විසි හයවෙනි කැළැල 26

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " ඔහොම වාඩි වුණාම කවුද බෙදලා දෙන්නේ.. ??


මා දෑත කම්බුලක් මත තබා ගෙන පොල් සම්බෝලය දෙස කෑදර කමින් බලා සිටිනවා ඔහු දකින්නට ඇත. මම හොර බැල්මක් හෙළා පිඟානක් අතට ගත්තෙමි. ඔහු මවෙතින් පිඟාන උදුර ගෙන මට බත් බෙදුවේය.

හදවත පුරා මැවුණේ මා රැක ගත්, මා ආදරයෙන් නැලවූ මගේ අප්පච්චීය. ඇස් අගට කඳුලක් උනනු දැනුණත් ඒ කඳුල ඇස් මතම සැඟව ගියේ ය. ඔහු පිඟානට බත් බෙදා, මස් කෑලි දෙකක් දමා පොල් සම්බෝලද බෙදා මා ඉදිරියෙන් තැබුවේ ය.

" කන්න.."

ඔහු කියද්දිත් මා උන්නේ බත් අනමිණි. හොඳින් දෙහි දමා ඇති පොල් සම්බල තැඹිලි පැහැයෙන් දිලිසේ. මම සෙමින් බත් කන්නට පටන් ගතෙමි.

" අපි හරි පොඩි පවුලක්.. මගේ තාත්තා චන්දේ ඉල්ලද්දි මට අවුරුදු දහයයි. හැබැයි එදයින් පස්සේ මං මගේ තාත්තව දැක්කේ නෑ... "

" ඒ කාලේ ගැන මට ලොකු මතකයක් නැතත් මං දන්නේ මගේ අම්මා හැමදාම ඇඩුවා.. දුක් වින්දා. මගේ පුංචි මනසට තේරුණේ ඒ හැමදේම මගේ තාත්තා හින්දා කියලා. හැමදාම ගෙදර ආපු තාත්තා චන්දෙන් පස්සේ ගෙදර ආවේ සතියකට පාරක් වගේ. ඒකත් මට හරියට මතක නෑ.. "

" ඒ වෙද්දී තාත්තගේ චන්දේ වැඩ වලට අම්මගේ රත්තරං බඩු ටිකයි, අම්මගේ නමට තිබ්බ අපේ ගෙදරයි තාත්තා උකස් කරලා තිබ්බේ. තාත්තා ගෙදර ආව දවසක අම්මා ඕක මතක් කරා කියලා තාත්තා අම්මව සාලේ මැද බිම දා ගෙන ගැහුවා. එදා තමයි මගේ නංගි අම්මගේ බඩේදිම නැති වුණේ.. "

ඔහු කියනා මේ නපුරු සුරංගනා කතාව මම ඇස් ලොකු කර ගෙන අසා සිටියෙමි. ඔහුගේ මුවින් පිට වෙන වචනයක් වචනයක් ගාණේම ඔහුගේ මුහුණේ ඇදී මැකෙනා වේදනාත්මක හැඟීම් මම එකින් එකටම සිහි තබා ගත්තෙමි.

" අම්මා ඉස්පිරිතාලෙන් එනකම්ම මං හිටියේ අල්ලපු ගෙදර. එදා රෑ එළි වෙනකම් අම්මා මාව බදන් ඇඬුවා. හැබැයි එදයින් පස්සේ තාත්තා ගෙදර ආවේ නෑ. අම්මා අපිට කන්න බොන්න සල්ලි හොයන්න කුලී වැඩ කරන්න ගියා. දවසක් මං ස්කෝලේ ගිහින් ගෙදර එද්දි තාත්තා තව කීප දෙනෙක් එක්ක ගෙදර ඇවිල්ලා. තාත්තා මගෙන් අම්මා කොහෙද ඇහුවා. මං කිව්වා අම්මා කුලී වැඩකට ගිහින් කියලා. "

" මං නොදන්න ගොඩක් කුණුහර්ප කියලා තාත්තා අම්මට අපහාස කරා. පස්සේ කට්ටියම සාලේ ඉදගෙන බිව්වා. අම්මා හවස ගෙදර ආවම තාත්තා අම්මට වේසකමේ ගියාද අහ අහ ගොඩක් ගැහුවා. අම්මා ඉස්සර වගේ එකට එක කියන්නවත්, තාත්තාගෙන් බේරෙන්නවත් දැගලුවේ නෑ. අන්තිමේ මං තාත්තගේ ඇඟේ එල්ලිලා විලාප තියලා තමයි අම්මව බේර ගත්තේ.. "

ඔහු මගේ පිඟානට තවත් මස් කෑල්ලක් බෙදා දිගු හුස්මක් ගත්තේ ය. බත් කටක් කන්නවත් මට සිහියක් නොතිබුණි. එතරම්ම මගේ හදවත කම්පාවෙනි.

" තවත් දවස ගෙදර උකස් ගත්තු කට්ටිය ඇවිත් අපිට කෑ ගැහුවා. අම්මවයි, මාවයි ගෙදරින් එලවනවා කිව්වා. ඊට පහුවදාම අම්මා මාව ලෑස්ති කරන් තාත්තා හොයන් ගියා. ඒක අපේ ගෙදරට වඩා ලොකු ගෙදරක්. හුගක් කට්ටිය පිරිලා හිටියා. පරණ ඇඳුමක් ඇදන් හිටපු අම්මයි, ස්කෝලේ කලිසමට ශර්ට් එකක් ඇදන් හිටපු මමයි ඒ ලොකු ගෙදරට කොහෙත්ම ගැලපුණේ නෑ. "

" අම්මා තාත්තාට කතා කරන්න උත්සාහ කරත් එතන මිනිස්සු අපිව එලෙව්වා. අම්මා බැරිම තැන මිදුලට වෙලා තාත්තාට කෑ ගැහුවා. එතකොට තාත්තා එලියට ආවා ලස්සනට ඇද ගත්තු ගෑණු දෙන්නෙක් එක්ක. තාත්තා අර ඔක්කොම ඉස්සරහ මගේ අම්මට පිස්සු ගෑණියෙක් කිව්වා. දඩාවතේ ගිහින් ළමයි හදා ගෙන සල්ලි කඩා ගන්න එනවා කිව්වා. මට මතකයි අම්මා තාත්තාගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා කිව්වා අපේ ගේ විතරක් බේරලා දෙන්න කියලා.. "

" ඒත් තාත්තා කරේ අම්මවයි, මාවයි පාරට ඇදලා දාපු එක. එදා අම්මා ගේට්ටුව ගාවට වෙලා හවස් වෙනකම්ම ඇඬුවා. අපි බස් හෝල්ට් එකට එද්දි කලු වෑන් එකක් ඇවිත් අපිව වෑන් එකට දාගන්න හැදුවා. අම්මා මට කෑ ගැහුවා දුවපාන් දුවපාන් කියලා. අම්මත් මගේ පස්සෙන් එයි කියලා හිතන් මං දිව්වා. අන්තිමේ උන් අම්මව අරන් ගියා.. මං පාරක් පාරක් ගාණේ අම්මව හොය හොය ඇවිද්දා.."

සැබැවින්ම මගේ හදවත පුරා ඔහු වෙනුවෙන් මහා වේදනාවක් ගලමින් තිබුණි. අවුරුදු දහය දොළහක වයසක් තුළ ඔහු ලද අත්දැකීම් ඔහුගේ ජීවිතයේ නොමැකෙන කැළැලක් මවන්නට ඇත. ඒ සියළුම වේදනාවන් ලැබුණේ තමන්ගේම තාත්තාගෙන් නම්..??

" අන්තිමට ගිනි අව්වේ හාමතේ පාරක් අයිනේ මං වැටිලා ඉද්දි හිගා කන ඇන්ටි කෙනෙක් මාව අරන් ගියා. එදා ඉදන් මං හැදුනේ ටකරං වත්තේ මුඩුක්කුවක. ලයිඅම්මා තමයි මාව හදා ගත්තේ. උඹ ඉස්කෝලේ පලයන් ඉගෙන ගනින් කියලා මාව ඉස්කෝලෙකට තල්ලු කරා. අපා දුක් විඳ ගෙන හරි මං ඉගෙන ගත්තා. ලයිඅම්මා මට ඉගැන්නුවා. අන්තිමට මං ඒ නරාවළෙන් ගොඩ ආවා. "

" මං පත්තර වාර්තා කාරයෙක් වෙලා මේ තරමට කුණු හොයන්නේ, බෙල්ල ගහලා ගියත් ඇත්ත ලියන්නේ මට මේ ලෝකේ නැති වෙන්න දෙයක් නැති නිසා. හැබැයි මගෙන් ඇමතියට ගැලවීමක් නෑ.. ඌ මගේ තාත්තා වෙච්ච වැරැද්දට කවදාවත් මට සමාව දෙන්න බෑ.. "

ඔහු මිට මොළවමින් කියද්දි ඔහුගේ කෝපයෙන් රතු විය. මම වමතින් ඔහුගේ දෑත තද කළෙමි. කැළැල් ඇති කළ කෙනෙක් වේ නම් ඔහු දඬුවම් විඳිය යුතුමය.

" විහාන්.. අම්මට මොකද වුණේ..??"

ඔහු දිගු සුසුමක් පිට කර වතුර උගුරක් බීවේ ය.

" ලයිඅම්මා සෑහෙන්න කාලයක් මගේ අම්මා ගැන හෙව්වා. ඒත් අපි පරක්කු වැඩියි. ඒ වෙද්දී මං අම්මගෙන් වෙන් වෙලා අවුරුදු අටක් විතර. අම්මා අවුරුදු ගාණක් මානසික රෝහලක දුක් විඳලා මැරිලා ගිහින්. මට අම්මගේ කියලා මුකුත්ම ඉතුරු වුණේ නෑ.. "

"මේ හැමදේම කරපු අරූ අදටත් සතුටින් ඉන්නවා දකිද්දි මට මගේ අම්මගේ අහිංසක මූණ මතක් වෙනවා. අම්මා විඳපු වේදනාව, ඒ අවමානය මතක් වෙනවා. මං දන්නේ නෑ තව කී දෙනෙක්ගේ ජීවිත ඌ විනාශ කරාද කියලා. හැබැයි මං ඌ විනාශ කරනවා.. "

" විහාන්.. ඔයා තනි වෙලා නෑ.. අපිට පුළුවන් ඇමතියා පොළවටම ඇදලා දාන්න.. "

ඔහු මගේ පිඟාන සෝදා තබා මා ඉදිරියෙන් වතුර වීදුරුවක් තැබුවේ ය.

" මං හිතන් හිටියේ ඔයා ඇමතියගේ සල්ලි වලට වහ වැටිලා ඇමතියා පස්සෙන් වැටිච්ච එකියක් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා මට තේරුම් ගන්න කල් ගියා.. "

මම අසුනින් නැඟිට ගොස් අත් සෝදා ගතෙමි.

" සමහර වෙලාවට විහාන් අපේ අරමුණු වලට යන්න හුඟක් දේවල් ඉවසන් ඉන්න වෙනවා. සමහර වෙලාවට ඒ අසරණකමට අපිට ඉඩ දෙන්නම වෙනවා. මමත් එහෙමයි.. "

තවත් පැයක් පමණ හිඳ ඔහු යන්නට ගියේ ය.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI