තිස් හයවෙනි කැළැල 36

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " මොකද සරීනා වුණේ.. ? ඔයාව ගැහෙනවා.. "


" අනේ.. ඇමති..තුමා..මාව මරලා දාන්න ඇමතිතුමා.. මට දරන් ඉන්න බෑ දෙයියනේ.. "

මම කෙඳිරි ගාමින් කීවෙමි. ඇමතිතුමාගේ පිටුපසින් අරුල් පැමිණ හිට ගන්නා අයුරු මම ඇස් කොණකින් දුටුවෙමි.

" සරීනා.. "

" මං දිහා බලන්න ඇමතිතුමා.. ඌ මාව නොමරා මැරුවා.. "

මම උරහිස් වටා දමා ගෙන උන් පොරෝනාව ගලවා දැමුවෙමි. කහ අලෝකයට දිලිසෙන මගේ සම මත ඇති රතු, නිල් කැළැල් ඔහු හොදින් දකින්නට ඇත. එමෙන්ම ලේ ගලනා මගේ නළලත්, ලේ වියළී ඇති මගේ දෙතොලත් මත ඔහුගේ දෑස් දුවන අයුරු මම බලා උන්නෙමි.

" ඌ මොනවාද කිව්වේ..?"

ඔහු මගේ මුහුණට එබෙමින් ඇසුවේ ය. නමුත් මම කිසිවක් නොකියා හයියෙන් හැඬුවෙමි.

"මොනාද ඒ බල්ලා කිව්වේ. කියන්න සරීනා..."

ඔහු මගේ උරහිස් අල්ලමින් මා වෙත නැඹුරු විය. නමුත් මම නොනවත්වා හැඬුවෙමි. ඔහු මගේ කම්බුලක් මත දෑත තබා මගේ ඇස් වලට එබුණේය. මගේ දෑසින් එක දිගට කඳුලු වැස්සක් ඇද හැලමින් තිබුණි.

" අරුල්.. අපි ඇතුළට එක්කම් යමු.. "

අරුල් පැමිණ එක් උරහිසකින් මා වාරු කර ගත්තේය. ඔහු මා ස්පර්ශ කරද්දී අත ගසමින් මම වේදනාවෙන් කෙඳිරි ගෑවෙමි. ඔහු හොඳින් මගේ අත් ගොබය දෙස බැලුවේය.

" ඌ මොකෙන්ද මේ ගහලා තියෙන්නේ..?"

අරුල්ගේ හඬ නෑසුණාක් මෙන් මම ඉදිරියට අඩියක් තැබුවෙමි. අරුල් කුමක් හෝ මුමුණවා ඇසුණාත් මම ඔහුට කිසිවක් නොකියා නිහඬවම සිටියෙමි. ඔවුන් දෙදෙනා මා සැටියෙන් වාඩි කර වූවෝය. මම සැටියේ කොණටම ගොස් කකුල් දෙකත් උඩට ගෙන ගුලි වුණෙමි.

" සරීනා.. "

ඇමතිතුමා මට ළංව මගේ හිස අත ගෑවේ ය. ඒ ස්පර්ශයෙ වෙනදා මෙන් රාගික හැඟීමක් නොතිබුණි. නමුත් ඔහු එක්තරා තාලයකට මගේ හිස අත ගෑවේය.

" මං ඩොක්ටර් කෙනෙක් ගෙන්නන්නම්. ඔයාට අමාරුනේ සරීනා.. "

අන් කවරදාටත් වඩා ඇමතිතුමාගේ කට හඬ බිඳී ගොස් තිබුණි. මම අමාරුවෙන් හුස්ම ගනිමින් තව තවත් ගුලි වුණෙමි. අරුල් වතුර වීදුරුවක් රැගෙන විත් මට වතුර පෙව්වේය. උගුර මත ගින්නක් ඇවිලී නිවී යන ලෙසින් වේදනාවක් දැනුණි.

අරුල්ගේ දෑස් කෝපයෙන් ගිනි ගන්නා අයුරු දැක මම යටින් සිතින් සතුටු වූවෙමි. ඊයේ රාත්රියේ ඔහුගෙන් මා ගලවා ගන්නා ලෙස ආයචනා කළ නමුත් ඔහු මට පිළිතුරක් නොදී නිහඬව උන් අයුරු මම කේන්තියෙන් සිහිපත් කළෙමි.

"සරීනා.. "

මම ඇමතිතුමාගේ දෑස් දෙස බැලුවෙමි. ඒ දෑස් සෙනෙහසින් බර වී තිබුණි. එය අන් කවරදාකවත් නොතිබූ බැල්මකි. ඔහුගේ රන් කූඩුවේ සිටිනා මා තවත් එක ගිරවියක් වූවාට වඩා වැඩි යමක් ඒ ඇස් මත තිබුණි. පෙරදා ඔහුගේ ගැලවීම වෙනුවෙන් මා රකුසාගේ නිවහනට යැවීමට තරම් කෲර හදක් තිබූ ඔහු ගැන මගේ හදවතේ කුමන සමාවක්ද..??

"ඇමතිතුමා... ඌ කවදාවත්.. කවදාවත් සමාව දෙන්නේ නෑ කිව්වා.. "

මම සිහින් හඬින් කීවෙමි. ඇමතිතුමා මා අසලින් වාඩි වූයේ ය. නැතිනම් මා ගෙන ආ ආරංචිය ඔහුගේ දෙපා පණ නැති කරන්නට ඇත. ඔහුගේ එකම ගැලවීම වූ නාගරාජ් ඔහුට අහිමි වූ බව එතරම්ම සෝචනීය පුවතකි.

" ඌ මාව.. පණ පිටින්... පණ පිටින් අත ඇරියේ ඇමතිතුමාට මේක කියන්න... "

මම යළිත් හැඬුවෙමි. කිසිදු ආයසයකින් තොරව මගේ දෑස් වලට කඳුලු ගලා ගෙන එයි. එමෙන්ම මගේ ගත පෙලූ වේදනාවද මොහොතින් මොහොත තවත් වැඩි වෙයි.

" සරීනා.. "

" බය නැතුව කියන්න.. "

ඇමතිතුමා මගේ හිස් මුදුනින් අතක් තබා මගේ මුහුණ ඔහු දෙසට හරවා ගත්තේ ය. මගේ ආත්මය සිදුරු කළ කැළැල් කිසිවක් මෙවැනි කාරුණික වදන් වලින් මැකිය නොහැක.

" ඌ මට කිව්වා අවස්ථාවක් ලැබුණ ගමන් ඇමතිතුමා මරලා මාව උගේ ගාවට ගන්නවා කියලා.. "

මම දෑතින්ම මුහුණ වසා ගෙන කීවෙමි. එකවරම ඇමතිතුමා මා ඔහුගේ පපුවට තුරුලු කර ගත්තේය. ඉන් පසු මම හිතේ හැටියට හඬා වැටුණෙමි. අවුරුදු ගණනක් තිස්සේ ඇස් වලින් වැටෙන්නට නොදී රැක ගත් කඳුලු සියල්ලම ඔහුගේම පපුව මත මුදා හැරියෙමි.

මේ පෙන්වන තරම් කාරුණික හදවතක් සැබැවින්ම ඇමතිතුමාට තිබුණි නම් මා මෙතරම් කාළකණ්ණි ගැහැණියක් නොවන්නට තිබුණි. නමුත් අතීතය කිසිවෙකුටත් වෙනස් කරන්නට නොහැකිය.

"ඔයාට අමාරුයි මැණික... "

මම අපහසුවෙන් හුස්ම ගන්නා විට ඔහු මගේ සවනට කෙඳුරුවේය. මම අහිංසක ලෙස හිස උස්සා ඔහු දෙස බලා සිටියෙමි. කවදාවත් නොදුටුව තරම් කාරුණික පෙනුමක් ඒ මූණට ආරූඪ වී තිබුණි.

" ඇමතිතුමා.. තවත් ඉවසන්න නම් මට කියන්න එපා. ඕකව කෑලි කෑලි වලට කැපුවේ නැත්නම් මං අරුල් නෙවෙයි.."

"ඌ ඊළඟට අත තියන්නේ ඇමතිතුමාට. තවත් බල බල ඉන්න එකේ තේරුමක් නෑ. ඉස්සර වෙන එකා මුලින් මරනවා. එච්චරයි ඇමතිතුමා.. "

අරුල්ගේ ආවේගශීලි වදන් සවන් වැකුන මුත් මම හිස ඔසවා හෝ නොබැලුවෙමි.

" පොඩ්ඩක් ඉන්නවා අරුල්. මුලින් මේ කෙල්ලව හොඳ කර ගමු.."

ඇමතිතුමා යළිත් මගේ හිස අත ගෑවේය. හදවත පුරා නොදන්නා තෘප්තිමත් හැඟීමක් දැනෙමින් තිබුණි. අනේක වද හිංසා සියල්ලටම පසුවත් ගැහැණියක් බලාපොරොත්තු වන්නේ කාරුණික වදන් ය. හිත නිවන බැල්මක් ය. සෙනෙහබර උණුසුමක් ය. ඒ සියල්ලම කෙටි මොහොතකට හෝ මම ලබමින් සිටියෙමි.

මගේ නළලින් ගැලූ රුධිරය ඇමතිතුමාගේ සුදු පැහැ කමිසයට වැටි බොඳ වන අයුරු මම බොඳ වන දෑසින් බලා සිටියෙමි. යටි කයෙන් දැනෙනා වේදනාව දරා ගත නොහැකි තැන මම ඇමතිතුමාගේ කමිසය මිරිකා ගතෙමි.

" මට අමාරුයි ඇමතිතුමා.. "

" තව චුට්ටක් ඉන්න සරීනා.. ඩොක්ටර් කෙනෙක් මග එනවා.. "

මම වේගයෙන් ඇසිපිය ගැසුවෙමි. දැනටමත් මගේ හිස කැරකවෙමින් තිබේ. ඇමතිතුමාට කියන්නට සිතා ගෙන සිටි සියල්ලම මම කීවෙමි. අරුල් රිදවන්නට ඕනෑ තරමටම මම ඔහු ගණන් නොගෙන සිටියෙමි.

ආදරණීය පාඨකය.. මගේ සැලැස්මේ පරිදි සියල්ලම සිදු වෙමින් පවතින බව සියලු වේදනාවන් මැදින් මම සහතික කර ගත්තෙමි. මෙතැන් පටන් සියල්ලම සිදු වන්නේ මගේ සැලැස්මට අනුව ය. ඉතින් හදවතට සැහැල්ලුවක් දැනෙමින් තිබුණි.

නාගරාජ් මෙන්ම ඔහුගේ ආරක්ශකයන්ගේ බොඳ වුණ චායාවන් හොල්මන් මෙන් සාලය පුරා සක්මන් කරන්නට පටන් ගත්තේ මට හුස්ම ගැනීම පවා තවත් අපහසු කරමිණි. මම තව තවත් ඇමතිතුමාගේ පපුවටම ගුලි වුණෙමි.

" සරීනා... ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ මැණික. ඔයාට ඉක්මනටම හොඳ වෙනවා.. "

ඇමතිතුමාගේ බිඳුණු තේජාන්විත කට හඬ පමණක් මට ඇසේ.

" අපි හොස්පිටල් යමු ඇමතිතුමා.. "

අරුල්ද හොඳටම බිය වී වන්නට ඇත. ඔහු දෙස බලන්නට සිතුණත් හිස ඔසවා ගන්නට බැරුව මම දැනුණ උණුසුමේ මුහුණ සඟවා ගතෙමි.

" තව හයියෙන්.. ඔහොම බෑ.. ඕකිට දැනෙන්න ඕන.. "

නාගරාජ් ඇමතිතුමාගේ කටහඬද අතරින් පතර ඇසෙන්නට පටන් ගත් විට මම කෙඳිරි ගාමින් කන් දෙකම වසා ගත්තෙමි. දැනටමත් මාගේ සිහිය විකල් වන බවක් මට දැනුණි. දෙවියනේ.. මේ වේදනාවෙන් මා මුදවා ගන්න..

ඇමතිතුමා මගේ කම්බුල් ස්පර්ශ කරමින් මා සොලවන්නට පටන් ගත්තේ ය. නමුත් ඊලග තප්පරේ කිසිවක් ඇහෙන නෑහෙන නිමේශයක හැඟීම් දැනීම් සියල්ලම මවෙතින් දුරස්ව ගියේය.

_______________________________________

එන්න... අද මට බනින්න..

සරීනාට මොකද වුණේ...???

ඇමතිතුමාගේ හිතේ ඇත්තටම සරීනා ගැන හැඟීමක් තිබුණද..??

අරුල්ගේ කෝපය කොහෙන් නවතීද..???
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI