දහනවවෙනි කැළැල 19

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

 


ආදරණීය පාඨකය... ධනය, බලය ඇති මිනිහකගේ හොර අඹුවක් මෙන් මා දෙස බලන්න. එසේම ජීවිත කාලය පුරාම ප්රේමයක් සොයමින්, රාගයේ පැටලී කප්පරක් සෝ සුසුම් ළයේ සිර කර ගෙන කම් සැප විඳින ගැහැණියක් ලෙස මා මතකයේ තබා ගන්න.

ඇස් වලින් ගලන කඳුලු මම නිදහස් කළෙමි. මෙතුවක් වෙලා තද කර තබා උන් හදවත කෙමෙන් කෙමෙන් දියව යයි. තවත් මොහොතකින් අරුල් යන්නට ගියේ ය. ඒ හඬ නෑසෙන තුරුම මම ගල් පිළිමයක් සේ සිටියෙමි. මේ ජීවිතය පුරාම මට මුණ ගැසුනේ ආවෝ ගියෝ මිස ආදරයෙන් මගේ හිස අත ගා සැනසිය හැකි මින්සුන් නොවේ.

ඉන් පසු මම කෑ ගසා හැඬුවෙමි. මගේ අසරණබව, හදවතේ වේදනාව මම කෑ ගසමින් පිට කළෙමි. බොහෝ කලකට පසු මම නිදහසේ හැඬුවෙමි. මම අසිහියෙන් මෙන් දෙතුන් වරක්ම මගේ හිස දොරෙහි ගසමින් හැඬුවෙමි. මුළු ලෝකයටම ඇසෙන්නට, කෑ ගසා කියන්නට බොහෝ දේ මගේ හදවතේ තිබුණි.

එකවරම මා හිස තබා උන් දොර ඇරුණි. නමුත් මම බිම බලාගෙනම හඬමින් සිටියෙමි. දොර ඇරියේ කවුරුන් වුවත් ඒ අපායේ මුර බල්ලෙකු නොවන බව දන්නා හෙයින් මම නිහඬව සිටියෙමි. නමුත් විහාන් විය යුතු බව හදවතේ කොණක සිටි කිසිවෙක් කෑ ගසා කීවේය.

දොර හැර උන් තැනැත්තා නිහඬව මොහොතක් බලා සිට පහත් වී මගේ උරහිස් වලින් දෑත් තබා මා වත්තම් කර ගත්තේ ය. නිසකයෙන්ම ඒ විහාන් විය යුතුය. ඔහුගේ බරැති සුසුමන් මගේ සවන් මත වැදෙනු දැනුණත් මා උන්නේ නිහඬවමය.

ඔහු දොර සම්පුර්ණයෙන්ම විවර කොට මා ඇතුළට ගත්තේය. තවමත් මා උන්නේ කදුලු සලමිනි. මුළු ගෙදරම අන්ධකාරයේ ගිලී තිබුණි. ඔහු ආලෝකය දල්වන්නට උත්සහ කරත් මම අසිහියෙන්ම ඔහුව වැළැක්වූ වෙමි.

මගේ ඇස් වලින් උණු උණුවේම ගලනා මේ උණුසුම් කදුලු ඔහුවත් දැකිය යුතු නොවේ. කෙතරම් අසිහියෙන් සිටියත් මා උන්නේ සිතුවිලි මැදය.

ඔහු මා වත්තම් කර ගෙන් කාමරයට ආවේය. මගේ උරහිසක එල්ලෙමින් තිබූ බෑගය ගෙන මේසය මත තබා නාන කාමරයේ ආලෝකය දැල්වූයේ ය. ඒ සියල්ල ඔහු කරනා තුරු මා පඹයෙකු මෙන් වැනෙමින් කාමරය මැද සිට ගෙන සිටියෙමි.

සැබැවින්ම මා උන්නේ මා මෙතරම් අසරණ අඩියකට වැටී ඇති බව වටහා ගන්නට නොහැකි තරම් මානසිකත්වයකිනි. මේ මත් බව නොවේ නම් මම මේ කාමරයේ ඇති සියල්ලම පොළවේ ගසනු ඇත. නමුත් ඔහු ඉදිරියේ මම නොසෙල්වී සිටියෙමි.

අවසානයේ ඔහු අඬ අවදි කළේ ය.

" නාගෙන එන්න.. "

ඔහුගේ හඬට මම කිසිවක් නොකියාම අවනත වුණෙමි. අන්ධකාරයේ නානකාමරයට යන්නට ගොස් දෙවරක්ම අල්මාරියෙත්, බිත්තියෙත් වැදුණි. ඔහු මා පසුපසින් ඇවිත් මා අල්ලා ගන්නට උත්සාහ කරත් මම ඔහුව වැළැක්වූවෙමි.

මේ තරම් රිදුම් කෝටි ගාණකටත් පසුව මේ රිදුම් සැබැවින්ම මට වේදනාවක් නොවුණි. ගණන් කර නොහැකි වාර ගණනක්ම ඔවුන් සියල්ල එක්ව මගේ හදවත බිම දමා පාගා දමා තිබුණි. නමුත් මා තවමත් හුස්ම ගනියි.

අවසානයේ මම නාන කාමරයේ දොර හැර ගෙන ඇතුළට ගියෙමි. කැඩපතෙන් පෙනෙනා බිඳී ගිය මගේ රූපය දෙස මම මොහොතක් බලා සිටියෙමි. හැඬීමෙන් විඩා වූ රත් පැහැ දෑස්, කඳුලින් තෙත් වුණ කම්බුල් මෙන්ම වේදනාවෙන් මිරිකුන මගේ රූපය දැක තව තවත් මහද වේදනාවෙන්ම පිරුණි.

මම කැඩපතෙන් ඈත් වී වතුර මල යටට ගොස් බිත්තියට හිස තබා ගතෙමි. සීතල වතුර දාරා දිගු හිසකෙස් තෙමමින් ගත දිගේ පහළට ගලා යයි.

එකවරම අරුල්ගේ රූපය දෑස් මත ඇදුණි. දෙවියනේ ඔහුගේ ප්රේමය වෙනුවෙන් මම සියල්ල අත් හැර දැමුවෙමි. අවසානයේ මට මා අහිමි වූ අන්දම..??

ඒ සියල්ල පරයා හිතට දැනුණ කලකිරීම මටවත් ගණනය කළ නොහැක. ඔහු විසින් කරන ලද සියලුම අපරාදයන්ට පසුවත් ඔහු මා හා යහනේ සැතපීම මට දරා ගත හැකි වුවත් ඔහු යළි යළිත් මට ප්රේම කරනවා යැයි කීම මට දරා ගත නොහැක.

මේ සියල්ලටම පසුත් තවමත් මට ආදරෙයි කියන්නට තරම් ඔහු සත්ය ප්රේමවන්තයෙකු වී ඇති අන්දම..?? මම තව තවත් කේන්තියෙන් පිපිරුණෙමි. මම කෑ ගසමින් ඇද වුන් ගවුම ඉරා දැමුවෙමි.

" අරුල්.. මං තමුසෙගෙන් පලි ගන්න විදිය තමුසෙට හිතා ගන්නවත් බැරි වෙයි.. "

මම මටම සපථ කර ගතෙමි. පිට කර ගැනීමට නොහැකි වූ වේදනාව, ආවේගය උගුරේ සිරවී ඇතුවාක් මෙන් දැනේ. අරුල් මගේ ජීවිතේ ඇති කළ සෑම කැළැලක් වෙනුවෙන්ම ඔහු විඳවිය යුතුය. ඔහු පසුතැවිය යුතුය. ඉන් නොනැවතී ඔහු වන්දි ගෙවිය යුතුය.

එකවරම දොරට ගසනු හඬ ඇසී මම හිස එසෙව්වෙමි.

" සරීනා මං එන්නද..? නැත්නම් නාලා එළියට එනවද..?"

විහාන්.. ඔහු තවමත් ගොස් නැත. මා වන් අවාසනාවන්ත, කාළකණ්ණි කෙල්ලෙක් වෙනුවෙන් ඔහු කුමට වෙහෙසනවාද..? මම වෙව්ලමින් වතුර මල යට තවත් මොහොතක් සිටියෙමි. දෑසින් ගලන කඳුලු නතරව ඇත. ගලන්නට නියමිත සියලුම කඳුලු හදවත පතුලේ සීතලට මීදී ඇත.

මම සාලුවක් ගත පටලවා ගෙන නාන කාමරයෙන් එළියට පැමිණියෙමි. ඒ වන විටත් ඔහු කාමරේ ආලෝකය දල්වා තිබුණි. මම ඔහු දෙස නොබලාම අල්මාරිය වෙත ගොස් ගවුමක් ඇඳ ගතෙමි. ඔහු දෙස එක එල්ලේ බැලීමට නොහැකි තරමේ කුමක් හෝ හැඟීමක් මහද වද දුන්නේ ය.

" ඔන්න ඕක බොන්න.."

ඔහුගේ හඬට අවනතව මම හැරී බැලුවෙමි. කණ්නාඩි මේසය උඩ දුම් දමන උණු කෝපි කෝප්පයක් තිබුණි. සීතලේ ගැහෙමින් උන් මා එක හුස්මට කෝප්පය අතට ගෙන බීගෙන බීගෙන ගියෙමි. උණු උණුවේම උගුර පිච්චෙමින් මාවද අවුලමින් කෝපි රස ගලා ගියේ ය.

" අරූ නේද ආවේ..?? මොකෝ ඌ ඇතුළට එන්න බෑ කිව්වද...?"

මා අරුල්ට ගෙදරට එන්නට ඇරයුම් කරා නම් ඔහු නිසකයෙන්ම පැමිණෙන බව මට විශ්වාසය. නමුත් මගේ කඳුලු වලට හේතුව ඔහු ඉදිරියේ දිග අරින්නට මගේ ආත්මාභිමානය ඉඩ නොදුන්නේය.

" මං ආවේ වෙන වැඩකට.."

මගෙන් පිළිතුරක් නොමැති තැන ඔහු කීවේය. මම කණ්නාඩි මේසය කෙළවර තිබූ මත් පැන් බෝතලේ මූඩිය ඇඟිල්ලෙන් සීරුවෙමි. ඔහු යළිත් කතාව ආරම්භ කළේය.

" මං දන්නේ නෑ ඔයා මේක කොහොම දරා ගනීද කියලා..??"

ඔහු යමක් පැවසීමට උත්සාහ කරත් මා උන්නේ ඔහු පෙර කී වදන් සිහි කරමිණි. ඔහුගේ වදන් වල ගැබ්ව තිබුණේ මා වැටී ඇති ආගාධයේ ගැඹුරයි. ඔහු ඒ වචන කීවේ සරදමට නොවන්නට ඇත. ඇමතියාට හොරෙන් අරුල් ගේ අස්සට දමා ගෙන ඔහු සමඟ යහන මත සැනසෙන්නට තරම් මගේ ආත්මයම සිල්ලර වී ඇති අයුරු තවත් මා කම්පනයට පත් කළේ ය.

මම මත් පැන් බෝතලය අතට ගෙන තවත් උගුරු කිහිපයක් බීවෙමි. ඔහු මා දෙස පුදුමයෙන් බලා ඉන්නා අයුරු දැක සරදම් සිනාවක් පාමින් මම යහන මතින් වාඩි වුණෙමි.

" අරුල්.. මට මතක් කරන්න එපා ඕකව.. "

මත්පැන් මා ගත තුළ ක්රියාත්මක වෙමින් ඇත. මා ඉදිරියේ උන් විහාන් දෙදෙනෙක්ව පෙනෙද්දි මම යහනින් හාන්සි වීමට උත්සාහ කරත් මම යහන පාමුල බිමට ඇද වැටුණෙමි. විහාන් මා වෙත අවුත් කුමක් හෝ යමක් කියමින් මා වත්තම් කොට යහනතින් හාන්සි කරවීය.

" තමුසෙට නම් පිස්සු සරීනා.. "

ඔහු හයියෙන් එසේ කියූ බවත් මම එයට පිළිතුරු ලෙස යමක් කියූ බවත් අසිහියෙන්ම මට මතක තිබුණි.

" දැං ඉතින් නිදා ගන්නවා. ඔය වෙරි බහිනකම්.."

සිහිය නැති වූයේ මත් පැන් නිසා නොවන බවත් ඒ සියල්ලටම හේතුව මා අද වැටී තත්වයත්, මට මා ගැන දැනෙන ආත්මානුකම්පාව නිසා බවත් මට ඔහුට කිව යුතු වුණත් මම කිසිවක් නොකිව්වෙමි. නමුත් ඒ වෙනුවට යන්න ගිය ඔහුගේ දෑත පමණක් අල්ලා ගතෙමි.

මේ ලෝකේ, මේ මොහොතේ මා පමණක් තනිව ඇති බවක් මට දැනුණි. යළිත් මගේ ඇස් අග කඳුළක් එකතු විය. නමුත් මට තනිවන්නට අවැසි නැත.

" යන්න එපා විහාන්.. "

මා එසේ කියූ බවත්, ඔහු යහනේ මා අසලින් හාන්සි වූ බවත්, සීතලේ වෙවලමින් උන් මා ඔහුගේ උණුසුමේ ගුලි වූ බවත් මට අපැහැදිලි සිහිනයක් මෙන් මතක තිබුණි.

____________________________________________

හිතට ආදරයක් දැනුණම කොයි හදවතත් මොහොතක් නතර වෙනවා..

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI