තිස්තුන් වෙනි කැළැල 33

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " සරීනා.. නාගරාජ් කවුද කියලා දැනත් දැනත් ඌ ගාවට යන්න එපා.. "


" මට වෙන මොකක්ද කරන්න කියන්නේ..?? කොහොමත් වටිනා දේවල් ලබා ගන්න කැප කිරීම් කරන්න වෙනවා. "

විහාන් මා දෙස කෝපයෙන් බලා සිටිනවා මම දුටුවෙමි. නමුත් මම නොදැක්කා සේ යහනේ ඇඳ රෙදි හැදුවෙමි. මෙතන යම් කෙනෙක් අසරණ නම් ඒ මාය. කිසිවක් කර කියා ගත නොහැකිව ලත වන්නේ මාය.

" මට නම් තමුසෙව තේරුම් ගන්න බෑ සරීනා. ඕන දෙයක් කර ගන්නවා.. "

ඔහු එසේ කියා යන්න ගියේ ය. ගැහැණුන් විෂයෙහිලා තේරුම් ගැනීම යනු බොහෝ අසීරු බව සැබෑවකි. සෑම විටම සිතුවිලි වලින් හෙම්බත්ව අනෙකා ගැන සිතමින් ජීවිතය ගෙවීම කෙතරම් දුෂ්කරද..? ගැහැණු නම් එයයි.

කල්පනාවේ ගිලී උන් මා ඇහැරුනේ වාහනයක හඬ ඇසීය. මම වේලාව බැලුවෙමි. මධ්යම රාත්රිය පසුව හෝරාවක් ගෙවී ගොස් ය. එබැවින් ඒ ඇමතිතුමා විය නොහැක. ඒ අරුල් විය හැකිදැයි සිතමින් මම අඳුරේම සාලයට ගියෙමි.

කිහිප වරක්ම දොරට ගසන හඬ ඇසුණි. මම අඬ අඳුරේම ගොස් දොර විවර කළෙමි. මා සිතුවා නිවැරදිය. දොර පාමුල දෑස් දල්වා ගෙන මා දෙස බලා උන්නේ අරුල් ය. ඒ දෑස් වල මා වෙනදාට නොදුටු තරම් පරාජිත බවත් ගැබ්ව තිබූ බව ඔහුගේ මූණට වැටුණ යන්තම් ආලෝක දාරා අතරින් මම දුටුවෙමි.

මා අපේක්ෂා කර තරමටම ඔහු කැළඹී තිබේ. මම ඉතා වේදනාත්මක බැල්මකින් ඔහු දෙස නොබලා බිම බලා ගත්තෙමි.

" මං හිතුවේ නිදි ඇති කියලා. "

" ඒකද දොරට ගැහුවේ අරුල්...?"

මම දොරින් ඈත් වෙමින් කීවෙමි. නමුත් ඔහු ගේ ඇතුළට නෑවිත් දොර පඩිය උඩ බිමින් වාඩි වුණේ ය. ඔහු දෙසින් ගලා ආ මත් පැන් සුවඳ නොතකාම මම දොර උලුවස්සට හේත්තු වෙමින් බිම ඉඳ ගත්තෙමි.

" මට හිතෙන්නෙම නාගරාජ්ට තියෙන්නේ වෙන ප්ලෑනක්.. "

" ඕකා දන්නවා ඇමතිතුමා සරීනාට දක්වන සැලකිල්ල. කොහොමත් තමුසෙට ඇමතිතුමා අනිත් ගෑණු ඔක්කෝටම වඩා සලකනවා. ඇමතියාට රිද්දන්න පුළුවන් හොඳම විදිය ඒකා දන්නවා.. ඒකයි තමුසේ එනකම් ඉදලා තමුසෙව අල්ල ගත්තේ.. මේක උගේ ප්ලෑනක්.."

මම නිහඬව අසා සිටියෙමි. එය සත්ය විය හැකි බව මා දැන උන්නත් මම කිසිවක් නොඅසාම අසා උන්නෙමි. අරුල් අඩ අඳුරේම අත ගා මගේ දෑත ඔහුගේ අත්ලට ගත්තේ ය.

" ඕකා ඇමතියට රිද්දන්න තමුසෙට කරදරයක් කළොත් මං දිවුරනවා ඕකව මං මරලා දානවා.. "

ඔහුගේ මුවින් පිට වුණ වචනයක් වචනයක් ගාණේම තිබුණේ ඉහවහා යන කෝපයයි. ඔහු මා වෙනුවෙන් රටේ පිළිගත් ඇමතිතු කෙනෙක් වුවත් මැරීමට සූදානම් ද..? නමුත් ඇයි..??

සමහර වචන, වචන පමණක් ලෙසින්ම අසා සිටිය යුතුය. එතනින් එහාවට ඒ වචන සත්යයක් වන තුරු බලා නොහිඳිය යුතු ය.

" ඊට පස්සේ.. ??"

මම දෙනෙත් පමණක් උස්සා ඔහුගෙන් ඇසුවෙමි.

" නාගරාජ් මරලා දැම්මම මට වෙච්ච කරදරයෙන් මං ගැලවෙනවද..?? ඒකා මාව මැරුවොත් මට ආයේ පණ එනවද.. ?"

විනාඩි ගණනක නිහඬබවක් ඇති කරමින් අරුල් කල්පනා කරන්නට පටන් ගත්තේ ය. දැනටමත් ජීවිතය ගැන උපරිමයට කලකිරුණු ගැහැණියකගේ චරිතය මවා පාමින් මම බිම බලා ගෙනම සිටියෙමි.

"දැංවත් ඇත්ත පිළි ගන්න අරුල්.. ඔයා, මම අපි දෙන්නම මේ බෝඩ් එකේ ඉන්න ඉත්තෝ විතරයි. ඇමතියා එක එක වෙලාවට එහෙට මෙහෙට අදිද්දි අපි නිකම් ඉත්තෝ විතරයි.. "

මම සිහින් ඉකිබිඳුමක් සමඟම කීවෙමි. එය රඟ පෑමක් වුවත් එය වචනයක් වචනයක් ගාණේම සත්යක් බව මගේ යටි සිත දනී. ඇස් වලින් උණු කඳුළක් කම්බුලක් මත වැටුණි.

" ඇමතියා එක්ක තියෙන කෝන්තරේට නාගරාජ් මාව මැරුවොත් මං මැරෙනවා අරුල්. තවත් මෙහෙම එක එකාගේ අත් වලට නැලවෙන රූකඩයක් වෙලා ජීවත් වෙන එක මට එපා වෙලා.. "

"සරීනා... "

" නෑ අරුල්... මං මැරුණොත් මගේ මිනියවත් ගෙදර ගෙනියන්න එපා. කෙලින්ම පුච්චලා දාන්න. තවත් මට මේ ජීවිතේ ගැන ආසාවක් නෑ. "

අරුල් මගේ කම්බුල් සෙමින් පිරිමැද්දේය. මා කියනා කිසිවෙකට ඔහු පිළිතුරු නොබැන්දත් ඔහු ඒ ඔස්සේ සිතනා බව මම දනිමි. නිහඬව ගෙවුණු මිනිත්තු ගණනාවකට පසු මම යළිත් හිස එසෙව්වෙමි.

"ඇත්තම ඔයාට මං වෙනුවෙන් මුකුත්ම කරන්න බැරිද අරුල්...?"

සැබැවින්ම මා එසේ ඇසුවේ ඇයි දැයි මම නොදනිමි. ඔහු අපි පැනලා යමුදැයි කියාවත් යෝජනා කරයි දෝ කියා මගේ යටි හිත බලාපොරොත්තු වූවාදැයි මම නොදනිමි. නොඑසේ නම් මගේ පලි ගැනීමේ ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කිරීමට අවසාන අවස්තාව ඔහුට ලබා දීමට සිතුවාද..?? කෙසේ වුවත් අවසානයේ මම ඔහුගෙන් මගේ ගැලවීම තකා එසේ ඇසුවෙමි.

ඒ ඇස් මත වූ හිස් හැඟීම අන්ධකාරයේ වුවත් මම පැහැදිලිව දුටුවෙමි. හැමදාම වගේම අදත් ඔහුට ඇමතිතුමාගේ වචනයට ඉහළින් යාමට තරම් ශක්තියක් නැත. නොඑසේ නම් ඔහුට එවැනි වුවමනාවක් ද නැත.

මම තවත් මොහොතක් හෝ සාලයේ නොරැඳී කාමරයට ආවෙමි. අරුල් පිටව ගියේ කොයි මොහොතක දැයි මම නොදනිමි. මම කාමරයට වැදී මුහුණ කොට්ටයක් මත ඔබා ගෙන ලොවම නෑසෙන පරිදි කදුලු සැලුවෙමි.

මා යහනින් බසින විට ඔරලෝසුවේ උදෑසන නවය පසු වී තිබුණි. කිසිදු හැඟිමක් නොතිබුණත් මා අද සැන්දෑව වෙනුවෙන් සූදානම් විය යුතුය. ගන්නට වෙනත් තීරණයක් මට නොතිබුණත් මගේ මනස තුළ ක්රියාත්මක වන සැලැස්ම මට ඉවත දැමිය නොහැක.

සවස පහ වන විට මම නා පිරිසිදු වී, ආලේපනයන් ගල්වා, සුවඳ විලවුන් තවරා දම් පැහැ දිගු ගවුමක් ඇගලා ගතෙමි. හීනි පටි සහිත ඒ ගවුමට මා තවත් වසර කීපයක ලාබාල පෙනුමකින් දිස් විය. මුහුණට වැටුණ දිගු කෙස් මම කණ පිටුපසින් රඳවා කටුවක් ගැසුවෙමි. දම් පැහැයට හුරු රත් පැහැයෙන් දොතොල් සරසා ගෙන මම කැඩපතේ උන් මටම සිනාසුණෙමි.

"ඔයාට පුළුවන් සරීනා.. ඔයාට පුළුවන්.. ඔයා මීට වඩා දේවල් දරා ගත්තා.. අදත් එහෙම දවසක්. "

මම ලොකූ හුස්මක් ගෙන යහන මතින් වාඩි වුණෙමි. තවත් මොහොතකින් නාගරාජ් ඇමතිතුමාගේ වාහනය පැමිණෙනු ඇත. නමුත් හදිසියේ හිතට ආ සිතුවිල්ලකට මම විහාන්ට ඇමතුමක් ගතෙමි.

කිහිප වරක් නද දුන් ඇමතුම පිළිතුරක් නොලබාම විසන්ධි විය. හෙට දිනට එළි වන විට මගේ සටනින් අඩක් නිමා විය හැකිය. නමුත් මා උන්නේ විසිරුණු සිතුවිලි රාශියක් මධ්යයේ ය. තවත් විනාඩි ගණනාවකට පසු ඇමතිතුමාගේ රියදුරෙකු පැමිණියේ ය.

මම හිස් හැඟීමකින් නිවසේ දොරත් වසා වාහනයට නැගුණෙමි. මා අත වූයේ මගේ දුරකතනය දැමූ කුඩා අත් බෑගය පමණි. ඇමතිතුමා මට ඇමතුමක් හෝ දේවියැයි මා බලාපොරොත්තු වුවද ඔහු මා ඇමතුවෙ නැත.

සියල්ල සිදු වෙමින් පැවතියද කුමක් හෝ හැඟීමක් මගෙ යටි සිත රිදවමින් ඇත. නමුත් ඒ හැඟීම කුමක්දැයි මට වෙන්ව හඳුනා ගත නොහැකි තරමටම මා උන්නේ කැළඹීමෙනි. මාර්ග තදබදය නිසා මෝටර් රථය නවතා තිබුණි. මගේ දෑස් එකවරම නතර වූයේ හුරුපුරුදු රුවක් වෙතයි.

විහාන්.... ඔහු පාරේ අයිනේ නැවතුමක හිට ගෙන සිටී. ඔහු අසලින්ම රුවැති යුවතියක් සිටී. ඔවුන් දෙදෙනාගේ දෑස් මත සුන්දර සිනහවක් රැඳී තිබුණි. මම වහා අහක බලා ගතෙමි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI