විසි නවවෙනි කැළැල 29

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " සරීනා.. ඔයාගේ ඇතුළෙ ඉන්න අහිංසක කෙල්ල මරා ගන්න එපා.. "


ඔහුගේ කෙදුරුම් හඬ මගේ හදවතටම ඇසුණි. ඉන් පසු ඔහු මවෙතින් මිදි මා දෙස බැලුවේ ය. තව දුරටත් මා තුළ අහිංසක කෙල්ලෙක් ජීවත් නොවන බව මා ඔහුට කිව යුතු ය. ඈ මියගොස් බොහෝ කලක් බව මා ඔහුට කිව යුතුය.

නමුත් මගේ තොල් පෙති සැලුණා ඇරෙන්නට උගුරින් කිසිදු හඬක් පිට නොවුණි.

ඊලග තප්පරේ ඔහු මගේ හිස මතින් ඔහුගේ දෑත තබා සියුම්ව හිස අත ගෑවේ ය.

" එන්න... "

ඔහු මා රැගෙන ගොස් යහනෙන් හාන්සි කළේය. ඉන්පසු පොරෝනාවද සකසා කාමරයේ ආලෝකයද නිවා ගෙන ඔහු යන්නට ගියේ ය.

මම තදින් දෑස් පියා ගත්තෙමි. දැනෙනා හැඟෙනා කිසිවක් ඔස්සේ තව දුරටත් හිතන්නට වුවමනාවක් මට නොවුණි. නමුත් මගේ හද ගැස්ම වේගවත්ව ඇත. සිතුවිලි ඇවිලෙන්නට පටන් ගෙන ඇත. මා නොදන්නා විපර්යාසයක් මගේ හදවත තුළ ආරම්භ වී ඇත. මම පොරෝනාවෙන් හිස දක්වාම වසා ගත්තෙමි. නමුත් හදවතේ වූ තිගැස්ම නවතන්නට ඒ කිසිවෙකටත් හැකි වූයේ නැත.

යහනේ ඒ මේ අත පෙරළමින් උන් මා වෙත නිදි දෙව්දුව පැමිණියේ කුමන හෝරාවේදැයි මම නොදන්නෙමි. නමුත් නින්දෙන් අවදි වන විට මගේ සිතුවිලි යම්තාක් දුරකට සංසුන් ව තිබුණි.

දයාබර පාඨකය.. පෙරදා රාත්රියේ මා තේරුම් ගත් එකම එක සත්යයක් ඇත. එය ඔබ සමඟද බෙදා ගැනීමට කැමැත්තෙමි.

සෑම ගැහැණියක් තුළම අහිංසක යුවතියක් සිටී. වේදනාවෙන් මිරිකෙන විට කඳුලු සලන්නටත්, හදවත සතුටින් ඉගිලෙද්දි මහ හඬින් සිනා සෙන්නටත් ඇයට හැකිය. එමෙන්ම සෑම ගැහැණියක් තුළම යක්ශනියක් වැනි කිසිදු හැඟීමකින් තොරව වෛරයේ ගිනි දැල් දෑසින් විඳින්නට හැකි යුවතියක් සිටී. ඇගේ හදවත තුළ කර්කෂ වූ වේදනාව මිස කිසිදු තෙතමනයක් නැත.

ඉතින් දයාබර පාඨකය.. මා තුළ හුස්ම ගත් අහිංසක යුවතිය මරා දැමුවාට පසු මම යක්ශනියක් වුණෙමි. මේ මොහොත දක්වාම හැඟීම් විරහිතව පලි ගැනීමේ උමතුවෙන් මම ජීවත් වෙමි. මා මරා දැමූ පාපතරයන් පසුපස දඩ බල්ලෙක් මෙන් පන්නා පන්නා දඩයම් කරමි.

මගේ හදවත මත යළිත් කිසිදිනෙක අහිංසක යුවතියක් හුස්ම නොගනු ඇත.

අවසාන තීරණයද රැගෙන මම යහනින් බැස නානකාමරයට ගියෙමි. තනි වුණ සෑම ගැහැණු ආත්ම යක්ශනියන් ආරූඪ කර ගන්නවා නම් කෙතරම් හොඳ දැයි පළමු වරට මට සිතුණි.

දින කිහිපයකින් දේශන සඳහා සහභාගි වීමට නොහැකි වූ බැවින් මම අද විශ්ව විද්යාලයට යාමට තීරණය කළෙමි. බිත්ති හතරට කොටුව සිටීම හදවතට තවත් විඩාවක් මිස සැනසීමක් නොවේ.

වෙනදා දැක්කත් නොදැක්කත් මා දෙස නොබලන බොහෝ දෙනෙකු අද මා දෙසම හැරි හැරී බලයි. මා යනකම් හිඳ මා පෙන්නා ඉඟි බිඟි පාමින් ඔවුන් කතා වෙන්නේ මා ගැනය. එදා සිදුවීම එසේ යට ගියද ඉන් මතුව ආ මා සම්බන්ද පැනය තවමත් බොහෝ දෙනෙකුට කතා කිරීමට මාතෘකාවක්ව ඇත.

සීයක් දෙසීයක් සිටිනා ශාලාවක තනිව කොණක හිඳීම පහසු නැත. සියලු දෙනාගෙම ඇස් තමන් මත වැටී ඇති අයුරු දැන දැනත් කිසිවක් සිදු නොවූ අයුරින් දරා ගැනීම පහසු නැත. ඒ තනිකමේ කටුකත්වයයි.

දවල් වන විට ඇමතිතුමාගේ ඇමති පට්ටම් ගැලවී තිබුණි. දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු ලෙසින් ඇමතිතුමා පලි ගන්නට වලි කන බව මම හොඳින්ම දනිමි.

චිත්රපටයේ හොඳම ජවනිකාව ආරම්භ වන්නේ අද සිටය. ඇමතිතුමා විඳවන අයුරු, වෛරයෙන් දගලන අයුරු දැකීමත් රස විඳීමකි.

අරුල්ගෙන් ඇමතුම් කීපයක් ලැබී තිබුණද මම පළමුවෙන්ම ඇමතුවේ ඇමතිතුමාටයි.

" හෙලෝ ඇමතිතුමා.. "

ඇමතුම ලබා ගත්තත් ඇමතිතුමා කිසිවක් කීවේ නැත. මම යළිත් කතා කළෙමි.

" සරීනා.. "

සුපුරුදු ගැඹුරු හඬින් මා ඇමතුවේ අරුල් ය.

" අරුල්.. මොකද වුණේ..?? කෝ ඇමතිතුමා..??"

"ඇමතිතුමා එක පාරටම අසනීප වුණා. දැන් හොස්පිටල් එකේ.. "

එසේ නම් මගේ සැලැස්මේ රසවත්ම කොටසට ඒමටත් පෙර ඇමතිතුමා රෝහල් ගත කර තිබුණි.

" අනේ මොකද වුණේ අරුල්..? මං එන්නද බලන්න."

"තමුසේ නටන්නේ නැතුව ඉන්නවා. ඒකා හොඳින්. හවසට එන්නම්. දැන් තියනවා.. "

ඔහු එපමණක් කියා ඇමතුම විසන්ධි කළේය. එසේ නම් මෙතන මා නොදන්නා යමක් සිදු වන බව මට සිතුණි. මම දුරකතනය බෑගයට දමා ගෙන ත්රීරෝද රථයකට නැගෙන්නට පාර මාරු වුණෙමි. උණ ගතිය පහව ගියද ගත බෙහෙවින්ම රිදුම් දේ. එබැවින් බස් නැවතුමේ රැඳී සිටීම පවා බොහෝ වෙහෙසකාරි විය හැක.

එකවරම මා ඉදිරියේ නැවැත්වූයේ සුපිරි ගණයේ මෝටර් රථයකි. එය ඇමතිතුමාගේ නොවන බව දැකීමෙන් මම තවත් අඩියක් පසුපසට ගත්තෙමි. සැබැවින්ම මා කවුදැයි දන්නා පිරිස අල්පයකි. එහෙයින් මා අනතුරකට ලක් වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.

විනාඩි කිහිපයක් ගෙවුණත් මොටර් රථයෙන් කිසිවෙකුත් පිටතට පැමිණියේ නැත. ආපහු හැරී මා යන්නට සැරසෙත්ම වාහනයේ දොර හැරුණි. ඉන් බැස ගත්තේ අඩි හයක් පමණ උස දේහධාරි කළු හැඳගත් මිනිසෙකි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI