දෙවන කතාංගය--පළවෙනි කැළැල 1
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
දැඩි හිසේ කැක්කුමක් දැනුණි. මම දෑස් විවර කරන්නට උත්සාහ කළෙමි. නමුත් ඇහි පිහාටු එකට අලවලාක් මෙන් දැනේ. මම උගුරෙන් හඬක් නගන්නට උත්සාහ කළෙමි.
බොහෝ වෙලාවකට පසු කවුරුන් හෝ මගේ හිස අත ගානු දැනුණි. තවමත් දෑස් විවර කර ගත නොහැකිය. මගේ ගත තවදුරටත් මට පාලනය නැතුවාක් මෙනි.
" කෙල්ලට සිහිය ආවද බන්.. ??"
කාගේ හෝ උස් හඬකට මම ගැස්සී ගියෙමි.
" කෑ ගහන්න එපා මනුස්සයෝ. මේ කෙල්ල ජීවත් වෙන එකම ඇති.. "
ගැහැණු හඬක් ඇසී නෑසී ගියේ ය.
පාන්දර හිරු රැස් මැටි ගෙබිම සිප ගෙන ඇත. කන් වලට ඇසෙනා කුරුලු නාදයෙන් අමුතු ජවයක් හිතට දැනුණි. මා ඉන්නේ කොහේදැයි මටම සිතා ගැනීනට නොහැක. මගේ ගත මත පරණ චීත්තයක් පොරවා තිබුණි. මම හුස්මක් ගෙන කුඩා කාමරය සිසාරා බැලුවෙමි.
මැටි බිත්ති හතරකින් වට වුණු කුඩා කාමරයක තිබූ එකම ඇඳේ මම වැතිර උන්නෙමි. නමුත් මට කුමක් වූවාදැයි කිසිදු මතකයක් මට නැත.
" මැණික වතුර ටිකක් ගේන්නද.. ?"
කාමරයට එබුණ මැදි වියේ ගැහැණිය මගෙන් ඇසුවේ බොහෝ ගරු සරු ඇතිවය. මා මීට පෙර ඇයව දැක නොතිබූ බව මට සහතිකය. නමුත් මම කිසිවක් නොකියා හිස වැනුවෙමි.
දැනටමත් මගේ උගුර වෙලී සිඳී ගොස් තිබුණි. ඇය මැටි කෝප්පයකට ගෙනත් දුන් වතුර එක හුස්මට මම බීගෙන බීගෙන ගියෙමි. මගේ මුවින් ගිලිහුණ වතුර බිඳු මගේ ගෙල දිගේ ගලා ගෙන ගියේ ය.
" මැණිකට තව වතුර ටිකක් දෙන්නද.. ?"
මම එපා කියන්නට මෙන් හිස වැනුවෙමි. ඇය මා දෙස බොහෝ ආදරයෙන් බලා සිටී. නමුත් ඈ කවුද..?? සැබැවින්ම මා කවුද..?
" මැණිකට තාම අමාරුද.. ?"
මගේ නිහඬතාවය නොතකා ඈ ඇසුවාය.
" මේ කොහෙද..? මං කොහොමද මෙහෙට ආවේ..??"
ඇගේ දෑතේ තිබූ මැටි කෝප්පය පසෙකින් තබා ඇය ඇවිත් මා හිඳ ගෙන උන් යහනේ කොණකින් වාඩි වූවාය.
" මැණිකට මොනවා ද මතක..??"
මම කල්පනා කළෙමි. මගේ මතකය හිස් කඩදාසියක් මෙන් කිසිවක්ම නැත. මම කලබලයෙන් චීත්තය පසෙක තබා යහනෙන් බැසීමට උත්සාහ කළෙමි. නමුත් මගේ ගතේ සමබරතාව ගිලිහී යන්නට මෙන් දැනෙද්දි ඈ මා වාරු කර ගත්තාය.
" මැණිකට තාම සනීප මදී. ඔහොම ටිකක් හාන්සි වෙලා ඉන්නකෝ.. "
" මං.. මං කවුද.. ?"
මම සැලෙන දෙතොලින් ඇසුවෙමි. සියල්ලම මතකයෙන් ගිලිහී ගොස් ඇත. යළිත් හිස තදින් රිදුම් දෙන්නට පටන් ගත්තේය. සැබැවින්ම මා උන්නේ බොහෝ කලබලයෙනි.
" මැණික ටිකක් හාන්සි වෙලා ඉන්නකෝ. මං කන්න මොනවා හරි ගේන්නම්.. "
ඈ මගෙන් පිළිතුරක් නොලබාම යන්නට ගියාය. මම යහනෙන් හාන්සි වී සියල්ල සිහිපත් කරන්නට උත්සහ කළෙමි. සැබැවින්ම මට බොහෝ වෙහෙසක් දැනුණි. මා කලබලයෙන් බව මටම වැටහුණි. අවසානයේ මට මහ හයියෙන් කෑ ගසා හඬන්නට සිතුණි.
නමුත් මගේ ඇස් වලින් එකඳු කඳුලක් නොවැටුණි. මා හේතුවක් නොදන්නා නමුත් මගේ හදවත වේදනාවෙන් පිරී ඇති බව දැනුණි.
තවත් මොහොතකින් මම තනියම යහනින් බැස්සෙමි. දෙපතුලට මැටි පොළවෙන් අමුතු සිසිලසක් දැනුණි. හිසේ බර ගතිය නොතකාම මම කාමරයේ තිබූ ජනේලය වෙත ගියෙමි. එහි පාලුවට දමා තිබූ සාරි රෙද්ද සුළඟට සෙලවෙයි. මම බර හුස්මක් ගෙන ළය සැහැල්ලු කර ගන්නට උත්සාහ කළෙමි.
ජනේලයෙන් එපිට පිච්ච මල් ගසක් තිබුණි. ගස වැහෙන්නට පුංචි පුංචි පිච්ච මල් පිපී තිබුණි. එයින් ගලා එන පිච්ච මල් සුවඳ තව තවත් මගේ හිත සැහැල්ලු කළේ ය.
"කෙල්ලට සිහිය ආවද බන්.. ??"
පිරිමි කටහඬක් ඇසී මම ගැස්සී ගියෙමි. සිහිනයෙන් වගේ ඒ හඬ මින් පෙරත් ඇසුණි බව මගේ මතකයේ තිබුණි. මම සාරි රෙද්ද අතින් මිරික ගෙනම හොඳින් අසා උන්නෙමි.
" ඔව්. හැබැයි ඒ මැණිකට මුකුත් මතක නෑ වගේ.. "
" මැණික.. ඒ කෙල්ල කොහොමද මැණික වුණේ..? උඹ නොදැක්කට මං දැක්කා ඕකි ආවේ කොහොමද කියලා.. "
පිරිමි හඬෙහි කෝපයක් දැනෙද්දි මම සෙමින් යහනට ගියෙමි.
"කෑ ගහන්න එපා ඒයි. මං මේ මොනවා හරි රත් කරනවා කන්න.. "
ඔහු තරහෙන් කුමක් හෝ පවසා ඇවිද යන හඬ එළියෙන් ඇසුණි. කුමක් සිදු වෙනවාදැයි නොදැන මම දොර දෙසම බලන් උන්නෙමි.
" මැණික.. නැඟිටලා මේ බත් ඩිංග කන්න. උණුවෙන් කෑවම රසයිනේ කොයිකත්. "
ඈ මගේ දෑතට බෙලෙක් පිඟානක් දුන්නාය. රතු බතකුත්, සැර පොල්සම්බලකුත්, වට්ටක්කා ව්යාජනයකුත් එහි තිබුණි. දැඩි කුසගින්නකින් උන් මම සියල්ල කා අවසන් කළෙමි.
මම අවසාන බත් කටත් මුවට ළං කර ගන්නා තුරුම ඇය මා ළග හිඳිමින් මා දෙස බලා උන්නා ය.
" මං කොහොමද මෙහෙට ආවේ නැන්දේ.. ?"
සියල්ල අවසානයේ මම ඇසුවෙමි. ඇය සුසුමක් හෙළා පරණ පෙට්ටගමක් ඇද චීත්ත ගවුමක් මා අත තැබුවාය.
"මැණිකට මූණ හෝද ගන්න මං වතුර හට්ටියක් රත් කරා. ඔය ගවුම නම් මැණිකට ඇති වෙයි.. "
ඇය කාමරයෙන් එළියට ගියාය. මමත් ඇය පසුපසින් කාමරයෙන් එළියට පැමිණියෙමි. එය මැටියෙන් තැනූ බොහෝ කුඩා නිවසකි. පැරණී ලී පුටු කිහිපයක් ඇරෙන්නට වෙනත් යමක් සාලයේ නොතිබුණි. කුස්සියේ බිම දර ලිපකුත්, වළං ගොඩ ගැසූ මැස්සකුත්, කුඩා ලී මේසයකුත් තිබුණි.
"මැණිකව ළිඳට එක්කන් යන්න බයයි මට. කෝකටත් හොදයි උණු වතුරෙන් මූණ හෝද ගත්තම.. "
ඇය තනියම කියවමින් නිල් පැහැ පාට අව්වට පාට සේදුනු බේසමකට වතුර පිරෙව්වා ය. මම චීත්තයක් හැඳ ළා රස්නේ වතුරෙන් ගත දොවා ගත්තෙමි. එයින් ලොකු සනිපයක් ගතට දැනුණි.
තවත් පැයකට පමණ පසු මම ඇය දුන් චීත්ත ගවුමත් ඇඳ ගෙන සාලයේ පුටුවකින් වාඩි වී තේ කෝප්පයක් තොල ගෑවෙමි. එකවරම පා පැදියක් තල්ලු කරන් ආ මැදිවියේ පිරිමි කෙනෙක් එය බිමට අත හැර දමා අඩියට දෙකට සාලයට ආවේය.
" ඉක්මනටම කෙල්ලව ගෙට ගනින්. අර ඇදුම් කඩමාලු ටික ලිපටවත් දාපන්.. "
ඒත් සමඟම නැන්දා මා ඇද ගෙන මෙන් කාමරයට එක්කන් ගියාය. මම සිදුවන්නේ කුමක්දැයි වටහා ගත නොහැකිව මොහොතක් බලා උන්නෙමි.
" අනේ මැණික. වැරදිලාවත් සාලේ පැත්තට එන්න එපා. ඔන්න ඔහොම ඇඳෙන් වාඩි වෙලාම ඉන්න. "
අත් දෙක හැඳ උන් චීත්තයෙන් පිහිමින් ඈ සාලයට යන්නට ගියාය. ඒත් සමඟම කුමක් හෝ වාහනයක් මිදුලෙහි නවතන හඬ ඇසුණි.
_________________________________________
සරීනා... ඇය මැණිකක්...
දෙවන කතාංගයට බොහොම ආදරයෙන් පිළි ගන්නවා.. සරීනාගේ දෙවන උත්පත්තිය.. අපි බලමූ.. කැළැල් හැමදාම තියෙනවා..
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.