හතළිස් දෙවෙනි කැළැල 42
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
රාත්රී එකොළහට පමණ මුහුණු පොතේ නාදුනන අයෙක් මට එක්තරා වීඩියෝවක් එවා තිබුණි. එහි දර්ශන අඳුරු මුත් ආරම්භයේදි අපැහැදිලි, නමුත් කිසිවෙක් වේදනාවෙන් කෑ ගසනා හඬක් පසුබිමෙන් ඇසුණි.
විනාඩියයි තප්පර හයකට පමණ පසු මම ඒ හඬ හඳුනා ගතෙමි. ඒ අන් කිසිවෙකුත් නොව නාගරාජ් ඇමතිතුමාය. තවත් තප්පර ගණනකට පසු වීඩියෝ නිමා වුවත් නාගරාජ් ප්රතිපල විඳමින් ඉන්නා බව මම දනිමි.
මම නාදුන්නාට කිසිදු පණිවිඩයක් හෝ කිසිදු ප්රතිචාරයක් නොයැව්වෙමි. ඒ විහාන් බව මම හොඳින්ම දැන උන්නත් මම කිසිත් නොදන්නා ලෙස උන්නෙමි.
අරුල්ගේ දුරකතනයට මම යළිත් ඇමතුම් කිහිපයක්ම ගත්තෙමි. මධ්යම රාත්රිය පසු වී විනාඩි කිහිපයක් ගෙවුණ තැන ඔහුගෙන් ඇමතුමක් ලැබුණි.
" අරුල්.. මොකද වෙන්නේ..?? කෝ ඇමතිතුමා.."
" සරීනා.. "
" අරුල්.. "
ඔහුගේ බැරෑරුම් කටහඬ අතිශය සංවේදී ලෙසින් මගේ සවනතට ඇසුණි. හදවත කොණක අතීතයේ උන් මා ප්රේමයෙන් මුසපත් කළ අරුල් සිහිවුණි. මම කෙළ පිඬක් ගිලමින් මේ සා වූ කාලය පුරාවට සිදු වූ සියල්ලම හදවතට මතක් කර දුන්නෙමි.
"ඇමතිතුමාට වෙඬි වැදුණා. "
අරුල්ගේ ශෝකාබරිත වචන එක මොහොතකට මගේ හද ගැස්ම නවතාලීය. ඒ අරුල්ගේ වේදනාවටද නොඑසේ නම් ඇමතිතුමා පිළිබඳ කණගාටුවෙන්දැයි මම නොදනිමි. නමුත් පළමුව මගේ හදවත වේදනාවෙන් සලිත වූ බව මම දනිමි.
" අරුල්... "
" නාගරාජ් මගේ පොට් එකේ. හැබැයි ඌ ඇමතිතුමාට වෙඬි තිබ්බා... "
මා තවත් පැටලුණි. නමුත් ඊළඟ තප්පරයේ මම යථා තත්ත්වයට පත් වුණෙමි. මගේ ජීවිතය හුස්ම වැටෙනා අපායක් බවට පත් කළ ඇමතිතුමා විඳවිය යුතුය. ඔහුට දඬුවම් ලැබිය යුතුමය.
කිසිදු වරදක් නොකළ වුන් තලා පෙළා දමමින්, ඔවුන්ගේ සැනසීම හූරා කමින්, ඔවුන්ගේ ආත්මය මත නොමැකෙනා වේදනාත්මක කැළැල් තබනා එවුන් වන්දි ගෙවිය යුතුය. එය මම දැඩිව අදහමි. ආදරණීය පාඨකය.. මා මහ දුෂ්ඨ, කුහක ගැහැණියක් ලෙසින්ම දකින්න. නමුත් තිරිසන් ගතිගුණ ඇති ආත්මාර්ථකාමී නොමිනිසුන් ගැන දුක් නොවන්න.
"ඇමතිතුමාට කොහොමද... ??"
මම යළිත් ඇසුවෙමි. තප්පර කිහිපයක් නිහඬව ගෙවුණි. රජෙක් මෙන් තම බලය පැතිරූ මිනිසෙකු ගිලන් යහනක වැතිර ඉන්නා අයුරු මම සිතින් මවා ගත්තෙමි.
" අයිසීයූ එකේ. තාම සිහිය නෑ.. "
මම දිගු සුසුමක් හෙළුවෙමි. හදවතේ එක් කොණක ප්රීතියෙන් නටමින් උන් සරීනා මා දෙස බලමින් හිනහුණාය. හදවතේ තවත් කොණක සිතුවිලි තෝරා බේරා ගන්නට නොහැකි වූ සරීනා වික්ශිප්ත මුහුණින් බලා සිටී.
" එතකොට..."
ඇහෙන නෑහෙන හඬින් මම මිමිණුවෙමි.
" බලමු.. "
" මං එන්නද..??"
සැබැවින්ම ඇමතිතුමා දකින්නට මට ආසවක් ඇති වුණි. එය දැක බලා සතුටු වෙන්නද නැතිනම් ඇමතිතුමා වෙනුවෙන් දුක් වන්නට දැයි මම නොදනිමි. නමුත් මට ඇමතිතුමා දකින්නට අවැසි විය.
" තමුසෙට පිස්සුද සරීනා..?? වෙච්ච දේවල් එක්ක තමුසේ ගෙදරටම වෙලා ඉන්නවා. කොහෙවත් යන්න එපා. මේ වෙච්ච දේවල් තමුසෙගේ පැත්තට කැරකෙන්නත් බැරි නෑ.. "
"අරුල්.."
"මොකක් හරි ප්රශ්නයක් වුණොත් කෝල් එකක් දෙනවා. මතකනේ පණ්ඩිත වැඩ නොකර ගෙදරටම වෙලා ඉන්නවා සරීනා. මේ වෙලාවේ තමුසෙත් මගේ යකා අවුස්සන්න එපා.."
ඔහු එපමණක් කියා ඔහු ඇමතුම නිමා කළේය. මම බර හුස්මක් ගත්තෙමි. ආදරණීය පාඨකයිනි.. කිසිවක් හිතා ගත නොහැකිව තවත් හෝරාවක්ම මම සිතුවිලි අතර පා වෙමින් සිටියෙමි.
ඇමතිතුමා යනු හැකි සෑම විටකම මාව තලා පෙලා දමමින් ඔහුගේ කායික අවශ්යතා වෙනුවෙන් මා පාවිච්චි කළ පුද්ගලයා ය. මගේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා ඔහුට රිසි සේ මා දූෂණය කර පුද්ගලයාය. ලෝකය ඉදිරියේ මා අනියම් බිරිඳක හා වනචර ගැහැණියක ලෙසින් මා පහළම අඩියට ඇද දැමූ පුද්ගලයා ය. ඉන් නොනැවතී ඔහුගේ කැමැත්ත සහ ඔහුට ලැබෙනා වරප්රසාද වලට අනුව මා බිල්ලට දුන් පුද්ගලයා ය.
සැබැවින්ම මම දුක් විය යුතුද..??
මම ඔහුගෙක් පහර කෑ ඇත්තෙමි. ඔහුගේ කෝපය ඇවිලෙන සෑම විටකම මම ඔහුගේ කෝපය දරා ගත්තෙමි. ඒ සියලු පහරවල් ඉවසා උන්නෙමි. ඔහුගේ මුවින් පිටවෙනා තියුණු කඩු කිණිසි මෙන් වචන හදවතේ ගැඹුරුම තැන් වල රුහිරු වගුරන විටත් කිසිවක් සිදු නොවූ ලෙසින් මම දරා උන්නෙමි. ඔහුගේ රන් කූඩුවේ සිරව ඉන්නා කිරිල්ලියක් මෙන් මම දිවි ගෙව්වෙමි.
ඉතින් සැබැවින්ම මම දුක් විය යුතුද..??
නැත.. හැඟිම් දැනීම් නැති මේ දරුණු ගැහැණිය නිර්මාණය කළ වුන් අද වන්දි ගෙවමින් සිටී.
මම දෑස් පිහිදා ගතෙමි. නමුත් මම ඇමතිතුමා මෙලෙස වෙඬි පහරකින් මිය යනවා දකින්නට අකමැත්තෙමි. ඔහු තවත් විඳවිය යුතුය. ඔහු තවත් වේදනා විඳිය යුතුය.
අරුල් පැවසූ ලෙසින් නාගරාජ් සිටින්නේ ඔහුගේ යටතේ නම් විහාන් එවූ වීඩියෝව කුමක්ද..?? ඔහු නාගරාජ්ට හෝ අරුල්ට සමීප වූයේ කෙසේද..?? කාරණය එය නම් නාගරාජ්ට කුමක් සිදු වේද.. ??
මම දෙවරක් නොසිතාම විහාන්ට ඇමතුමක් ගත්තෙමි. තුන්වරක් නාද වෙද්දීම ඔහු ඇමතුමට සම්බන්ද විය. නමුත් කිසිවක් නොකීවේය.
" විහාන්... "
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.