තිස් නවවෙනි කැළැල 39
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මම ඇයව එහා කාමරයට නිදා ගන්නට පිටත් කළෙමි. තනි වන්නට තදබල ආශාවකින් යටි හිත පෙළේ. අද රාත්රියේ කුමක් සිදු වේවිදැයි මට සිතන්නට ඕනෑය. නාගරාජ් කෙසේ විඳවනවා දැයි මා සිතින් මවා ගන්නට ඕනෑය. අරුල් කුමක් කරනවා දැයි ඔහුගේ කෝපය කුමක් කරාවිදැයි මා සිතන්නට ඕනෑ ය.
නමුත් මට පළමුව සිහිපත් වූයේ පෙර දින රාත්රියේ අන්ධකාරයේ අතුරුදහන්ව ගිය විහාන්ගේ දැඩි බැල්මයි. මම ඔහු එළවා ගත්තෙමි. වෛරයෙන් වෛරය පලි ගනිමින් ඔහුගේ ජීවිතය අතීතය වෙනුවෙන් වැය විය යුතු නැත.
නමුත් මම පුරුද්දට මගේ කුඩා දුරකතනය සැඟ වූ තැනින් අතට ගෙන ක්රියාත්මක කළෙමි. ඔහුගෙන් මඟ හැරුණු ඇමතුමක් හෝ ඇත්දැයි මගේ යටි හිත විමසුවේය. නැත.. ඔහුගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ නැත.
එසේ නම් මා යන්නට කියූ පමණින් ඔහු අතුරුදන්ව ගොස් ඇත. මම බර සුසුමක් හදවත තුළම සිර කර ගතෙමි. සැබැවින්ම හදවතට වේදනාවක් මෙන්ම සතුටක්ද දැනී නොදැනී ගියේ ය. මගේ දැඩි මාන්නය බෙහෙවින්ම පීඩාවට පත්ව ඇත.
විහාන් මේ වෛරයේ පලි ගැනීමෙන් වෙන් වූවාට මා සතුටු විය යුතුය. මට මෙන් අපවිත්ර, සමාජයෙන් පහත් කොට සලකන ගැරහුම් ලබනා ජීවිතයක් ඔහුට නැත. නමුත් ඔහු මා හැර යාම මෙතරම් රිදවුමක් වූයේ කෙසේද.. ??
නමුත් ඒ ඔස්සේ වැඩිදුර හිතන්නට මට හිතක් නැත. තව තවත් සිතීම යනු තව තවත් ඔහුටම ඇලීම බව මම දැනටමත් තේරුම් ගෙන සිටියෙමි. සමාජයේ මා වැනි තරුණියකට ඇති පිළිගැනීම බොහෝ සිතුවිලි වලට වැට බඳිනා අයුරු මා තේරුම් ගත යුතුය.
මම ගෙල ළඟටම පොරෝනාව පෙරවා ගෙන යහනෙහි ගුලි වුණෙමි. රාත්රී දොළහ පසු වූ බව දැණුනත් නින්දක් මා සොයා ආවේ නැත. දෑස් පියා ගත් පළමු මොහොතේම නාගරාජ් සහ ඔහුගේ තිරිසන් සේනාව මගේ දෑස් ඉදිරියේ බලා සිටී. ආයාසයෙන් මා හිත එකඟ කර ගත්තත් ඒ මතක හදවත වේදනාවෙන් පුරවයි.
කවුරුන් හෝ මා ළඟම ඉන්නා බව දැනී මම දෑස් හැරියෙමි. අන්ධකාර සෙවණැලි අස්සේ සැඟව බිත්තියට හේත්තු වී මා දෙස බලා උන් ඔහු මාගේ නෙත ගැටුණි. සැණින් සැලෙන හදක් තිබුණා නම් මා බිය වනවා නිසකය.
මා ඔහු දුටු බව ඔහු දුටුවත් එක බිඳුවකින් හෝ ඉරියව් වෙනස් නොකොට ඔහු මා දෙස එක එල්ලේම බලා උන්නේ ය. ඔහු මගේ හිතෙහි ඇදුණ මායාවක් යැයි මට එක මොහොතක සිතුණි.
" විහා...න්.."
මම ඇහෙන නෑහෙන හඬින් මිමිණුවෙමි. නැත. ඔහු එක ඇහි පිහාටුවක් හෝ සැලුවේ නැත. ඔහු ගල් පිළිමයක් සේ මා දෙස බලා උන්නා පමණි. විනාඩි ගණනකට පසු මම තදින් දෑස් පියා ගත්තෙමි. ඔහුගේ රුවක් මගේ මනසේ ඇදි සිත්තමක් පමණක් වේවා යැයි පතමින් මම දෑස් හැරියෙමි.
ඔහු යන්නට ගොසිනි. හදවත ගැඹුරේ විස කටුවක් ඇනී රිදුම් දෙනවාක් මෙන් ගැඹුරු වේදනාත්මක හැඟීමක් දැනුණි. නොවේ. එය සිහිනයක් නොවේ. ඔහු සැබැවින්ම මා බලන්නට ඇවිත් නමුත් එකඳු වදනක් හෝ නොදොඩා යන්නට ගොසිනි.
මා ඔහුට කළ වරදක් නැත. මා කළ එකම දෙය නම් ඔහුව මේ කාළකණ්ණි පළි ගැනීමෙන් නිදහස් කිරීම පමණි. නමුත්...? දෑස් අග තෙත්ව යනු දැණුනත් මම තදින් දෑස් පියා ගත්තෙමි.
එක දිගට නාද වෙන දුරකතනයට අත යවමින් මම දෙනෙත් ඇරියෙමි. කාමරයම එළිය වැටී ඇත. දුරකතන තිරයෙහි වූයෙ අරුල්ගේ අංකයයි. මම වහාම ඇමතුමට සම්බන්ද වූවෙමි.
" අරුල්.. "
"වට්සැප් ෆොටෝ වගයක් දැම්මා. ඔක්කොම ඉන්නවා ද බලනවා. "
ඔහු එපමණක් කියා ඇමතුම නිමා කළේය. මම යහනෙහි වාඩි වෙමින් අරුල් එවූ චායාරූප එකින් එක බැලුවෙමි. එහි වූයේ...
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.