හතළිස් හතරවෙනි කැළැල 44
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආදරණීය පාඨකයිනි.. මම සැබැවින්ම තෘප්තිමත් හැඟීමකින් පිරී යමින් උන්නෙමි.
ඔහු ආලෝකයට හුරු වූ පසු මම ඔහුගේ දෑස් වලට එබුණෙමි. ඔහු මා දෙස බලා මා හඳුනා ගත්තේ ය. මම තව තවත් ප්රීති වුණෙමි.
" කොහොමද ඇමතිතුමා.. ?? "
" අපි හරි ඉක්මනටම ආපහු හම්බුණානේ.. "
ඔහු අත පය සොලවා ගත නොහැකිව දඟලන්නට පටන් ගත්තේ ය.
" මාව මතකයිනේද ඇමතිතුමාට... මොකක්ද ඇමතිතුමා එදා මට දීපු නම.. මොකක්ද මේ... හුරතල් ### බැල්ලි.... "
"මතකද මාව.. ?? "
මම ඇමතිතුමාගේ ඉදිමුණු කම්බුල් වලට වැරෙන් පහරක් ගැසුවෙමි. ඒ ඇස් තවත් වේදනාවෙන් බර විය. ඔහුගේ මුවින් පිට වූ වේදනාත්මක කෙඳිරිය තවත් මා ප්රීතිමත් කළේය.
" තමුසෙලා වගේ මිනිස් ආත්ම ලබපු තිරිසන්නු නිසා කීයක් නම් මිනිස් ජීවිත අපායක් වෙලාද..? තමුසේ දන්නවද තමුසෙලා සත්තු වගේ මගේ ජීවිතේ විනාශ කරද්දී මං කොච්චර ඇඬුවද කියලා. අඩුම ගාණේ තමුසෙට මතකද තමුසේ ජීවිත කීයක් විනාශ කරාද කියලා.. "
" නෑ තමුසෙට මතක නෑ.. "
මම ඔහුගේ නිකටින් අල්ලා ගෙන ඔහුගේ මුහුණ යළිත් මා දෙසට හරවා ගතෙමි. ඒ ඇස් වලින් කඳුලු පිටාර ගලමින් තිබුණි.
" අදින් තමුසෙගේ කතාව ඉවරයි.. හොඳට බලනවා මං දිහා.. "
ඔහුගේ කම්බුලකට ගසා මම හයියෙන් කීවෙමි.
" තමුසේ අන්තිමට දකින්නේ මාව. මේ සරීනාව.."
එසේ කියා මා උමතුවෙන් මෙන් සිනාසුණෙමි. මගේ සිනා හඬ අන්ධකාර ගොඩනැගිල්ල පුරා දෝංකාර දී මටම යළිත් ඇසෙනා තුරුම මම උමතුවෙන් සිනා සුණෙමි. අවසානයේ මම ඔහුව ගොඩනැගිල්ලෙන් පහළට තල්ලු කළෙමි.
ඔහු පහළට වැටෙනා හඬ මම මොහොතක් අසා සිටියෙමි. ඉන් පසු ගැඹුරු හුස්මක් ගෙන අත් දෙක ගසා දමමින් උන් තැනින් මම නැඟිට්ටෙමි. මගේ පිටිපසින් සිටි විහාන් පැමිණ ගොඩනැගිල්ලෙන් පහළට එබී බැලුවේය.
" ඌ මැරිලා නෑ. හැබැයි හෙමීට මැරෙයි... "
" ඉක්මන් මරණයක් ඌට හොඳ වැඩියි.. "
ආදරණීය පාඨකය.. විශ්වාස කරන්න. මගේ තුළ උන් කුරිරු ගැහැණිය එසේ කීවා ය. අහසින් පොද එක දෙක වැටෙන්නට පටන් ගත්තේ ය. සමහර විට අහසත් මා සමඟ එකඟ වන්නට ඇත.
" නාගරාජ් මිසින් කියලා අරුල් දැන ගන්නේ හෙට. හැබැයි නාගරාජ් මැරිලා කියලා මිනිස්සු දැන ගන්නේ ඕකා කුණු වෙන්න පටන් ගත්තට පස්සේ.."
මටත් නොදෙවෙනි කෲර හඬකින් කියූ විහාන් පඩිපෙළ අසලට ඇවිද ගෙන ගියේ ය. මමත් ඔහු පසුපසින් ඇවිද ගියෙමි. නාගරාජ් ඇමතිතුමා ගසා කෑ මිනිස් ජීවිත බිලි ගත් ගරා වැටුණ ගොඩනැගිල්ලේම ඔහුගේ අවසානය සිදු වීම කෙතරම් දෛවෝපගතද..??
අපි මෝටර් බයිසිකලය අසලට එන විට පොද වැස්ස මහ වැස්සක් බවට පත්ව තිබුණි. වැහි දිය සියලු සාක්ශි මකා දමමින් ඇද හැලේ.
විහාන් වැස්සේ තෙමමින් බයිසිකලයකට නැග එය පණ ගන්වා ගත්තේ ය. මමත් ඔහුගේ උරහිසට අතක් තබා එහි නැගුණෙමි. තවත් මොහොතකින් අපි දෙදෙනාවම තෙත් කරමින් මහ වැසි ඇද හැලුණේ ය. නමුත් වැසි මතින් යාම හැර වැස්ස නවතින තුරු කොහෙට හෝ සෙවණකට වී හිඳිමු යැයි කියන්නට මගේ දිව නොනැමුණේ ය.
ඒ මාගේ අහංකාරකම නොවේ. විහාන් සමඟ වුවද මා සිටිය යුත්තේ දරා ගත හැකි සීමාවේ පමණි. ඔහු වේගයෙන් අතුරු පාරවල් ඔස්සේ මගේ නවාතැන කරා ඇදුණේ ය. සැබැවින්ම මම සීතලේ ගැහුණෙමි. වේගයෙන් හමනා සීතල සුළඟ මගේ ගත හිරිවට්ටා තිබුණි.
මීට මොහොතකට පෙර මිනීමරු ගැහැණියක් වූ මා යළිත් පුරුදු අවිහිංසක චරිතයට පණ පෙවිය යුතුය. ඊලග ගොදුර කරා මා ළං විය යුතුය. මගේ ආත්මය සිදුරු කරමින් මගේ ජීවිතය විනාශ කර දැමූ සියල්ලන්ගේම ජීවිත වල අවසානය මම ලියන්නෙමි.
අවසානයේ මගේ නිවස පේන මානයේ අන්ධකාර තැනක ඔහු බයිසිකලය නැවැත්වීය. කිසිත් නොකියා මම බිමට බැස්සෙමි. වැහි දිය මා මුලුමනින්ම තෙත් කර තිබුණි.
මම ආපහු හැරී යන්නට හැදුවෙමි.
"සරීනා.. "
ඔහුගේ ගැඹුරු හඬට මා ආපහු හැරුණෙමි.
" මං දන්නවා ඔයා පෙන්නන්න උත්සාහ කරන තරම් නපුරු කෙල්ලෙක් නෙවෙයි කියලා. ඒ හින්දා බොරුවට තමන් රිද්ද ගන්න එපා. "
මම ඔහුගේ දිලිසෙන දෑස් දෙස එක එල්ලේ බැලුවෙමි.
"විහාන්.. ඔයා කියන්නේ මං අහිංසකයි කියලද..?? මීට විනාඩි ගාණකට මිනිහෙක් මරපු ගෑණියෙක්ට ඔයා ඔහොම කියන්නේ.. "
මම එපමණක් කියා යන්නට හැරුණෙමි. ඔහු මගේ වැලමිටෙන් අල්ලා ගත්තේ ය.
" තමුසෙගේ හිත ඇතුළේ එදා අතරමං වෙච්ච අහිංසක කෙල්ල තාමත් ඉන්නවා. එච්චරයි.. "
ඔහු මා අත් හැරියේ ය. නමුත් මම ඔහුගේ මුවින් පිට වූ ඒ වචන තුළ සිරව උන්නෙමි. ඔහු මගේ ඇතුළාන්තයට එබී බලමින් උන්නේය. මට ඔහුව නැවතීමට අවැසි විය.
මම කිසිවක් නොකියා වේගයෙන් අන්ධකාර මාවතේ ඇවිද ආවෙමි. මම මදක් විවරව තිබූ ගේට්ටුව ඇරියෙමි. නමුත් මම යන්නට පෙර ගේට්ටුව සම්පූර්ණයෙන් වසා දමා ගියෙමි. කුමක් හෝ යමක් මට දැනෙමින් තිබුණි.
කලුවරේම මම නිවස දෙසට ඇවිද ගෙන ගියෙමි. එකවරම නිවසේ කාමරයක එළි දැල්වුණි. ඒත් සමඟ බිදී ගිය මල් පෝච්චියක් මගේ කකුලට පෑගුණි. දෙවියනේ....
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.