තිස්වෙනි කැළැල 30
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඔහු එපමණක් කියා ඇමතුම විසන්ධි කළේය. එසේ නම් මෙතන මා නොදන්නා යමක් සිදු වන බව මට සිතුණි. මම දුරකතනය බෑගයට දමා ගෙන ත්රීරෝද රථයකට නැගෙන්නට පාර මාරු වුණෙමි. උණ ගතිය පහව ගියද ගත බෙහෙවින්ම රිදුම් දේ. එබැවින් බස් නැවතුමේ රැඳී සිටීම පවා බොහෝ වෙහෙසකාරි විය හැක.
එකවරම මා ඉදිරියේ නැවැත්වූයේ සුපිරි ගණයේ මෝටර් රථයකි. එය ඇමතිතුමාගේ නොවන බව දැකීමෙන් මම තවත් අඩියක් පසුපසට ගත්තෙමි. සැබැවින්ම මා කවුදැයි දන්නා පිරිස අල්පයකි. එහෙයින් මා අනතුරකට ලක් වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.
විනාඩි කිහිපයක් ගෙවුණත් මොටර් රථයෙන් කිසිවෙකුත් පිටතට පැමිණියේ නැත. ආපහු හැරී මා යන්නට සැරසෙත්ම වාහනයේ දොර හැරුණි. ඉන් බැස ගත්තේ අඩි හයක් පමණ උස දේහධාරි කළු හැඳගත් මිනිසෙකි.
මම කෙළ පිඬක් ගිලා තවත් අඩියක් පසුපසට ගත්තෙමි. ඇමතියාගේ පවුකාරකම් මගේ පිටින් වුවද යා හැකිය. පහත් තැනින් වතුර බහින්නේ යම් සේද පව්කාර ඇමතියාගේ කුණු කන්ද මගේ හිස මතින් ගලා යා හැක.
" මේ සරීනා නේද..?"
ඔහු කිසිදු පැකිලීමකින් තොරව මවෙතින් විමසුවේය. මම හිස පමණක් සොලවා පිළිතුරු දුන්නෙමි. ඒත් සමඟම ඔහු තව අඩියක් පෙරට තැබුවෙ ය.
" අපේ ඇමතිතුමාට සරීනා එක්ක කතා කරන්න ඕනිලු. එන්න.. "
එසේ කියා ඔහු ආපසු හැරුණි. රටේ ලෝකයේ කෙතරම් ඇමතිලා සිටියත් මා දන්නා එකම ඇමතිතුමා නම් ඒ අපේ ඇමතියා ය. එසේ නම් මේ කවුද..??
මම ගැඹුරු හුස්මක් ගෙන මෝටර් රථය වෙත පා එසෙව්වෙමි. මෙතනින් පැන දුවන්නට සිත් වුවත් ඇමතිලාගේ කෙරුවාව මුල සිට අගටම හොඳින්ම දන්නා මා පැන දිවිය යුත්තේ තවත් ඇමති සෙවණකට මිස මා වෙනුවෙන් තැනූ ගෙපැලකට නොවේ ය.
මම ගැහෙන හද ගැස්ම හදවතේ තද කොට ගෙන මෝටර් රථයේ ඇරුණු දොරින් ඇතුළත් බැලුවෙමි. සුව පහසුවට අසුනෙ හිඳ ගෙන මා දෙස බලා උන්නේ ඇමතිතුමාය. හරියටම කිවහොත් නාගරාජ් ඇමතිතුමා ය.
පාදාන්තයේ සිටම ඇවිලෙන බියකින් හදවත ඇතුළාන්තයෙන්ම පෙළෙන්නට විය. නමුත් මම ඒ කිසිදු හැඟීමක් මුහුණින් නොපෙන්වන්නට තරම් පරිස්සම් වුණෙමි.
මම සිහිල් සිනාවක් දෙතොල් මත ඇඳ ගත්තෙමි. ඇමතිතුමාගේ බැල්ම එතරම් අසුභ නැත. මේතාක් සිදු වූ සියලුම කුණාටු ඇති කළේ මාය. නමුත් එය කිසිවෙකුත් නොදනී. එහෙයින් මා ඒ පිළිබඳ අංශු මාත්රයක්වත් සිතිය යුතු නැත.
නමුත් මේ මොහොත වන විට ඇමතිතුමාත්, නාගරාජ් ඇමතිමත් ඉන්නේ එකිනෙකාට පරාද නොවන තරම් වෛරයකිනි. ඔවුන්ගේ විරසකය අවසානයේ තනිව අහු වුණ මා පිටින් යාදෝයි සැකයක් සමඟින්ම මම මෝටර් රථයට ඇතුළු වී ඇමතිතුමා අසලින්ම හිඳ ගත්තෙමි.
" සරීනාට අපිව අමතකම වෙලා ගිහිල්ලනේ.. "
සමච්චල් සහගත හඬකින් ඇමතිතුමා කීවේය. මම මඳ සිනාවක් පා කරා ඇරෙන්නට කිසිවක් නොකිව්වෙමි.
" හැබැයි සරීනා තවත් ලස්සන වෙලා.. "
ඔහු දකුණතින් මගේ කම්බුලක් ස්පර්ශ කරමින් කීවේය. මම ලජ්ජාවෙන් බිම බලා කෝල වුණෙමි.
" අනේ යන්න ඇමතිතුමා.. එකපාරටම අපිව මතක් වෙලා. ඒකත් මේ අහම්බෙන් පාරේ යද්දී.. "
මගේ කම්බුලක් මත තිබූ ඇමතිතුමාගේ අත ස්පර්ශ කරමින් මම කෝල ස්වරයකින් කීවෙමි.
" කොහෙද ඉතින්.. උඹගේ ඇමතිතුමා අපිට උඹ ගැන හෝප්ස් තියා ගන්නම එපා කිව්වනේ. උඹට මොකක්ද ඩිග්රියක් මොකක්ද කරන්න තියෙනවා කියලා.. "
ඔහු අනාරධනයෙන්ම මගේ උරහිස වටා අතක් දමා මා ඔහුගේ ගතට සිර කර ගත්තේ ය. තත්ත්වය මෙසේ පාලනය වීම ගැන යටි සිතින් සතුටු වෙමින් මම දිග හුස්මක් ගත්තෙමි.
" ඔව් ඇමතිතුමා. තව ටික කාලයක් තියෙනවා. "
" ඔය ඩිග්රි මොකටද බන්..? මේ වගේ ලස්සන කෙල්ලෝ ඉන්න ඕනි අපි ළඟ. සල්ලියි, බලයයි තියෙද්දි ඕවා මොකටද.. ?"
කියන්නට පිළිතුරු වැලක් මගේ හිතට ආවත් මම කිසිවක් නොකියා මුණිවත රැක්කේ දෙයක් තේරුම් කර යුත්තේ තේරුම් ගැනීමට තරම් ශක්තියක් ඇති මිනිස්සුන්ට සහ ඇමතිතුමා හා තර්ක කිරීමට නොහැකි නිසා ය. එහෙයින් මම සරාගි ලෙස සිනා වුණෙමි.
" ඉතින් කෙල්ලේ.. මොකෝ උඹලගේ ඇමතිතුමා කියන්නේ..?"
ඔහු මගෙන් වචන ගන්නට උත්සාහ කරයි. නමුත් මා කෙතරම් කපටි ගැහැණියක්දැයි ඔහු නොදනී.
" අනේ මන්දා ඇමතිතුමා.. මොනවාද ප්රශ්න ප්රශ්න කිය කියා පහුගිය කාලේ ආවෙත් නෑ. ඒ ආවත් ටක් ගාලා වැඩේ කර ගත්තා ගියා. රෑට හිටියොත් නිදි. දන්නවනේ ඉතින් ඇමතිතුමා.. "
මම බොරු අමනාපයක් පෙන්වමින් දුක සේ කිව්වෙමි. ඔහු මඳක් කල්පනා කරමින් මගේ උරහිස අත ගෑවේ ය.
" ඇමතිතුමා එක්කත් එච්චර හිත හොද නැති කතාවකුත් කිව්වා. ඒත් ඉතින් ඇමතිතුමාලා හොද යාලුවොනේ. ඒක ඉතින් නොදන්නේ කවුද..? සමහර විට ඔය වෙන හැම එක ඇමතිතුමාලගේ යාලුකම් බලන් ඉන්න බැරි විරුද්ධ පක්ශයේ ප්ලෑන් එකක් වෙන්නත් බැරි නෑ.. "
මම ඇවිලෙන ගින්නට පිදුරු දමමින් මේ සියල්ලෙන්ම විනෝද වෙමින් සිටියෙමි.
" අනේ මන්දා බන්. ඔය ප්රශ්න වෙච්ච දවස් වලම මං ඌට ගත්තා. ඌ කෝල් එකට ආවේ නෑ. මාව මඟ ඇරියා. අපි බලමුකෝ. "
"ඇමතිතුමාට කියපන් කෙල්ලේ වෙලාවක ඇවිත් මාව හම්බෙන්න කියලා. "
මම අහිංසක ලෙස සිනා සී හිස වැනුවෙමි.
" හැබැයි ඊට කලින් උඹ වරෙන්කෝ කෙල්ලේ ඒ පැත්තේ. කාලෙකින් ලස්සන කෙල්ලෙක් දැක්කේ නෑ. මොකද කියන්නේ..? හෙට මගේ හොටෙල් එක ඇරේන්ජ් කරන්නද..?"
ඒ යෝජනාවට මම ඇතුළතින්ම වෙව්ලා ගියෙමි. හා කියන්නටත් නොහැකිව බෑ කියන්නටත් නොහැකිව මම මොහොතක් බලා සිටියෙමි.
" මොකද කෙල්ලේ ඇඹරෙන්නේ.. ? මතකනේ ගියපාර උඹට දීපු සැප..?"
එය සිහිපත් වෙද්දී පවා මගේ මුලු ගතම වේදනා දෙයි. තවත් නිහඬව සිටීම නුසුදුසු බව දැනී මම කියන්නට යමක් සෙව්වෙමි.
"අපේ ඇමතිතුමාගේ නියෝග දන්නවනේ ඇමතිතුමා. මට කියලා තියෙන්නේ වෙන පිරිමි ඉස්සරහ තොදොල් වෙන්නවත් එපා කියලා. මං ඇමතිතුමාගෙන් අහලා කියන්නද..?"
"අන්න දැක්කද..? වේ# ගෑණු වුණත් ඔහොම ඉන්න ඕනි. ආයේ එක එකා එක්ක නොගිහින්. මොනවා වුණත් අරූ මේකිව හදලා තියෙනවා නියමෙට.."
මහ හයියෙන් හිනා වෙමින් මා අසලම හිට ගෙන උන් ආරක්ශකයාටද කියමින් ඇමතිතුමා මගේ ආත්ම ගෞරවය තවත් පහළට ඇද දැමුවේය. නමුත් ඒ කිසිවකගෙන් සිත් තැවුලක් නොගෙන මුහුණේ වූ සිනාව වියකෙන්නට නොදී මම රැක ගත්තෙමි.
" හරි එහෙනම්. මට කෝල් එකක් දීපන්. "
" මං යන්නම් ඇමතිතුමා.. "
මම සුපුරුදු සිනහවෙන්ම ඇමතිතුමාගෙන් සමු ගත්තෙමි. මා මෝටර් රථයෙන් බහින්නට පෙර ඇමතිතුමා යළිත් මා තද කරමින් වැළැද ගත්තේ ය. සැර සුවඳ විලවුන් මගේ ගත පුරා දැනෙද්දි මම මෝටර් රථයෙන් බැස පසුපස නොබලාම ඇවිද ආවෙමි.
පෙරට තබනා අඩියක් අඩියක් ගාණේම මගේ ගත දහඩියෙන් නැහැවෙනු දැනෙයි. පපුව පැලෙන්නට තරම් දිගු හුස්මවල් රාශියකට පසු මම අත දමා පාරේ ගිය ත්රීරෝද රථයක් නවතාගෙන එයට නැගුනෙමි.
දෙවියනේ...!!!
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.