හතළිස් තුන්වෙන් කැළැල 43

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 මම ඔහුගෙක් පහර කෑ ඇත්තෙමි. ඔහුගේ කෝපය ඇවිලෙන සෑම විටකම මම ඔහුගේ කෝපය දරා ගත්තෙමි. ඒ සියලු පහරවල් ඉවසා උන්නෙමි. ඔහුගේ මුවින් පිටවෙනා තියුණු කඩු කිණිසි මෙන් වචන හදවතේ ගැඹුරුම තැන් වල රුහිරු වගුරන විටත් කිසිවක් සිදු නොවූ ලෙසින් මම දරා උන්නෙමි. ඔහුගේ රන් කූඩුවේ සිරව ඉන්නා කිරිල්ලියක් මෙන් මම දිවි ගෙව්වෙමි.


ඉතින් සැබැවින්ම මම දුක් විය යුතුද..??

නැත.. හැඟිම් දැනීම් නැති මේ දරුණු ගැහැණිය නිර්මාණය කළ වුන් අද වන්දි ගෙවමින් සිටී.

මම දෑස් පිහිදා ගතෙමි. නමුත් මම ඇමතිතුමා මෙලෙස වෙඬි පහරකින් මිය යනවා දකින්නට අකමැත්තෙමි. ඔහු තවත් විඳවිය යුතුය. ඔහු තවත් වේදනා විඳිය යුතුය.

අරුල් පැවසූ ලෙසින් නාගරාජ් සිටින්නේ ඔහුගේ යටතේ නම් විහාන් එවූ වීඩියෝව කුමක්ද..?? ඔහු නාගරාජ්ට හෝ අරුල්ට සමීප වූයේ කෙසේද..?? කාරණය එය නම් නාගරාජ්ට කුමක් සිදු වේද.. ??

මම දෙවරක් නොසිතාම විහාන්ට ඇමතුමක් ගත්තෙමි. තුන්වරක් නාද වෙද්දීම ඔහු ඇමතුමට සම්බන්ද විය. නමුත් කිසිවක් නොකීවේය.

" විහාන්... "

"කියන්න.."

"නාගරාජ්ට මොකද වෙන්නේ..??"

"නාගරාජ්ට මොකක්ද වෙන්න ඕනි..??"

ඔහු මගෙන් පෙරළා ඇසුවේ ය. මම දිගු හුස්මක් ගතෙමි. සැබැවින්ම නාගරාජ්ට කුමක් විය යුතුද..? ඔහු වැනි මිනීමරු තිරිසනෙක් තව දුරටත් ජීවත් විය යුතු නැත. ආදරණීය පාඨකය.. මා මිනීමරු අදහසක් ඇති උන්මන්තක ගැහැණියක් ලෙසින් නොසලකන්න. අහිංසක ජීවිත සමඟ සෙල්ලම් කරනා මීනිමරු පාපතරයෙක්ගේ මරණය වෙනුවෙන් බලා සිටිනවා පමණි.

"වෙන්න ඕනි දේ අද රෑම වෙන්න ඕනි.. "

" අද.."

"ඔව්.. අද.. "

මම එසේ ඔහුගේ අවසාන දඬුවම තීරණය කළෙමි. ඔහු විඳවිය යුතු තරම් කෙසේදැයි මම හොඳින්ම දනිමි.

"හරි. "

"මට බලන්න ඕනි. "

"ඒක අනතුරුදායකයි.."

නාගරාජ්ගේ අවසානය මගේ දෑසින්ම දැකිය යුතුය. එහි තෘප්තිය මා විඳිය යුතුය. ඔහු මගේ ආත්මය මත ඇති කල කැලැල් එකක්වත් කිසිදා නොමැකෙනු ඇත. නමුත් තවත් කාගෙවත් ජීවිත මත කැළැල් තබන්නට නාගරාජ් හුස්ම නොගනිනු ඇත.

" විහාන්... වෙන දෙයක් වෙන්න ඕනි මගේ ඇස් ඉස්සරහ.."

මගේ හිතුවක්කාරකම් හමුවේ විහාන් සුසුම් හෙළනා බව ඇසුණි. ඔහුගේ මුහුණ මත කුමන හැඟීමක් ඇත්දැයි මම මොහොතකට සිතුවෙමි. මගේ දෙතොලග සිනාවක් මැවෙන්නට ඇත.

" හරි. දැන් වෙලාව දෙකයි කාලයි.. තුනයි කාල වෙද්දී ලෑස්ති වෙලා ඉන්න.. "

මම හිස සලා දුරකතන ඇමතුම නිමා කළෙමි. පුරා හෝරාවක්ම නාගරාජ්ගේ අවසානය කෙසේ විය යුතු දැයි සිතමින් මම කාමරය පුරා ඇවිද්දෙමි. සද්ද නොනැගෙන්නට අල්මාරිය හැර ඩෙනිම් කලිසමක් සහ කලු පැහැ ටී ශර්ටයක් තෝරා ගතෙමි. එමෙන්ම හිස වැසෙන ආකාරයේ කලු පැහැ දුහුල් සළුවක්ද අතට ගත්තෙමි.

සිරියා සැපට නිදියන අයුරු මම යළිත් තහවුරු කර ගත්තෙමි. එමෙන්ම මම පිටතින් සිරියා සිටි කාමරයේ අඟුලු දැමුවෙමි. සිරියා යනු ඇමතිතුමා දේවත්වයෙන් අදහන ඔහුගේ එකදු වරදක් හෝ නොදකින ඔහුගේම සේවකයෙකි. එබැවින් අවදානමක් ගැනීමට මා කිසි ලෙසකින් සූදානම් නැත.

විහාන්ගේ ඇමතුම ලැබුණ සැණින් අන්ධකාරයේම දොර හැර ගෙන ශබ්ද නොනැගෙන්නට කුඩා ගේට්ටුවෙන් මම පාරට ආවෙමි. මගේ නිවසට මීටර් විස්සක් පමණ ඈතින් ඔහු මෝටර් බයිසිකලය නවතා ගෙන බලා සිටියේය.

ඔහු සමඟ මින් පෙර මෙසේ නිවසින් එළියට නොගියද මගේ හිතේ අංශු මාත්රයක තරම්වත් බියක් නොතිබූ බව කිව යුතුමය. ඔහු කිසිවක් නොකියා බයිසිකලයට නගින ලෙස අතින් සන් කළේය. මමත් කිසිවක් ප්රශ්න නොකරම ඔහුගේ උරහිසක් මත අතක් තබා බයිසිකලයට නැග්ගෙමි.

එතැන් පටන් සීතල සුළං මැදින් ඔහු යන්නට පටන් ගත්තේ ය. ප්රධාන පාරවල් හැකිතාක් මඟ හරිමින් ඔහු අග නුවරින් ඈතට මා ගෙන ගියේ ය.

වසර ගණනකට පෙර මා ඇමතිතුමාගේ උගුලට හසු වීමටත් පෙර රැයේ මැදියම මෙසේ මා හා පැන යන්නට කෙනෙක් උන්නා නම්..?? මගේ හිතට එවැනි සිතුවිල්ලක් ආවේ ඇයි දැයි නොදැන මම පැති කණ්ණාඩියෙන් පෙනෙන විහාන්ගේ රූපය දෙස බැලුවෙමි.

සැබැවින්ම ඔහු මගේ ගැලවුම්කරු වූවා නම්..??

නමුත් විහාන් මේ කිසිදු කාරණාවකට හේතුවක් නොවිය යුතුය. හරි නම් ඉඩ ලද අවස්ථාවේ ඔහු මේ කුණුගොඩින් පැන යා යුතුව තිබුණි. ඔහුගේ උරහිස මත තිබූ මගේ දෑත ලිහිල් වූවේද මගේ සිතුවිලි දැණුනාක් මෙන් ඔහූ වේගය වැඩි කළේද එකම මොහොතකමය.

අවසානයේ කලුවර පාරක අපි බොහෝ දුර ඇවිත් නතර වූවෙමි. සැරින් සැරේ ඇසෙනා ගෙම්බන්ගේ නාදය ඇරෙන්නට අවට පරිසරය බොහෝ නිහඬය. මම අසල තිබූ ගරා වැටුණු ගොඩනැගිල්ල දෙස බැලුවෙමි. පාරේ තිබූ පැරණි ලයිට් කණුවට පිං සිද්ද වෙන්නට මට පෙනුන එකම ගොඩනැගිල්ල එයයි.

" බහින්න.. "

ඔහුගේ විධානයෙන් මම ඔහුව අත හැර දමා බයිසිකලයෙන් බැස ගරා වැටුණ ගොඩනැගිල්ල දෙස යළිත් බැලුවෙමි.

ඔහු නිහඬවම එහි බාගෙට ඇරී තිබූ ගේට්ටුවෙන් ඇතුළට ගියේ ය. මම ද ඔහු අනුගමනය කරමින් ඔහු පසුපසින් ගියෙමි.

එම ගොඩනැගිල්ලෙන් කොටසක් බිමට කඩා වැටී තිබුණි. පහළ මාලය සම්පූර්ණයෙන්ම හිස්ව තිබුණි. ඔහු ඇවිදගෙන අනෙක් කොටසේ තිබූ පඩිපෙළ වෙත ගියේ ය.

" මේක තමයි මේ ගමට නාගරාජ් හදලා දීපු ප්රජා ශාලාව. මේක ඕපන් කළෙත් එයාමයි. හැබැයි මාස නවයෙන් කඩන් වැටුණා.. "

විහාන්ගේ හඬේ තිබුණේ වෛරයයි. මම එය පැහැදිලිව හඳුනා ගත්තෙමි.

"නිකම් නෙවෙයි. ස්ටේජ් එකේ පූජා නැටුම නට නට හිටපු ළමයි පස් දෙනෙක්වත් මරා ගෙන.. "

එම සිදුවීම මම රූපවාහිනියේ කිහිප වරක්ම දැක තිබූ බව මට සිහිපත් විය. පළමු දවස් දෙක තුනේදි එය ප්රධාන පුවතක් වුවත් එය නිකම්ම මිනිසුන්ට අමතක වී ගියේය. නොඑසේ නම් තව අලුත් අලුත් සිදුවීම් එය මිනිසුන්ට අමතක කළේ ය.

අවසානයේ අප උන්නේ එහි උඩු මහළේ ය. එහි වහළය සම්පූර්ණයෙන්ම ගැලවී තිබුණි. ඉතිරිව තිබුනේ වටේ තිබුණු කණු පමණි. ඔහු බර අඩි තබමින් අන්ධකාර කොටස වෙත ඇවිද ගෙන ගියේ ය. මම උන් තැනම නතරව බලා උන්නෙමි.

ඔහු යළිත් අන්ධකාරයේ සිට ආලෝකය වෙත ඇවිද ගෙන ආවේ කුමක් හෝ යමක් බිම දිගේ ඇද ගෙන ය. ඒ නාගරාජ් ඇමතිතුමාය. ඔහු ආලෝකය වැටී තිබූ ගොඩනැගිල්ලේ කෙළවර තෙක් නාගරාජ් බිම දිගේ ඇද ගෙන ගියේ ය.

මම ඔහු පසු පසින් ගොස් දණක් බිම තබා ඇමතිතුමාගේ මුහුණ දෙස මොහොතක් බලා සිටියෙමි. විහාන් ඔහුගේ මුව බැඳ දමා තිබූ රෙදි පට ගලවා ඉවත් කළේය. නමුත් ඔහු උන්නේ සිහි මද ගතියෙනි.

ඔහුගේ කම්බුල් ඉදිමී තිබුණි. තොල් පවා ඉදිමී කලු පැහැ ගැන්වී තිබුණි. හොඳින් බැලුවොත් ඇරෙන්නට එකවරම මේ නාගරාජ් බව හඳුනා ගැනීමට පවා අපහසුය. එතරම්ම ඔහුට විඳ වන්නට සලස්වා තිබුණි.

විහාන් ඔහුගේ කම්බුල් වලට කිහිප වරක් ගැසූ පසු ඔහු දෑස් හැරියේය. පළමුව ආලෝකය දරා ගැනීමට නොහැකිව ඔහු ඇසිපිය සලනා අයුරු මම තෘප්තිමත් දෑසින් බලා උන්නෙමි.

ආදරණීය පාඨකයිනි.. මම සැබැවින්ම තෘප්තිමත් හැඟීමකින් පිරී යමින් උන්නෙමි.

ඔහු ආලෝකයට හුරු වූ පසු මම ඔහුගේ දෑස් වලට එබුණෙමි. ඔහු මා දෙස බලා මා හඳුනා ගත්තේ ය. මම තව තවත් ප්රීති වුණෙමි.

" කොහොමද ඇමතිතුමා.. ?? "

" අපි හරි ඉක්මනටම ආපහු හම්බුණානේ.. "

ඔහු අත පය සොලවා ගත නොහැකිව දඟලන්නට පටන් ගත්තේ ය.

" මාව මතකයිනේද ඇමතිතුමාට... මොකක්ද ඇමතිතුමා එදා මට දීපු නම.. මොකක්ද මේ... හුරතල් ### බැල්ලි.... "

"මතකද මාව.. ?? "

මම ඇමතිතුමාගේ ඉදිමුණු කම්බුල් වලට වැරෙන් පහරක් ගැසුවෙමි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI