තිස් අට වෙනි කැළැල 38

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " සරීනා.."


" තාමත් ඔයාට මං වෙනුවෙන් මුකුත් කරන්න නැද්ද..??"

කිසිදු තෙතමනයක් නැති කටහඬකින් මම ඇසුවෙමි. අරුල්ගේ මහා දරදඬු පෞරුෂත්වය මා ඉදිරියේ බිඳී යන අයුරු මම රස වින්ඳෙමි.

" වචන වල විතරක් පොරොන්දු තිබිලා වැඩක් නෑ අරුල්.. "

මම එසේ කියමින් දෑස් පියා ගත්තෙමි. තවත් මොහොතකින් ඔහු යන්නට ගියේ ය. ඔහුව අවුස්සා ගැනීමට නම් ඔහු කෝප ගැන්විය යුතුය. මම එය හොඳින්ම දනිමි.

රාත්රී කෑම රැගෙන හය වන විටම සිරියා මා වෙත පැමිණියද මට කෑමට තරම් පිරියක් නොතිබුණි. ඊයේ තරම් වේදනාවක් නොතිබුණත් තවමත් ඇඟ රිදුම් දේ.

ආදරණීය පාඨකය.. රාත්රීය ඇරඹුණි. බලාපොරොත්තු පිරී ඉතිරී ගිය හදින්, බලාපොරොත්තු විරහිත දෑසින් මම යහනට වී සිවිලිම දෙස බලා සිටියෙමි. මරණීය වේදනාවත්, මරණීය රමණයත් එක සේ විඳින්නට සැලසූ රාත්රී දෙකක් ගෙවී අවසන් ය.

මේ සා වූ වේදනාවකට හේතු කාරණා වූ සියල්ලන්ම විඳවිය යුතු යැයි මම යළි යළිත් විශ්වාස කරමි. කිසිවෙකුටත් වරදක් නොකළ නමුත් ජීවිතයේ නොවිඳනා වේදනාවන් විඳිනා සියල්ලන් වෙනුවෙන්ම මම එසේ ප්රාර්ථනා කරමි.

අසාධාරණයට පත්, ඒ අසාධාරණය වෙනුවෙන් කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ වූ සියල්ලන් වෙනුවෙන්ම මම එය එසේ විය යුතු යැයි දැඩි සේ විශ්වාස කරමි. ආදරණීය පාඨකය.. මා මහා කෲර ගැහැණියක් යැයි නොසිතන්න. මමද සරල, සාමාන්ය ඔබ වන් මිනිසෙකු මිස අන් කිසිවක් නොවේ. මා ගත් එකම එක වැරදි තීරණයක් නිසා මම මුළු ජීවිතයකින්ම වන්දි ගෙවමින් සිටිමි.

නමුත් මා රිදවපු, මා හඬවපු, තව තවත් මා වේදනාත්මක සයුරේ ගිල්වමින් සතුටක්, වින්දනයක් ලබනා කිසිවෙකුට සමාව දෙන්නට මා කිසි විටකත් සූදානම් නැත.

" නෝනා... දැන් වත් බත් කටක් කමුද..?? කෑමත් සීතල වෙලා.. "

සිරියාගේ හඬින් මම පියවි ලෝකයට ආවෙමි. මටත් නොදැනිම වේලාව රාත්රි නවයද පසුව ඇත. මගේ නිහඬබව නිසාම සිරියා බත් පිඟානක් බෙදා ගෙන ඇවිත් මගේ ඇඟ අද්දරින් වාඩි වූවාය. මා කිසිවක් කීමටත් පෙර ඇය මට බත් අනා කැවීමට පටන් ගත්තා ය.

" නෝනාට අපේ ඇමතිතුමා හරි ළෙන්ගතුයි වගේ.. මං ඇමතිතුමා ගාව වැඩ කරන්නේ එතුමා මන්ත්රී වෙච්ච අලුතම ඉදන්. ඒත් කවදාවත් ඇමතිතුමා කිසිම ගෑණු පරාණයක් ගැන මෙච්චර කරුණාවෙන් බලා කියා ගත්තේ නෑ නෝනා.. "

" නෝනා සිහි නැති වෙලා ඉද්දි ඇමතිතුමා මේ ඇඳ ගාවින් හෙලවුන්නෑ. ඒ ඇරත් නෝනා කෙඳිරි ගාද්දි අර ආපු දොස්තර මහත්තයා මැරුවේ නැති ටික විතරයි. ඇමතිතුමා සැරින් සැරේ ඇස් පිහිද පිහිද මුළු රාත්රියේම නෝනා ගාවම වාඩි වෙලා හිටියා නෝනේ.."

සිරියා බත් අනමින්, මට කවමින් නොනවත්වාම කීවා ය. ඇමතිතුමාත්, මාත් අතර ඇති සම්බන්දතාවයේ දිග පළල ඇය නොදන්නවා විය හැක. මා ඇමතිතුමාගේ ලිංගික අවශ්යතා සපුරා ගැනීමට භාවිතා කළ තවත් එක් ගැහැණියක් පමණි. ඒ ඇරෙන්නට වෙනත් කිසිඳු හැඟීමක් අප අතර නොතිබූ බව මට සහතිකය.

නමුත් සිරියාට අනුව ඇමතිතුමාගේ ජීවිතයේ වැදගත්ම ගැහැණිය ලෙස ඇය මා දකින්නට ඇත. එසේ සිතන්නට ඇමතිතුමාගේ හැසිරීම හේතු වූවාට සැකයක් නැත.

ආත්මාර්ථකාමීත්වයේ ඉහළින්ම සිටි ඇමතිතුමා සැබැවින්ම මා වෙනුවෙන් කඳුළැලි සැලුවාද..? අසිහියෙන් සිටි මොහොතක මා එක වරක් දෑස් හැරියා මතකය. ඒ මොහොතේ ඇමතිතුමා කලබල වෙමින් මා අසල උන් බව මට මතකය.

සමහර විට ඔහුගේ හිතේ සුළු ඉඩක් මා වෙනුවෙන් තියෙන්නට ඇත. නමුත් ගැහැණියකගේ හදවතේ ඉඩක් අයිති කර ගැනීම සහ ඇගේ ගත අයිති කර ගැනීම යනු කාරණා දෙකකි. ඇය තලමින්, රිදවමින්, ඇයව සිර කොට තබා ගනිමින්, ඇගේ හැඟීම් නොසලකා හරිමින් කිසිදින ඇගේ හදවතේ ඉඩක් අයිති කර ගත නොහැක.

" ඇමතිතුමා මට මඟින් මඟටම කියලා ගියා ඇමතිතුමා එනකම් නෝනාව හොඳින් බලා ගන්න කියලා. නෝනාට තනියම ඇඳෙන් බහින්නවත් දෙන්න එපා කිව්වා. නෝනාට ආයේ අමාරු වුණොත් කතා කරන්න දොස්තර මහත්තයගේ පෝන් නම්බරෙත් දීලයි ගියේ.."

සිරියා යළි යළිත් කියමින් මට තවත් බත් කටක් කැව්වා ය. බත් කන්නට කිසිදු පිරියක් නොතිබුණත් මා ඉක්මනින් සනීප විය යුතු බැවින් මම බත් කෑවෙමි. සිරියා ඇමතිතුමාට ඇති ගෞරවයට හෝ ඇමතිතුමාගේ මුදලට හෝ ඈ සැබෑ ළෙන්ගතු ලෙසින් මගේ සියල්ල සොයා බැලුවා ය. එබැවින් ඇයට කිසිවක් කීමට මගේ දිව නොනැමුණේය. පිට කෙනෙකුගෙන් ලැබෙනා දයාවට, කරුණාබර වචන වලට එතරම්ම මා ලැදිය.

ඇය බත් කවා අවසානයේ පනාවද රැගෙන මා ළඟට විත් මා ඇඳෙහි හිඳුවා මගේ දිගු කොණ්ඩය පීරුවාය.

"ඇමතිතුමා අර නෝනාව බැඳ ගත්තේ චන්දේ දිනන්න විතරයි නෝනා. මට නම් පේන්න බෑ. කොච්චරවත් ඇමතිතුමාගේ පස්සෙන් ඇවිත් අරක කරන්න මේක කරන්න ගගා කියවන එකමයි වැඩේ. හැබැයි පස්සේ පස්සේ ඇමතිතුමා හැමදේම පාලනය කර ගත්තා. "

" මට මතකයි ඒ කාලේ ඇමතිතුමා ගෙදර එන්නෙම නෑ. ඒ ආවත් රෑ එළි වෙනකම් රණ්ඩු. ඒ කාලෙමයි මං ආයේ ගමේ ගියෙත්. "

ඈ කීවේ මා කිසිදා නොදැන සිටි කතාවකි. ලෝකයාට අනුව ඇමතිතුමාත්, ඇගේ බිරිඳත් ගෙවන්නේ සාමකාමී පවුල් ජීවිතයකි. විහාන් පිළිබඳවද ලෝකයා කිසිවක් නොදන්නා පසුබිමක රහසක්ව සැඟව ගිය කාරණා තවත් කෙතරම් ඇත්ද..??

" ඇයි එච්චර රණ්ඩු කළේ..?"

" ඒ නෝනාව ඇමතිතුමාට බන්ඳලා තියෙන්නේ බලෙන්ලුනේ. ඔය ලොකු ලොකු පවුල්වල ඉතින් ඔහොමනේ නෝනා. ඒ ඇරත් ඇමතිතුමාට කවදත් ගෑණු ප්රශ්නනේ. එකපාරක් ගෑණු කෙනෙක් ආවා ගෙදරටම පොඩි කොල්ලෙකුත් අරන්. එදා නම් ගෙදර තිබුණ හැම බඩුවක්ම පොළවේ ගගහා ඒ නෝනා ගේ දෙවනත් කරා. "

මට විහාන්ව සිහිපත් විය. එසේ නම් එදා විහාන් රැගෙන ඔහුගේ අම්මා පැමිණෙන්නට ඇත. මට ඒ ගැන දැන ගන්නට කුතුහලයක් ඇති විය.

" ඒ කවුද නැන්දේ..??"

"කීමට නම් කිව්වේ ඒ ගෑණු මනුස්සයා ඇමතිතුමා කසාද බැඳලා හිටියයි ඒ ඇමතිතුමාගේ දරුවයි කියලා. අපිත් ඉතින් ගෙදර වැඩකාරයෝ වෙච්චි අපි ඕවයි ඇත්තක්, බොරුවක් දන්නේ නෑනේ. "

" ආයේ ඒ ගෑණු මනුස්සයා ආවේ නැද්ද..?"

" දැන් කොච්චර කල්ද නෝනා..? මං ඉන්නකම් නම් ආයේ ආවේ නෑ.. "

මම සුසුමක් හෙලුවෙමි. විහාන් කෙතරම් නම් වේදනාවක් විඳවන්නට ඇත්ද..?? තවත් ඔහු මේවායේ පැටලෙමින් දුක් විඳිය යුතු නැත.

" නෝනා දැන් නිදා ගන්න. මං මෙතන බිමින් නිදා ගන්නම්.."

" නෑ නෑ. නැන්දා එහා කාමරේට ගිහින් නිදා ගන්න. මට දැන් එහෙම අමාරුවක් නෑ. ඇඟ පත වේදනාවක් විතරයි. "

" නෝනාට රෑට අමාරු වුණොත්.."

"මං බෙහෙත් බිව්වනේ.. දැන් නින්ද යයි. නැන්දා ගිහින් නිදා ගන්නකෝ.."

මම ඇයව එහා කාමරයට නිදා ගන්නට පිටත් කළෙමි. තනි වන්නට තදබල ආශාවකින් යටි හිත පෙළේ. අද රාත්රියේ කුමක් සිදු වේවිදැයි මට සිතන්නට ඕනෑය. නාගරාජ් කෙසේ විඳවනවා දැයි මා සිතින් මවා ගන්නට ඕනෑය. අරුල් කුමක් කරනවා දැයි ඔහුගේ කෝපය කුමක් කරාවිදැයි මා සිතන්නට ඕනෑ ය.

නමුත් මට පළමුව සිහිපත් වූයේ පෙර දින රාත්රියේ අන්ධකාරයේ අතුරුදහන්ව ගිය විහාන්ගේ දැඩි බැල්මයි. මම ඔහු එළවා ගත්තෙමි. වෛරයෙන් වෛරය පලි ගනිමින් ඔහුගේ ජීවිතය අතීතය වෙනුවෙන් වැය විය යුතු නැත.

නමුත් මම පුරුද්දට මගේ කුඩා දුරකතනය සැඟ වූ තැනින් අතට ගෙන ක්රියාත්මක කළෙමි. ඔහුගෙන් මඟ හැරුණු ඇමතුමක් හෝ ඇත්දැයි මගේ යටි හිත විමසුවේය. නැත.. ඔහුගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ නැත.

එසේ නම් මා යන්නට කියූ පමණින් ඔහු අතුරුදන්ව ගොස් ඇත. මම බර සුසුමක් හදවත තුළම සිර කර ගතෙමි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI