විසිහතරවෙනි කැළැල 24

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " ඒත් අන්තිමට මට වුණේ ඔයාගෙයි, අර ඇමතියගෙයි දෙන්නගෙම හොර ගෑණි වෙන්න.. ඔයා හිතනවද තාමත් මට ඔයාට ආදරේ කරන්න පුළුවන් කියලා.. "


මම තවත් අඩියක් පෙරට තබා ඔහුගේ කම්බුලක් මත අත තැබුවෙමි. ගැහැණු මායම් වලට දිය නොවන පිරිමි හදවතක් තිබේද..??

" ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු සරීනා වෙන්න මට ආපහු බැරි වෙයි. ඒ සරීනා මගෙන් හොයන්න එපා අරුල්.. "

" අපි සතුටින් ඉමු අරුල්.. "

අවසන් වදන් කිහිපය මම ඇහෙන නෑහෙන හඬින් මිමිණුවෙමි. ඔහුගේ කෝපය නිවී අවසන් ය. ඔහුට සොපිනා ඇරෙන්නට මෙලොව කිසිවෙකුත් නැත. මම ඔහුගේ පසෙකින් සිටීම ඔහුට සහනයක් වනු ඇත. ඔහු මොහොතකට හෝ එසේ සිතනවා නම් එය මගේ සැලැස්මයි.

ඔහු කිසිවක් නොකියා මගේ උරහිසක් මතින් අතක් තැබුවේ ය. මා නොසිතූ තරම් පීඩනයක් ඔහු තුළ සිරව ඇති බවක් පළමු වතාවට මට සිතුණි. එතරම්ම මා ඔහුව පඹ ගාලක පටලවා ඇත. සිහින් සතුටක් හදවතට ගලද්දි මම මගේ රඟපෑම ඉදිරියටම ගෙන ගියෙමි.

" අරුල්..."

මම සිහින් ස්වරයෙන් මිමිණුවෙමි.

" මට තමුසෙව අත අරින්න බෑ සරීනා. ඒක ලෝභකමක්. මං දන්නේ නෑ මං තමුසෙට ආදරෙයිද නැද්ද කියලා. මං ඔය කෙහෙල්මල් ආදරය ගැන දන්නේ නෑ. "

"හැබැයි තමුසේ මාව ප්රතික්ෂේප කරද්දී මට මාව කන්ට්රෝල් නැති වෙනවා. "

" අපි ඒ තැන් මඟ අරිමු අරුල්.."

මම අනෙක් අතද ඔහුගේ කම්බුල් වෙත ගෙන ගියෙමි. ඔහු දැං සම්පුර්ණයෙන්ම සිටින්නේ මගේ මායාවට හසුවීය. මම ඒ බොට පාට ඇස් වලට එබී බැලුවෙමි. අදහන්න. එහි වූයේ මාය. සම්මාන දෙනවා නම් දිය යුත්තේ සැබෑ ජීවිතයේදිත් විශිෂ්ට රඟපෑමේ නිරත වන අපි වගේ අයටය.

ඊළඟ තප්පරේ ඔහු මගේ නළල මතින් ඔහුගේ නළල තබා මොහොතකට මා වැළැඳ ගත්තේය. ගල් පර්වතයක් මෙන් රළු හදවතක් ඇති අරුල් මෙතරම්ම පලුදු වී ඇති හේතුව දැන ගැනීමට මට කුතුහලයක් ඇති විය.

" මොකක්ද අරුල් ඔය තරම් ප්රශ්නේ..?"

" අපිට නැන්දා අත අරින්න වෙනවා. "

" සොපිනාගේ කේස් එක දැනටමත් ඇමතිතුමාට ලොකු ප්රශ්නයක් වෙලා තියෙන්නේ. "

" ඔව්.. නිවුස් වලට පෙන්නුවා. "

ඔහු ලොකු සුසුමක් මගේ ගෙල මතින් තබා මා අතැර සැටියෙන් වාඩි වූයේ ය.

" ඇමතිතුමා කියනවා තවත් සොපිනාව කවර් කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඇමතියා සොපිනාව අත අරිනවා. "

පෙරදා රැයක තමන් සමඟින් යහන බෙදා ගත්, අවුරුදු ගණනක පැරණි අතීතයක් ඇති ඇමතිතුමා අවසනයේ සොපිනා අත හැරීමට තීරණය කොට ඇත. එය සැබැවින්ම අලුත් ආරංචියකි.

" එතකොට.."

" ආයේ මං අනාථයෙක්.. "

ඔහු එය කීවේ පෙර මෙන් කලකිරිමකින් නොවේ. නමුත් අවේගයෙනි.

" ඔයාට මං ඉන්නවා අරුල්. ඕනම වෙලාවක.."

මෙය ගින්නට පිදුරු දැමිය යුතු වෙලාව බව මගේ හිත මට ඉඟි කළේය. එබැවින් මම තවත් ඔහුට සමීප වී ඔහුගේ හිස අත ගෑවෙමි.

" මං හිතුවේ ඇමතිතුමා කොහොම හරි සොපිනා ගොඩ දායි කියලා. ඇමතිතුමත් මේ කේස් එක අත ඇරියා කියන්නේ මේක පිටිපස්සෙන් ලොකු අතක් ඇති. ඇමතිතුමාටත් වඩා. "

" ඒත් ඇමතිතුමත් ගේමක් නොදී අයින් වෙනවා නම්..?"

මම ඒ වාක්ය සම්පුර්ණ නොකර ඔහු දෙස බලා සිටියෙමි. එසේ නම් මේ සියලු පීඩන ඔහුගේ පාලනය ඔහු වෙතින් උදුර ගෙන ඇත. අරුල් යනු ආවේගයන්ට ඉඩ දෙන අයෙකු මිස මොළයෙන් හිතා බලා ගේමක් ගසන්නට සැලසුම් කරන අයෙකු නොවේ.

" හැබැයි මෙහෙමයි.. "

මම එසේ කියා දුක්බර මුහුණින් බිම බලා ගතෙමි. මගේ නිහඬබව හමුවේ අරුල් මා දෙස බැලුවේ ය.

" කොහොමද..??"

" මං දන්නේ නෑ මං හරිද වැරදිද කියලා. ඔයා, මම වුණත් දවසක ප්රශ්නයක් වුණොත් ඇමතිතුමා අපිව අත ඇරලා දායි.. "

ඔහු කිසිවක් නොකිව්වේ ය. නමුත් ඔහුගේ නළල රැළි ගැන්වුණි. ඔහු මේ ගැන බැරෑරුම්ව සිතිය යුතු ය. ඔහුත්, ඇමතුමත් අතර ඇති ශක්තිමත් බැඳීම දවසින් දවස පළුදු කිරීම බොහෝ විනෝදජනකය.

එකවරම ඔහුගේ දුරකතනය නාද විය. ඇමතුම ඇමතිතුමාගෙනි. ඔහු දුරකතනය නිහඬ කොට යන්නට අසුනින් නැඟිට්ටේය. මමත් ඔහුව අනුගමනය කරමින් නැඟිට්ටෙමි. ඔහුගේ දෑස් වල ඇති අපැහැදිලි බව මගේ උත්සහය සාර්ථක වූ බව අඟවයි.

නමුත් ඊළඟ තප්පරේ ඔහු එකවරම මගේ දොතොල් සිප ගත්තේය. එය ආරම්භයේ සිටම ඉතා වේදනාකාරි රළු සිප ගැනීමක්ම වූයේ ය. නමුත් මම දෙතොලින් ගැලූ ලේ රසය ඉවසා ගෙන උන්නෙමි.

අවසානයේ ඔහු යන්නට ගියේ ය. රිදුම් දෙන දෙතොල් අල්ලා ගෙන මම කැඩපත ඉදිරියට ගියෙමි.

බිදුණු ගැහැණියක් වෙනුවට කැඩපත මැවූයේ ශක්තිමත් ගැහැණියකි. ඒ සැබැවින්ම මමයි. ඉතින් දයාබර පාඨකය.. මම රඟපෑමට උපන් ගැහැණියක් වෙමි. නමුත් සියලුම ගැහැණුන් සැබෑ ජීවිතයේ රඟපානවා යැයි නොසිතන්න. ගැහැණුන්, පිරිමින් එකිනෙකා ඉදිරියේ රඟ පාන්නට පටන් ගන්නේ රැවටීමටය. නැතිනම් ඔවුනට බොහෝ රිදුන විටය. මා රඟපාන්නේ ඉන් කුමටදැයි පාඨක ඔබම තීරණය කරන්න.

රාත්රියේ දී විහාන් මා ඇමතුවේ ය. මම ඔහුට අලුත්ම ආරංචිය කීවෙමි. අපි ඇවිලූ ගින්න බුර බුරා නැගෙන යුරු ඔහුත්, මමත් සැනසුන් හදින් නැරඹුවෙමු. මා තරම්ම වේදනාවෙන් ඔහුත් ලත වෙන බව මට දැනුණත් ඔහුගේ රිදුණ හද තව තවත් පහුරු ගාන්නට මට සිතුණේ නැත.

පාන්දර ඇහැරුණද යහනින් බැසීමට බැරි තරම් අසනීප ගතියක් ගතට දැනුණි. උගුර වේලී ඇත. හිස රිදුම් දේ. මම ගෙලට අත තබා බැලුවෙමි. අරුල්ගේ වැසි නාඩගමට පිං සිදු වන්නට මට උණ වැළැඳී ඇත. මම මළාණික ලෙසින් තව තවත් යහනටම ගුලි වුණෙමි.

දැඩි කුසගින්නක් සමඟින් මම දෑස් හැරියෙමි. තවමත් උණ අඩු වී නැත. රුදුම් දෙන දෙපා බිම තබමින් මම කුස්සියට ගියෙමි. මම නිතරම උයන කෙනෙක් නොවන නිසා සැන්විච් පාන් පෙති කිහිපයක් ඇරෙන්නට කිසිවක් නිවසේ තිබුණේ නැත. මම ශීතකරණය හැර බැලුවෙමි. කල් ඉකුත් වීමට ආසන්න ජෑම් බෝතලයක් මගේ වාසනාවට ඉතුරුව තිබුණි.

මම ඕනෑවට එපාවට පාන් පෙති මත ජෑම් තවරා පෙති කිහිපයක්ම ගිල දැමුවෙමි. යන්තමින් කුසගිනි නිවුණත් තේ එකක් සාදා ගෙන බොන්නට පවා මට පිරියක් නොතිබුණි. යළිත් මා අවදි වන විට හවස පහ පමණ වී තිබුණි.

යළිත් කුසගිනි දැනුණි. මා බලාපොරොත්තු වූ පරිදි නින්දෙන් පසු උණ ගතිය සහ ඇග පත වේදනාව මදකින් හෝ අඩු වී නොතිබුණි. තනිව පිටතට යාමට පවා නොහැකිය. පිටතින් ආහාර ඇණවුම් කර ගෙන්නා ගැනීමට හැකියාවක් තිබුණත් කිසිවෙක් මේ නිවසට ගෙන්වා ගැනීම ඇමතිතුමා විසින් මට තහනම් කොට ඇත. එමෙන්ම තනියම වෛද්යවරයකු වෙත යාමට පවා මට නොහැකිය.

වචනයෙන් පෙරළිය නොහැකි තරමේ අසරණකමකින් මා වෙලා ගනිද්දි කොට්ටය යට අතගා මම දුරකතනය අතට ගතෙමි. පුරුද්දට මෙන් ඇමතිතුමාගේ අංකයට ඇමතුමක් ගත්තද ඔහු ඇමතුම නිමා කළේය. යළිත් ඇමතුමක් ගැනීමට නොහැකි බැවින් මම අරුල් ඇමතුවෙමි. නමුත් ඔහු ඇමතුමට සම්බන්ධ වූයේ නැත.

කුමක් කරන්නදැයි නොදැන ඇස් අග කඳුලු පිරුණි. මේ මහපොළව මත මා පමණක් තනිව ඇති බවක් අට දැනුණි. මගේ තත්වය තව තවත් දරුණු වෙමින් දැඩි කොන්දේ වේදනාවක් දැනුණි.

මම යළිත් යහනටම ගුලි වුණෙමි. මගේ නළල මත ස්පර්ශයක් දැනුණි. නමුත් දෑස් විවර කර ගැනීමට තරම්වත් ශක්තියක් මා වෙත ඉතුරුව නොතිබුණි. කවුරුන් හෝ මා ගුලිව සිටි පොරෝනාව ඉවත් කරනු දැනුණි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI