහා වේදනාවක් දෙගොඩ තලා ගලා යමින් තිබුණි.
"අනේ ඇයි මැණික අඬන්නේ..?"
හැඩුම් නතර කර ගත නොහැකි තැන ඈ මා වත්තම් කර ගනිමින් මා යහන මතට ගෙන ආවාය.
" අඬන්න එපා මැණික. අර ආපු මහත්තයාට මැණික බය වුණාද..?"
ඇය මගේ කම්බුල් පිස දමමින් අසන්නීය. කුමක් හෝ ඛේදාන්තයක් මගේ ජීවිතය බද්ධව ඇති බවක් ඉවෙන් මෙන් දැනේ. ඒ සිතුවිල්ල පවා කෙතරම් බර දැයි මා කෙසේ කියන්නද..?
"මට මුකුත් මතක නෑ නැන්දා.. අනේ මං කවුද..??"
හැඬුම් අතරින් මම වචන කිහිපයක් එකතු කර ගත්තෙමි. ඇය කිසිවක් නොකියා මගේ හිස අත ගෑවාය.
" අර මහත්තයා ඇහුවේ මං ගැනද..?"
" එහෙනම් ඇයි මං ඉන්න බව නොකිව්වේ නැන්දා..?"
යළි යළිත් ඔහුගේ හුරුපුරුදු හඬ අපැහැදිලිව ඇසී නෑසී ගියේ ය.
" දැන් ඔය අඬලම මූණත් රතු වෙලා. හොද මැණික වගේ දැන් ටිකක් හාන්සි වෙලා ඉන්නකෝ.. "
"ඇයි නැන්දා මට මුකුත් නොකියන්නේ..??"
"මං කවුද..? මං කොහොමද මෙහෙට ආවේ..? අර ආපු මහත්තයා කවුද..?"
මම ප්රශ්න වැලක්ම ඇසුවෙමි. ඒ කිසිවකටත් පිළිතුරු නොදුන් ඇය නොනවත්වා මගේ හිස අතගෑවා ය.
" අඩුම මං නැන්දගේ කවුද කියලවත් කියන්නකෝ නැන්දේ.. අනේ මට පිස්සු හැදෙයි නැන්දේ.. "
මම වේගයෙන් කියා ගෙන ගියෙමි. ඊළඟ තප්පරේ දොර රෙද්ද ඈත් වී සාලයේ උන් සිරිදාස කාමරයට ආවේය.
" ඔය ළමයා අපේ කවුරුවත් නෙවෙයි. බොරුවට අඬලා දොඩලා ප්රශ්න ඇති නොකර හිටියොත් හොඳයි. නැත්නම් අපිට වෙන්නෙත් අඩි හයක් යටට යන්න තමයි. ඒ හින්දා ඔය අඩෝවැඬියාව නවත්ත ගනින්..."
ඔහු තදින් කීවේය. මා අත් හැර දමමින් නැන්දා නැඟිට ඔහුට ළඟට ගියාය.
" මැණික හොඳටම බය වෙලා ඉන්නේ ඒයි. කෙල්ලට කෑ ගහන්න එපා. "
"කොහේ තියෙන මැණිකක්ද බන්..? මේකිත් අරුන්ගෙම කෙනෙක් වෙච්ච කොට. "
" උන් තමයි අපේ මැණිකව නැති කරේ.. "
ඔහු කේන්තියෙන් එසේ කියා යන්නට හැරුණේ ය.
" එහෙනම් උන් මේ ළමයා මරන්න හදන්නේ නෑනේ. කවුද දන්නේ මේ කෙල්ලත් අපේ මැණික වගේ අහිංසක කෙල්ලෙක්ද කියලා.."
" අනේ මේ.. ඔහේ දැක්කේ නැතුවට මං දැක්කා උදේ මේ කෙල්ල අරුන්ගේ වාහනයෙන් බැහැලා වලව්වට ආපු හැටි.. "
"මුං ඔක්කොම එකතු වෙලා අපේ මැණික මරා ගත්තා.."
අවසානයේ කේන්තියෙන් පිරී තිබූ ඔහුගේ හඬ බිඳී ගියේ ය. මම දෑස් මත තිබුණු කඳුළු පිස දමමින් යහනින් නැගී සිටියෙමි.
__________________________________
දවස් දෙකක් තිස්සේ ලියලයි මේ කොටස අවසන් කර ගත්තේ. පුළුවන්කම තියා ගෙන කතාව නොලියා ඉන්නවා නෙවෙයි. ඒ ගැන සමාවෙන්න.
කැළැල් පළවෙනි කොටස සම්පූර්ණ ඇල්බම් එක මුහුණු පොතින් ඉවත් කළා. හැබැයි බොහෝ පාඨකයින් මගෙන් නැවත කියවන්න අවස්ථාව ඉල්ලුවා. සමහරු කොටස් කිහිපයක් කියවලා තිබුණා. ඉතින් ඔයාලගේ ආදරණීය ඉල්ලීම් වලට පිටු පාන්න මට බෑ. ඉතින් තවත් දවසකට මං ඇල්බම් එක කියවන්න දෙන්නම්.
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.