තිස් හත්වෙනි කැළැල 37

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " අපි හොස්පිටල් යමු ඇමතිතුමා.. "


අරුල්ද හොඳටම බිය වී වන්නට ඇත. ඔහු දෙස බලන්නට සිතුණත් හිස ඔසවා ගන්නට බැරුව මම දැනුණ උණුසුමේ මුහුණ සඟවා ගතෙමි.

" තව හයියෙන්.. ඔහොම බෑ.. ඕකිට දැනෙන්න ඕන.. "

නාගරාජ් ඇමතිතුමාගේ කටහඬද අතරින් පතර ඇසෙන්නට පටන් ගත් විට මම කෙඳිරි ගාමින් කන් දෙකම වසා ගත්තෙමි. දැනටමත් මාගේ සිහිය විකල් වන බවක් මට දැනුණි. දෙවියනේ.. මේ වේදනාවෙන් මා මුදවා ගන්න..

ඇමතිතුමා මගේ කම්බුල් ස්පර්ශ කරමින් මා සොලවන්නට පටන් ගත්තේ ය. නමුත් ඊලග තප්පරේ කිසිවක් ඇහෙන නෑහෙන නිමේශයක හැඟීම් දැනීම් සියල්ලම මවෙතින් දුරස්ව ගියේය.

මම යන්තමින් දෑස් හැරියෙමි. බොහෝ දෙනෙකු මා වට කර ඉන්නා අයුරු බොඳ වූ චායාවක් මෙන් පෙනුණි.

" සරීනා... "

ආදරණීය කට හඬක් සමඟින් කවුරුන් හෝ මගේ හිස අත ගානු දැනුණි. මම දෑස් ඔසවා ගත නොහැකිව යළිත් දෑස් පියා ගතෙමි. මුළු ගතම හිරි වැටී ඇති අයුරුත් ඇඟිලි තුඩක්වත් සෙලවිය නොහැකි බවක් මට දැනුණි.

" අනේ මැණික.. ඇස් අරින්නකෝ.. "

" මං දිහා බලන්න සරීනා.. "

උණුසුම් දෑතක ස්පර්ශයක් මගේ කම්බුල් මත රැදුණි. ඒ ඇමතිතුමා බව මගේ හිත මට කීවේය.

" දැන් සරීනාට සිහිය ආවා.. එයා එයා.. ඇස් ඇරලා බැලුවා. මොකක් හරි කරපන් යකෝ.. කෙල්ල ඉන්නේ වේදනාවෙන්.. "

ඊලග මොහොතේ ඇමතිතුමා කාට හෝ කෑ ගසන හඬත් කවුරුන් හෝ බලෙන් මගේ ඇස් අරින්නට උත්සාහ කරන අයුරුත් මට දැනුණි. නමුත් ඒ කිසිවෙකුට ප්රතිචාර දක්වන්නට නොහැකිව මම වේගයෙන් හුස්ම ගතෙමි.

තවත් මොහොතකින් සියල්ලම හීනයක් මෙන් පෙනී නොපෙනී ගියේ ය.

ඇස් පිහාටු මත බර ගතියක් සමඟින් මම දෑස් විවර කළෙමි. කාමරය ආලෝකයෙන් පිරී ඇත. තවත් මොහොතක් මම දෑස් පියා ගෙන සිටියෙමි. එහෙ මෙහෙ විසිරුණු සිතුවිලි එක්තැන් කරමින් මම මේ දක්වා වූ සිදුවීම් එකින් එක පළ ගස්වා ගතෙමි.

නාගරාජ් මා තලා පෙලා දමමින් සතුටු වූ අයුරුත් ඔහුගේ ආරක්ශකයින් මා නොමරා මරමින් මට මරණීය වේදනාවන් දුන් අයුරුත් සිහිපත් වන විට මගේ ඇස් කෙවෙණි යළිත් තෙත් විය. නාගරාජ් ඇමතිතුමා එතරම් කෲර වූයේ මත් බව නිසාම නොවේ. එය ඔහුගේ පහත් මානසිකත්වය මිස අන් කිසිවක් හේතු නොවේ.

ඉන් පසු මා නිවසට ආවත් දොරකඩදීම විහාන් මා හමු වූයේය. ඔහු මා අස්වසන්නට හැදුවත් මම ඔහුට ඉඩක් නොතබාව ඔහුව එලවා ගතෙමි. යළිත් මා සොයා නොඑනා ලෙසින් මම ඔහුට කීවෙමි. සැබැවින්ම ඔහු යළිත් නොඒවිද..?? ඇස් කෙවෙනි දෙවෙනි වරටත් තෙත් විය.

ඇමතිතුමාගේ ආගමනය සමඟින් අරුල්ගේ කෝපාන්විත දෑසත් මට සිහිපත් වුණි. කෙදිනකවත් ඇමතිතුමාගෙන් නොලද සෙනෙහසක් මට දැනුණ බව මම සිහිපත් කිරීමට පවා මැලි වුණෙමි. අවසානයේ සියලුම වේදනා මධ්යයේ මා සිහිසුන් වන්නට ඇත.

" සරීනා... මැණික.. "

ඇමතිතුමාගේ හඬින් මම දෑස් ඇරියෙමි. පෙරදා රාත්රියේ මගේ ලෙයින් තෙත් වූ සුදු කමිසයත් සමඟින් මගේ යහන සමීපයේ උන්නේ ඇමතිතුමා ය. සතුටු වන්නද, දුක් වන්න්ට නොදැන මම ඇමතිතුමා දෙසම බලා උන්නෙමි.

ඒ දෑස් තිබුණේ තෙත් වීය. ඒ මා වෙනුවෙන් ද..??

" ඔයාට කොහොමද සරීනා...?? "

ඔහු මගේ මුහුණ දෝතට ගනිමින් ඇසුවේ ය. මම ඇසිපිය සැලුවෙමි. තවමත් මෙය සිහිනය නම් මේ සිහිනය කෙතරම් සොදුරුද.. ?

" ඔයාට වතුර තිබහද.. ?? තාමත් ඇඟ රිදෙනවද මැණික.. ?"

ඔහු මගේ නළල මතින් ඇඟිලි තුඩු තබමින් ඇසුවේය. ඒ ස්පර්ශයෙන් නළල යළිත් රිදුම් දෙන්නට පටන් ගත්තේ ය. මම එක අතකින් ඇමතිතුමාගේ අත ස්පර්ශ කළෙමි. එසේ නම් මෙය සොඳුරු සිහිනයක් නොවේ. මෙය සැබෑවකි.

ඊලග මිනිතුවේ ඔහු මට වතුර පෙව්වේය. සීතල වතුර දහරාවක් මගේ උදරය දක්වා ගලනා අයුරු දැනුණි. මම හිස ඔසවා ඇමතිතුමා දෙස බැලුවෙමි.

" ඔලුව රිදෙනවද මැණික.. ? මං ආයේ ඩොක්ටර්ට කතා කරන්නද..?"

" ටිකක් හොඳයි.. "

මම තොල් පෙති තෙත් කරමින් මිමිණුවෙමි.

" ඔයා කතා කරන්න එපා සරීනා.. ඔහොම්ම ඉන්නකෝ. "

ඔහු මගේ යහනින් නැඟිට කාමරයෙන් එළියට ගියේ ය. එසේ නම් පෙරදා රාත්රියේ සිටම ඔහු මා අසලම ඉන්නට ඇත. මේ තරම් වේදනාවක් මට දුන්නේ ඔහුමය. මගේ ජීවිතය මෙතරම් වේදනා සයුරක ගිල්වන්නට පෙරමුණ ගත්තේ ඔහුය.

නාගරාජ් හමුවට යන්නට බැහැයි කියමින් මම ඔහුගේ දෙපා පාමුල වැඳ වැටුණෙමි. නමුත් ඔහු මා ඒ තීරණය වෙත තල්ලු කරමින් ඔහුගේ ගැලවුමක් සෙව්වා මිස මා ගැන අල්ප මාත්රයක් හෝ සිතුවේ නැත.

නමුත් කුමන හෝ හැඟීමක් නිසාවෙන් ඇමතිතුමාගේ ගල් හදවත සිසිල් වී ඇතුවා වන්නට ඇත. මෙතරම් ප්රේමණීය වදන් සමඟන් සෙනෙහබර ස්පර්ශයන් ඔහුගේ පසුතැවීම වන්නට ඇත.

නමුත් ආදරණීය පාඨකය.. සමාව යන වචනය පවා මගේ ශබ්ද කෝෂයේ නැති වන තරමටම මේ සරීනාගේ හදවත ගල් වී ඇත. නැතිනම් සියල්ලම එක් වී මගේ හදවත මියෙනා තුරුම කැළැල් ඇති කරන්නට ඇත.

ඇමතිතුමා යළිත් පැමිණියේ සුප් බඳුනක් අතැතිවයි. ඔහුගේ පිටුපසින් මැදිවිය ඉක්මවමින් සිටි කරුණාවන්ත පෙනුමක් ඇති ගැහැණියක් පැමිණියා ය. මම හිස් හැඟීමෙන් ඔවුන් දෙදෙනා දෙසම බලා උන්නෙමි.

" ඇමතිතුමා, මං මිස්ට පොවන්නම්.. "

ඇය එසේ කියමින් බයාඳු ලෙස පිටුපසින් ඇවිද ආවත් ඇමතිතුමා ඇයව නෑසුන ලෙසින් මගේ යහන මතින් හිඳ ගත්තේ ය. ඉන් පසු මගේ කොට්ටය පිටුපසින් උස්සා මා යහනේ වාඩි කළේ ය. ඉන් පසු නොයෙක් දේ කියමින් මට හැන්ඳෙන් හැන්ඳ සුප් පොවන්නට පට ගත්තේ ය.

ඇමතිතුමා කී පරිදි ඇය සිරියා ය. නැතිනම් සිරියාවතී ය. ඇය බොහෝ කලකට පෙර ඇමතිතුමාගේ නිවසේ සේවය කළ නමුත් දරුවන්ගේ වැඩ කටයුතු නිසාවෙන් ඇය ඇමති නිවසෙන් පිටව ගොස් ඇත.

" නාගරාජ්... ??"

ඇමතිතුමා මගේ තුවාල වලට බෙහෙත් දමා මා අසලින් හාන්සි වී මා දෙසම බලා සිටිනා මොහොතක මම ඇසුවෙමි. නාගරාජ්ගේ කතාවේ අවසානය දකින තුරු මට ඉවසුම් නැත.

" ඌ ගැන මං අද රෑට බලා ගන්නම්. ඔයා බය නැතුව හොඳ වෙන්න මැණික.. ආයේ ඔයාට අතක් තියන්න ඌට ඉඩ දෙන්නේ නෑ.. "

ඇමතිතුමා කෙහෙරැල්ලක් මගේ කණේ රඳවමින් කීවේය. නමුත් ඒ වචන සීයට සීයක් මම විශ්වාස නොකළෙමි. චන්දය ගන්නා තුරු වේදිකා වල දිග අරින පච කන්ද මතක් වන විටත් ඇමතිතුමාගේ මුවින් පිට වන එකදු වචනයක් මත විශ්වාසය තැබිය නොහැක.

සවස් යාමය වන තුරුත් මා ළඟ රැඳී උන් ඇමතිතුමා රාත්රියේ උදා වීමට මත්තෙන් යන්නට ගියේ ය. ගෙවී ගිය දවස පුරාම සෑම විනාඩියකම ඔහු සිටියේ මා අසලින් ය. ඒ ආදරණීය ඇමතුම්, ආදරණීය බැල්මන්, ආදරණීය රැකවරණය මුල සිටම ඇමතිතුමාගෙන් මා ලැබුවා නම් සරීනා වන මාගේ කතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි.

ගෙවී ගිය අවුරුදු ගාණක මතක තුළ මගේ ආත්මය රිදවමින් යළි යළිත් කැළැල් තැබුවා විනා ඇමතිතුමා ආදරයෙන් මා සිප ගත් එක දවසක් ගැන මගේ මතකයේ නැත.

ඇමතිතුමා ගිය පසු අරුල් කාමරයට පැමිණ දුරින් හිඳ මා දෙස බලා සිටියේ ය. මළාණික බැල්මක් ඇරෙන්නට වෙනත් කිසිදු හැගීමක් මගේ දෑසෙහි නොතිබෙන්නට ඇත.

" සරීනා.."

" තාමත් ඔයාට මං වෙනුවෙන් මුකුත් කරන්න නැද්ද..??"

කිසිදු තෙතමනයක් නැති කටහඬකින් මම ඇසුවෙමි. අරුල්ගේ මහා දරදඬු පෞරුෂත්වය මා ඉදිරියේ බිඳී යන අයුරු මම රස වින්ඳෙමි.

" වචන වල විතරක් පොරොන්දු තිබිලා වැඩක් නෑ අරුල්.. "

මම එසේ කියමින් දෑස් පියා ගත්තෙමි. තවත් මොහොතකින් ඔහු යන්නට ගියේ ය. ඔහුව අවුස්සා ගැනීමට නම් ඔහු කෝප ගැන්විය යුතුය. මම එය හොඳින්ම දනිමි.

රාත්රී කෑම රැගෙන හය වන විටම සිරියා මා වෙත පැමිණියද මට කෑමට තරම් පිරියක් නොතිබුණි. ඊයේ තරම් වේදනාවක් නොතිබුණත් තවමත් ඇඟ රිදුම් දේ.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI