තිස් දෙවෙනි කැළැල 32

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " ඒ මොකටද..?"


එවර නම් ඇමතිතුමා හඬ අවදි කරේය. ඔහු මේ ප්රශ්නයේදි අනුගමනය කරනා නිහඬ පිළිවෙත මට හිස රදයක් වෙමින් පවතී.

" මං දන්නේ නෑ ඇමතිතුමා. ඒත් ඊට කලින් එයාට මාව මුණ ගැහෙන්න ඕනි කිව්වා. හෙට හවසට. "

" අනේ ඇමතිතුමා.. මාව නම් යවන්න එපා. මං කිව්වේ ඇමතිතුමාගෙන් අහලා කියන්නම් කියලා. "

මම බොහොම බැගෑපත් ස්වරයෙන් කීවෙමි. ඇමතිතුමා කල්පනා කරන අතරතුර අරුල් කාමරය පුරා ඇවිදමින් නොඉවසිලි බව පෙන්නුවේ ය.

" ඌට මාව හම්බෙන්න ඕනි පරණ යාලුකම අලුත් කර ගන්න නම් මට ඌව හම්බෙන්න වෙනවා."

"එතකොට මම..??"

මම බලාපොරොත්තු බිඳී ගිය ස්වරයෙන් ඇසුවෙමි. සුදු වතින් සැරසුනද බල්ලා යනු බල්ලාම බව මම පෙර සිටම දැන සිටියෙමි. නමුත් මට කිසිවක් නොකියාම ඇමතිතුමාට එකඟ විය නොහැක.

"අනේ ඇමතිතුමා.. "

" පොඩ්ඩක් තේරුම් ගන්න සරීනා. මේ වෙලාවේ අපේ පක්ශ ඇතුළෙන්ම මට කැපිල්ල. මං වෙනුවෙන් මට හිතවත් මොකෙක්වත් ඕක ඇතුළේ නෑ. විපක්ශෙත් බලන් ඉන්නේ මට මඩ ගහන්න. ඒ අස්සේ ෆේස්බුක් එකේ වෙනම කැරැල්ලක් යනවා. මගේ පැත්තට එදා ඉදන්ම අවංකව හිටියේ නාගරාජ් විතරයි."

"ඒකා මාත් එක්ක වෛර බැඳ ගත්තු දවසේ ඉදන් මට වුණේ කරදරමයි. මේ වෙලාවේ මට කාගේ හරි සපෝට් එකක් ඕන.. "

ඇමතිතුමා ඔහුගේ සැබෑ ස්වරූපය පෙන්වමින් තිබේ. මම මෙය මෙසේ සිදු වේ යැයි අපේක්ෂා කළෙමි. මඩේ සිටින පණුවන් මඩේ සිටින පණුවන්ටම ආවඩනවා ඇරෙන්න ඔවුන් වෙන කිසිවක් නොදනී.

"සරීනා.. මේ මට සපෝට් එකක් ඕනම වෙලාව.."

ඇමතිතුමා යළිත් කියයි. ඔහු ගැන දැනෙනා දැඩි අපුලෙන්ම මම ඔහු දෙස නොබලා ඉවත බලා ගත්තෙමි. නමුත් එක දිගට මගේ දෑස් වලින් කඳුලු වැටෙමින් තිබුණි. තවත් තප්පර ගාණනකට පසු මම ඉතා දුක්බර ලෙස ඔහු ඉදිරියේ දණ ගසා ගතෙමි. ඉන්පසු ඇමතිතුමාගේ දෑත් තදින් අල්ලා ගනිමින් නහය උඩට ඇද්දෙමි.

" අනේ ඇමතිතුමා.. නාගරාජ් මාව පණපිටින් මරලා දායි. මතකනේ ගියපාර. මට කොච්චර අමාරු වුණාද..?? මං වෙන ඕන දෙයක් කරන්නම් ඇමතිතුමා. ඒත් නාගරාජ් ගාවට නම් මට යන්න බෑ.."

"කොහොමත් නාගරාජ් ඉන්නේ ඇමතිතුමා එක්ක පුදුම වෛරයකින්. ඒ තරහටත් එක්ක මාව මරලා දායි. අනේ ඇමතිතුමා.."

මම කඳුලු සලමින් දණින් වැටෙමින් ඇමතිතුමා ඉදිරියේ පිණ්සෙණ්ඩු වුණෙමි. මේ කිසිවකගෙන් ඇමතිතුමාගේ අදහස වෙනස් නොවන බව දැන දැනම මම ඔහුගේ දෙපා මුල හඬා වැටුණෙමි.

" අනික මට ගියපාර පොරොන්දු වුණා. ආයේ කවදාවත් මට නාගරාජ්ගේ සෙවණල්ලවත් වැටෙන්න දෙන්නේ නෑ කියලා. මං වැඳලා කියන්නම් ඇමතිතුමා. අනේ මාව යවන්න එපා.. "

"සරීනා.. මේක මේ පාර විතරයි. උඹ මේ පාරට විතරක් නාගරාජ් ගාවට පලයන් කෙල්ලේ. ආයේ ඌට උඹට අතවත් තියන්න හම්බෙන්නේ නෑ. "

ඇමතිතුමාගේ තීරණයේ කිසිදු වෙනසක් නැත. අවසානයේ මට ඇමතිතුමාගේ තීරණය පිළිගන්නට වෙන බව දැන දැනම මම අසරණ දෑසින් අරුල් දෙස බැලුවෙමි. මා වෙනුවෙන් යමක් කරන්නට ඔහුටද හැකියාවක් ඇති නමුත් ඔහු එසේ නොකරන බව දැන දැනම මම අරුල්ගේ උපකාරයක් බලාපොරොත්තුවෙන් ඔහු දෙස බලා සිටියෙමි.

තප්පර ගණනකින් ඔහු ඉවත බලා ගත්තේය. එහි අර්ථය ඔහුටද මා වෙනුවෙන් කිසිවක් කරන්නට නොහැකි බවයි.

ඇමතිතුමා මාව අත අරිමින් නැගී සිටියේ ය. මම ගොලුවූ දෑසින් ඔහු දෙස බලා සිටියෙමි.

" සරීනා.. මේ දේ විතරක් කරන්න. මං සරීනා ඉල්ලන ඕනම දෙයක් දෙන්නම්. ඔව් ඕනම දෙයක්."

මම දිගු හුස්මක් ගත්තෙමි. මට සැබැවින්ම අවැසි මේ රත්තරං හිර ගෙදරින් ඉගිල නිදහසේ හුස්මක් ගන්නටය. නමුත් කිසිදාක ඇමතිතුමා මට ඒ නිදහස ලබා නොදෙන බව මම දැන සිටියෙමි. එසේම එය මා සටන් කර ලබා ගත යුත්තකි. නමුත් මගේ සිතුවිලි නතර වූයේ වෙනත් අදහසකය.

ඇමතිතුමා යළිත් වරක් මා දෙස බලා දොර දෙසට ඇවිද ගියේ ය.

" මට ඇමතිතුමා දැන් ජීවත් වෙන ගෙදර ඕන. මගේ නමට.."

ඇමතිතුමා පුදුමයෙන් මෙන් හිස හරවා මා දෙස බලනා අයුරු මම තෘප්තිමත් හැඟීමකින් බලා සිටියෙමි.

" මට කවදාවත් ඇමතිතුමාගේ ගෑණි වෙන්න බෑ. මට එහෙම ඕනත් නෑ. හැබැයි හැමදාම මට මේ ගුබ්බෑයම් අස්සේ ඇමතිතුමාගේ හොර ගෑණි විදියට ඉන්න බෑ. මැරෙන්න කලින් එක දවසක් හරි මට ඇමතිතුමාගේ ගෙදර මගේ ගෙදර කරගෙන හුස්මක් ගන්න ඕනි.. "

මගේ වචන ඇමතිතුමා ඉතා උනන්දුවෙන් අසා සිටියේ ය. අවසානයේ ඒ මුහුණේ හැඟීම් වෙනස් වන අයුරු මම කඳුලු අතරින් බලා සිටියෙමි.

" ඒක එහෙම වෙයි. ගිහින් නාගරාජ් හම්බෙන්න.. "

මම හඬමින් දෝතින්ම මූණ වසා ගතෙමි. අවසානයේ ඔවුන් සියල්ලම යන්නට ගිය බව දැන දැනත් මම තවත් බොහෝ වෙලාවක් ඒ ඉරියව්වෙන්ම සිටියෙමි.

කෙලින්ම එළියට දැමිය නොහැකි යමක් හදවතේ ගැඹුරුම තැනක හිර වී ඇති ලෙසින් දැනුණි. අවසානයේ ඇස් වලින් ගලන කඳුලු සැබෑවක්දැයි නැතිනම් මගේ රංගනයේම කොටසක් දැයි මටම නොතේරෙන තුරුම මම හැඬුවෙමි.

තවත් බොහෝ වෙලාවකට පසු මම උන් තැනින් නැඟිට ඇද උන් සියල්ල ගලවා දමා නිරුවතින්ම නානකාමරයට ගියෙමි. එසේ නම් මගේ දෛවය තවත් එක දවසකට කුණු වුණ මස් කෑල්ලක් මෙන් තලා පෙලා අනේක වද හිංසනයක් දරා ගන්නට මට සිදුව තිබේ.

දයාබර පාඨකය.. මගේ ජීවිතය පුරා විසිරුණු කැළැල් කියවන ඔබ යමක් ගැඹුරින් සිහි තබා ගත යුතුය. සෑම ගැහැණියක්ම තමාගේ වටිනාකම හඳුනා ගත යුතුය. තමන්ගේ වටිනාකම ගොඩ නගා ගත යුතුය. එමෙන්ම තමන්ගේ වටිනාකම අනෙකාට කේවල් කිරීමට ඉඩක් ලබා නොදිය යුතු ය. නොඑසේ ඔබේ කතාවත් මගේ කතාවට දෙවෙනි නොවනු ඇත.

මම කාමරයට පැමිණ දුහුල් ගවොමක් ඇඟලා ගෙන යහනතින් වාඩි වුණෙමි. හෙට දිනය ගැන හදවත පුරා ඇත්තේ මහා බයකි. නමුත් ඊට එරෙහි වන්නට මට නොහැක. එය කෙතරම් ඛේදජනක ඉරණමක්ද..?

" දැන් එතකොට ඇමතිතුමා ඔයාව යවනවා.. ??"

එකවරම විහාන්ගේ කට හඬ ඇසුණි. ඔහු කාමරයේ ජනේලයෙන් ඇතුළට රිංගමින් සිටියේ ය. එසේ නම් ඔහු කොහේ හෝ සැඟව සියල්ලම අසා සිටින්නට ඇත.

" ඔව්.. "

" ඇමතිතුමාගේ අර ලස්සන මාළිඟාව වෙනුවෙන් තමුන් නාගරාජ් ගාවට යනවා.. "

මම පිළිතුරක් නොදී කල්පනාවේම සිටියෙමි. ඇමතිතුමාගේ වදනට කීකරු වෙනවා ඇරෙන්නට මට වෙන මඟක් නොමැති බව දැන දැනත් ඔහු මටම චෝදනා නගමින් සිටී.

" සරීනා.. නාගරාජ් කවුද කියලා දැනත් දැනත් ඌ ගාවට යන්න එපා.. "

" මට වෙන මොකක්ද කරන්න කියන්නේ..?? කොහොමත් වටිනා දේවල් ලබා ගන්න කැප කිරීම් කරන්න වෙනවා. "

විහාන් මා දෙස කෝපයෙන් බලා සිටිනවා මම දුටුවෙමි. නමුත් මම නොදැක්කා සේ යහනේ ඇඳ රෙදි හැදුවෙමි. මෙතන යම් කෙනෙක් අසරණ නම් ඒ මාය. කිසිවක් කර කියා ගත නොහැකිව ලත වන්නේ මාය.

" මට නම් තමුසෙව තේරුම් ගන්න බෑ සරීනා. ඕන දෙයක් කර ගන්නවා.. "

ඔහු එසේ කියා යන්න ගියේ ය. ගැහැණුන් විෂයෙහිලා තේරුම් ගැනීම යනු බොහෝ අසීරු බව සැබෑවකි. සෑම විටම සිතුවිලි වලින් හෙම්බත්ව අනෙකා ගැන සිතමින් ජීවිතය ගෙවීම කෙතරම් දුෂ්කරද..?
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI