විසිපස්වෙනි කැළැල 25
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
වචනයෙන් පෙරළිය නොහැකි තරමේ අසරණකමකින් මා වෙලා ගනිද්දි කොට්ටය යට අතගා මම දුරකතනය අතට ගතෙමි. පුරුද්දට මෙන් ඇමතිතුමාගේ අංකයට ඇමතුමක් ගත්තද ඔහු ඇමතුම නිමා කළේය. යළිත් ඇමතුමක් ගැනීමට නොහැකි බැවින් මම අරුල් ඇමතුවෙමි. නමුත් ඔහු ඇමතුමට සම්බන්ධ වූයේ නැත.
කුමක් කරන්නදැයි නොදැන ඇස් අග කඳුලු පිරුණි. මේ මහපොළව මත මා පමණක් තනිව ඇති බවක් අට දැනුණි. මගේ තත්වය තව තවත් දරුණු වෙමින් දැඩි කොන්දේ වේදනාවක් දැනුණි.
මම යළිත් යහනටම ගුලි වුණෙමි. මගේ නළල මත ස්පර්ශයක් දැනුණි. නමුත් දෑස් විවර කර ගැනීමට තරම්වත් ශක්තියක් මා වෙත ඉතුරුව නොතිබුණි. කවුරුන් හෝ මා ගුලිව සිටි පොරෝනාව ඉවත් කරනු දැනුණි.
නමුත් මා තව තවත් ගුලි වූවා ඇරෙන්නට හිස එසෙව්වේ නැත. කාගේ හෝ කට හඬක් බොහෝ දුර ඈතකින් ඇසුණි. ඒ හඬ හඳුනා ගන්නට මම මොහොතක් උත්සහ කළෙමි. නමුත් එතරම් ශක්තියක් මා වෙත නොවූ කල ඒ අරුල් හෝ විහාන් විය යුතු බවට මම අනුමාන කළෙමි.
තවත් මොහොතකින් තෙත රෙදි කැබැල්ලක් මගේ නළල මත තබනු දැනුණි. අරුල්ගෙන් කිසිදා මෙවැන්නක් බලාපොරොත්තු විය නොහැකි නිසා හදවත උපකල්පනය කළේ මේ නිසකයෙන්ම විහාන් විය යුතු බවයි.
නළලින් නොනැවතී ඔහු මගේ මුහුණද ගෙලද තෙත් මාත්තු කළේ ය. ගතට යම් සහනයක් දැනෙද්දි මම දෑස් හැරියෙමි. දයාබර පාඨකය.. යහන අසල අනුකම්පා සහගත් දෑසින් මා දෙස බලා උන්නේ විහාන්මය.
" බෙහෙත් ගමු.. "
මම බෑ කියන්නට මෙන් ඔලුව දෙපැත්තට වැනුවෙමි. තත්ත්වය කෙතරම් බරපතළ වුවත් මට මේ රන් කූඩුවෙන් අවසර නොමැතිව පිටව යා නොහැක. එය බොහෝ කරදර ගොඩකට අත වැනීමකි.
ඔහු කිසිවක් නොකියා කාමරයෙන් පිටව ගියේ ය. මම දුරකතනය අතට ගෙන වෙලාව බැලුවෙමි. රෑ මැදියමට ළංව ඇත. දරා ගත නොහැකි කුසගින්නත්, හිස කැක්කුමත් මෙන්ම තවමත් ගත සීතල කරමින් දැනෙනා උණ ගතිය මා හෙම්බත් කොට ඇත.
ඒ සියල්ලටම වඩා මා පෙළා දැමුවේ අසනීපයකදීවත් මා වෙනුවෙන් කිසිවෙක් නැත යනු තනිකමේ උපරිම සිතුවිල්ල බව මම තේරුම් ගතෙමි. සැබැවින්ම විහාන් එනතුරු මා අනාතයෙක් මෙන් යහනේ ගුලිව උන්නා නොවේද..?
මට යහනින් බැසීමට අවශ්ය විය. කට පුරා දැනෙනා අපුල ගතියත්, බඩ කලතවමින් උගුරට එන ගතියත්, දැනෙනා නොසෑහෙන්න පිපාසයත් තත්ත්වය තවත් අසීරු කරන බව දැනුණි.
නමුත් ඒ සියල්ලටම පෙර විහාන් නැවත කාමරයට පැමිණියේ ය. ඒ හිස් අතින් නොවේය. දුම් දමමින් තිබූ භාජනයක්ද රැගෙනය. මම අසරණ දෑසින් ඔහු දෙස බලා උන්නෙමි. ඔහු කිසිවක් නොඅසාම කොට්ටයක් ඇද මිට්ටමට තබා මා එසෙව්වේය. ඉන් පසු නිහඬවම සුප් හැන්දක් මුවගට ළං කරේ ය.
ආදරණීය පාඨකය.. එය මා තොල ගා ඇති රසම සුප් කෝප්පය බව කිව යුතුම ය. එසේ නම් මා නින්දත් නොනින්දත් අතර ගැටෙමින් උන් මොහොතේ ඔහු සියල්ලම ගෙනෙන්නට ඇත. කාලය පිළිබඳ මට වැටහීමක් නොවුණත් විහාන් අන් කිසිවෙකුත් මා වෙනුවෙන් නොකර ලද කැපකිරීමක් කර ඇත.
පිපාසයත්, කුසගින්නත් නිවෙන තුරු මම සුප් පානය කළෙමි. නමුත් ඔහු කිසිවක් කීවේද කිසිවක් ඇසුවේද නැත. අපි වෙන වෙනම අපේ ලෝකවල තනිවෙමින් සිටියෙමි. ඔහු යළිත් මගේ මුහුණත් ගෙලත් තෙත රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කොට මගේ අතට බෙහෙත් පෙති කීපයක් දුන්නේය.
" දැනට මේක බොන්න. ෆාමසියෙන් කියලා ගත්තේ. අඩු නොවුණොත් අපි බලමු.. "
ඔහු නිවුණු ස්වරයකින් කීවේය. මම නිහඬවම පෙති කිහිපය ගිල දැමුවෙමි.
" තව සුප් ටිකක් පස්සේ බොමු.. "
ඔහු එසේ කියා සියල්ලම රැගෙන කාමරයෙන් පිටවුණි. ලොකු හිතවත්කමක් නැති මා වෙනුවෙන් ඔහු මෙසේ පැමිණීම ගැන ලොකු පැහැදීමක් හිතේ ඇති වෙමින් තිබුණි. ඒ සියල්ල පරදා අප මුණ ගැසුන අවසන් දින පාන්දර ඔහු රිදවීමට මා කටයුතු කළ අන්දම ගැන මට වරදකාරි හැඟීමක්ද දැනෙමින් තිබුණි.
යන්තම් දෑස් පියවුණි. ඔහුගේ ඇමතුමට මම හිස එසෙව්වෙමි.
" මේ ටිකත් බීලා නිදා ගන්න. ඔයා ඉන්නේ හාමත් වෙලා. "
" ගෑණු ළමයෙක් ඉන්න ගෙදර වුණාට හාල් සේරුවක්වත් නෑ හතර මායිමක.. "
ඔහු එසේ කියමින් මට සුප් බඳුනම පෙව්වේය. සැබැවින්ම මා පොඩි එකෙකු මෙන් කට ඇරියා පමණි.
" මං උයන්නේ නෑනේ විහාන්.. "
අවසානයේ මම නිහඬවම මිමිණුවෙමි. ඔහු මා නෑසුණා සේ යන්නට ගියේ ය. හදවත මුකුත් නොසිතාම නිදන්නට සැරසුණි. නමුත් කුමක්දෝ වේදනාත්මක හැඟීමක් හදවත පහුරු ගහනවා මෙන් දැනේ. මා වෙනුවෙන් අල්ප මාත්රයක හෝ ප්රේමයක් ළය හොවා ගෙන මා වෙනුවෙන් කැප වූ එකම පිරිමි රුව මගේ අප්පච්චීය.
නමුත් විහාන් මේ සැරසෙන්නේ ඒ සීමාව ඉක්මවන්නටද..?? අඩියක් පෙරට තබා හදවත නවත්වා ගත යුතු ය. සිතුවිලි එක දිගට රොද බඳිද්දි මගේ දෑස් මටත් නොදැනීම පියවුණි.
ගතට සුවයක් දැනෙද්දි මම හිස එසෙව්වෙමි. පෙරදා දැනුණ හිසේ කැක්කුම දැන් නොදැනේ. ගත පෙළමින් තිබූ වේදනාව පවා යම්තාක් දුරකට අඩුව ඇත. මම බර සුසුමක් හෙළා පොරෝනාව ඉවත් කළෙමි. නමුත් මා ගල් ගැසුනේ යහන පාමුල තිබූ පොත් මේසයේ පුටුවකට වී දෑත් බැඳ ගෙන බලා උන් රුව නිසයි.
රාත්රියේ ඔහු යන්නට ඇතැයි සිතුවද ඔහු තවමත් මගේ යහන අද්දරය. කුමක්දෝ නාදුනන හැඟීමක් හදවතට එබෙද්දි මම වහා හද කවුලු වසා දැමුවෙමි. මම සෙමින් යහනින් බිමට අඩියක් තැබුවෙමි.
" දැන් කොහොමද..?"
" ගොඩක් අඩුයි වගේ.. "
මගේ මාන්නය, මගේ ආඩම්බරකම, තොල් විකා ගෙන හෝ මා නඩත්තු කරනා මගේ පෞරුෂත්වය ඔහු ඉදිරියේ දියව ගොස් අවසානය.
" තාම සියුමැලි වෙලා වගේ.. "
ඔහු නැඟිට ඇවිත් අනාරධනයෙන්ම මගේ නළල මත අත තබා උණ බැලුවේ ය. ඔහුට කුමන අවසරයක්ද..? පෙරදා රාත්රියේ මා උණ විකාරයෙන් සිටියදි ඔහු කී වතාවක් උණ බලන්නට ඇත්දැයි දන්නේ ඔහු පමණි. ඔහුගේ අත්ලේ උණුසුම් ස්පර්ශය මගේ ගතම සැනසවූ බව නිරුවත් පිරිමි සියයක් පමණ රස බලා ඇති මගේ ගතට දැනුණි.
මම බර සුසුමක් හෙළුවෙමි. ඔහුට එය දැනෙන්නට ඇත. ඔහු මවෙතින් ඈත් විය. මට මා ගැනම කලකිරීමක් දැනුණි. දරන්නට නොහැකි තරම් අසරණකමක පතුලේම මා ගිලී ඇත.
"රස්නේ වතුරෙන් ඇග ටිකක් සෝද ගන්න. එතකොට තව පණක් එයි ඇගට. "
ඔහුගේ විධානයන්ට හිස සලමින් මම නාන කාමරයට ගියෙමි. සීතල වතුරෙන් දිය නෑමට තරම් ඇට්ටර සිතුවිල්ලක් හිතට දැනුණද මම වහා හදවත නවතා ගතෙමි. තව තවත් අසනීප වුවහොත් විඳවන්නේ කාත් කවුරුවත් නැති අසරණ මමය. එබැවින් උණු වතුරෙන් ගත දොවා ගෙන මම සැහැල්ලු ගවුමක් ඇද ගතෙමි.
කණ්ණාඩි මේසයේ කොණක තිබූ ඕඩිකොලොන් බෝතලය යහන මත දමා තිබුණි. ඒ නිසකයෙන්ම විහාන් විය යුතුය. ඊයේ රාත්රියේ පවා ඔහු මගේ හිසට කොලොන් දමන්නට ඇත. එතනින් එහා කිසිවක් නොසිතා මම ඕඩිකොලොන් හිසකෙස් මත තවරා ගතෙමි.
තවත් මොහොතක් ඉඳ මම කුස්සියට ගියෙමි. රස නහර පිනා යන සුවදක් දැනී මගේ කුසගින්න ඇවිලුණි. ඔහු සුදු බත් උයා,මස් ව්යංජනයක් හදා, පොල් සම්බල් සාදා තිබුණි. කෑමට කිසි පිරියක් නොතිබූ නමුත් පොල් සම්බල් දැක මම කෑම මේසයෙන් පුටුවක් ඇද හනිකට වාඩි වුණෙමි.
" ඔහොම වාඩි වුණාම කවුද බෙදලා දෙන්නේ.. ??
මා දෑත කම්බුලක් මත තබා ගෙන පොල් සම්බෝලය දෙස කෑදර කමින් බලා සිටිනවා ඔහු දකින්නට ඇත. මම හොර බැල්මක් හෙළා පිඟානක් අතට ගත්තෙමි. ඔහු මවෙතින් පිඟාන උදුර ගෙන මට බත් බෙදුවේය.
හදවත පුරා මැවුණේ මා රැක ගත්, මා ආදරයෙන් නැලවූ මගේ අප්පච්චීය. ඇස් අගට කඳුලක් උනනු දැනුණත් ඒ කඳුල ඇස් මතම සැඟව ගියේ ය. ඔහු පිඟානට බත් බෙදා, මස් කෑලි දෙකක් දමා පොල් සම්බෝලද බෙදා මා ඉදිරියෙන් තැබුවේ ය.
" කන්න.."
ඔහු කියද්දිත් මා උන්නේ බත් අනමිණි. හොඳින් දෙහි දමා ඇති පොල් සම්බල තැඹිලි පැහැයෙන් දිලිසේ. මම සෙමින් බත් කන්නට පටන් ගතෙමි.
" අපි හරි පොඩි පවුලක්.. මගේ තාත්තා චන්දේ ඉල්ලද්දි මට අවුරුදු දහයයි. හැබැයි එදයින් පස්සේ මං මගේ තාත්තව දැක්කේ නෑ... "
_____________________________________
සමහරු තමන්ගෙම කතා ඇතුලේ අතරමං වෙනවා. සමහරුන්ට තමන්ගෙම කතා අමතක වෙනවා. හැබැයි අපි හැමෝම අනුන්ගේ කතා ඇතුළේ හුස්ම ගන්නවා..
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.