දහ අටවෙනි කැළැල 18
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
" මට මුකුත් වෙලා නෑ මිනිහෝ. හැබැයි මං තමුසෙට කියලා තියෙනවා තමුසෙට ඕන නම් මාත් එක්ක නිදා ගන්න පුළුවන්. හැබැයි බොරුවට ආදරෙයි කිය කිය නැලවෙන්න බෑ.. "
මම මහ හඬින් කෑ ගසමින් දබර ඇඟිල්ල ඔහු වෙතම එල්ල කරමින් නැඟී සිටියෙමි. මගේ ඇස් වලින් ගිනි පුපුරු පිට වෙන්නාක් මෙන් දැනුණි. මම දෙපයින් හිටගෙන ඔහු දෙසම බලා සිටියේ බිඳුවකින් හෝ අඩු නොවුණ ආවේගයකිනි.
අරුල්.. ඔහු උන්නේ කිසිවක් සිතා ගත නොහැකිව මා දෙස බලා ගෙනය. මෙතරම් ආවේගයක් මා තුළ ඇති බව ඔහු කිසිදෙනෙක විශ්වාස නොකරන්නට ඇත. මා රවාගෙනම සිටියදී ඔහු පළමුව සැටියට කඩා වැටුණි. දෑතින් හිස කෙස් අදිමින් ඔහු බිම බලා ගෙන මොනවාදෝ මුමුණනු ඇසුණි.
දෙවනුව මම සැටියට වැටුණෙමි. මුළු බංගලාව පුරා ඇසුණේ මගේත්, ඔහුගේත් හුස්ම වැටෙන හඬ පමණි. ඇස් අගින් ගිලිහුණ මුත් කම්බුල් සිප නොගත් කඳුලු නිසාවෙන් මගේ නහයද බර වී ඇත. පනින්න නොහැකිව හිර වුණු ඉකිබිඳුමක් මගේ උගුර සිර කර ඇත.
ඔහු මේසය මත තිබූ වීදුරුව ගෙන එක උගුරට සියල්ල පානය කළේය. තවත් සිහියෙන් සිටින්නට නොහැකි තැන මමත් මත් පැන් බෝතලය ගෙන ඉතිරිව තිබූ සියල්ලම පානය කළෙමි. ඉන් පසු මම දෙතොල් පිස දමා ගෙන අවුල්ව ගිය ගවුමත්, හිසකෙසුත් සකසා ගත්තෙමි.
"සරීනා.."
ඔහු කුමක් හෝ කියන්නට හිස එසෙව්වේය. නමුත් තවත් එක වචනයක්වත් අසන්නට තරම් මානසිකත්වයක් මට නොතිබුණි.
" මට ගෙදර යන්න ඕනි. "
" සරීනා.. "
" මුකුත් කියන්න එපා අරුල්. මට ගෙදර යන්න ඕනි. "
මම එසේ කියමින් නැගී සිටියෙමි. තවමත් මගේ කම්බුල් වෙවලනු දැනෙයි. මගේ කටහඬේ ඇති දැඩි බව අදහා ගන්නට නොහැකිව ඔහු මොහොතක් බලා සිටියේ ය.
" ඔයා මාව ගිහින් දානවද..? නැත්නම් එළියේ කාටහරි කියන්න ඕනිද.. ?"
මම පහත් වී මගේ බෑගය අතට ගනිමින් විමසුවෙමි. කිසිදාක අරුල් ඉදිරියේ මා මෙතරම් නිර්භීත වී නැත. නමුත් ඔහු යළි යළිත් එකම වචන කිහිපය කියමින් මා රැවටීමට උත්සාහ කිරීම මගේ දරාගැනීමේ මහා පර්වතය ඉරි තලන්නට ඇත.
" හරි යන්.. "
මත් වී සිටියද ඔහු නැගී සිටියේය. ඔහු දිගු පියවර තබමින් ඇවිද ගියේ ය. මම ඔහු පිටුපසින් නමුත් හෙමින් ඇවිද ගියෙමි.
ප්රේමයේ නාමයෙන් කප්පරක් සිහින විසිරුවා ජීවිතයම ඔහුගේ පාමුල තැබූ මෝඩ කෙල්ල අදත් ඔහුගේම පිටුපසින් ඇවිද යයි. අහෝ මාගේ දෛවය...! මට මා ගැන දැනෙන ආත්මානුකම්පාව දරා ගත නොහැකි තරමටම මා රිදවයි.
අතට හසු වෙන මල් පෝච්චියකින් හෝ ඔහුගේ හිස දෙපලු කරන්නට තරම් ඒ ආවේගය බලවත් ය. නමුත් මගේ ජීවිතය සිදුරු කර මා මේ තරම් ආගාධයකට ඇද දැමූ එකම මිනිසා ඔහු පමණක් නොවේ. දඩයමට ආරම්භයේම අවසන් කළ යුතු නැත. එය මා රස විඳිය යුතුය. එයින් මගේ හදවතට සහනයක් ලැබිය යුතුය.
මා යන විට ඔහු වාහනය තුළ අසුන් ගෙන එය පණ ගන්වා ගෙන උන්නේය. මම කිසිදු හදිසියකින් තොරව වාහනයේ ඉදිරිපස අසුනෙහි අසුන් ගත්තෙමි. තවත් මොහොතක් හෝ පමා නොවී ඔහු වේගයෙන් වාහනය පාරට දැම්මේය.
මඟ දෙපස වූ කඩවල් දෙස බලා ගෙන සිටියා මිසක මම ඔහු දෙස නොබැලුවෙමි. කෙමින් කෙමෙන් මා මත් වන අයුරු මට දැනේ. එක දිගට නිමක් නොමැතිව සිතුවිලි ගලා ගෙන එයි. ඒ සියල්ලම හදවතට දරා ගත නොහැකි තරම් වේදනාවක් මිස අංශු මාත්රයක තරම්වත් සතුටක් නොවේ.
මම තදින් දෑස් පියා ගත්තෙමි. අප්පච්චිගේ තුරුලේ තවත් එක වරක් ගුලි වන්නට ඇත්නම්.. බොළඳ ආශාවකින් මගේ හදවත රිදුම් දේ. නෙත් අගින් කඳුලක් ඉහිරුණි. නමුත් මම ඒ කිසිදු කදුලකට මගේ කම්බුල් සිප ගන්නට ඉඩ නොදී ඇස් පිය තුළම සඟවා ගතෙමි.
මා රවටමින් මගේ ජීවිතයම අපායක් කළ වුන් ඉදිරියේ හදවතේ වේදනාව නාමෙන් ගලනා එකදු කඳුලක් හෝ ඇස් වලින් නොවැටිය යුතුය. ඔවුනට නොපෙන්විය යුතුය. මම එතරම්ම ගල් හිතක් ඇති ගැහැණියක් වී සිටියෙමි.
නිමක් නැති හැඟීම් ගොන්නක් මත පාවි පාවි උන් මම වාහනය නවතනු දැනී ඇස් ඇරියෙමි. අපි සිටියේ මගේ නිවස ඉදිරි පිටය. මෙතරම් වෙලාවක් ගත වුවත් එය මට එතරම් දැනුනේ නැත. මම බෑගය අතට ගෙන වාහනයේ දොර ඇරියෙමි.
නමුත් එකවරම අරුල් මගේ අත රිදෙන තරමට තදින් අල්ලා ගත්තේය. මෙතෙක් වෙලා නිහඬව සිටි ඔහු කොයි මොහොතක හෝ පුපුරන බව බලාපොරොත්තුවෙන් සිටි මා ඔහු දෙස බැලුවේ නොසැලකිලිමත් දෑසෙනි.
" මේ අහනවා සරීනා.. "
මත් බව නිසා හෝ නැත්නම් ඔහු සමඟ ඇති කේන්තිය නිසාවෙන් හෝ මම ඔහුගේ දෑස් දෙස බලා ගෙනම සිනාසුණෙමි. සරීනා... ඔහුගේ මුවින් ඉස්සර තරම් ආදරණීය ස්වරයෙන් මගේ නම ඇහෙද්දි මා හදවත ඇතුළින්ම දෙදරා ගිය බව සත්යයකි.
නමුත් අතීතයේ උන් බොළඳ කෙල්ල තවදුරටත් මා තුළ නැත. ඇය මා හැර ගොස් ඇත.
" මං ඕන තරම් ගෑණු එක්ක නිදා ගෙන ඇති. හැබැයි මට තමුසේ විශේශයි.. "
ඔහු අවසාන වචන දෙක කීවේ හඬ බර කොට හදවතට දැනෙනා තරම් ළයාන්විතව ය.
නමුත් ඔහුගේ වදන් වලට මගේ ගල් හදවත දිය කරන්නට නොහැකි බව ඔහු තවමත් තේරුම් ගෙන නැත. ඔහු කියූ වචන මම මගේ හදවතට යළිත් කීවෙමි. ඊළඟ තප්පරේ මම මහ හඬින් සිනාසුණෙමි.
අරුල්ගේ මුහුණ වෙනස් වෙන අයුරු මම රස වින්ඳෙමි. එය සිහි තබා ගත හැකි නම් යළි යළිත් සිහි කර සිනාසෙන්නට හැක.
" මම විශේෂයි...??"
එකවරම සිනාව නවතා මම ඔහුගෙන් ඇසුවෙමි.
" තමුසේ එක්ක නිදා ගත්තු ගෑණු ඔක්කොම පැත්තකින් තියලා තමුසේ ඇමතියට පූජා කරේ මං විතරයි.. "
" විශේෂයි... කෙහෙල්මල තමයි.. "
මම ඔහුගේ අත ගසා දමා වාහනයෙන් බැස දොර හයියෙන් වසා දැම්මෙමි. මම යළිත් කේන්තියෙන් ඇවිලෙමින් උන්නෙමි. දරා ගත නොහැකි තරම් පිළිකුළක් අරුල් ගැන දැනේ. මම යළිත් එක වරක් හෝ ඔහු දෙස නොබලාම ගේට්ටුව ඇර ගෙන හයියෙන් ගේට්ටුව වසා දැම්මෙමි.
අන්ධකාරයේ වැනෙමින් මම දොර ඉදිරියටම පැමිණියෙමි. තවමත් මට අරුල් වාහනය පණ ගන්වන හඬ ඇසුණේ නැත. යළිත් හැරී ගොස් හුස්ම හිර වෙන් තුරු ඔහුගෙර් බෙල්ල මිරිකන්නට තරම් වේදනාවක්, කේන්තියක් දැනෙමින් තිබුණි.
මේ මත් බව නොවේ නම් නිසකයෙන්ම මා අද ඔහුට මීටත් වඩා බැන වදින්නට තිබුණි.
මම දොර අභියස බිම වාඩි වුණෙමි. ප්රේමයෙන් අල්ප මාත්රයක් වත් නොවිඳ මේ තරම් වේදනාවක් මා ආක්රමණය කර ඇති අන්දම..?? මිනිස්සුන්ට ඕනෑ ප්රේමයයි.. හඬන්නට, තැවෙන්නට, හිනා වෙන්නට, මෙන්ම ජීවත් වෙන්නට පවා ප්රේමය අවැසිය. නමුත් මම ඉන් ඇබින්දක් තරම්වත් ප්රේමය නොලැබුවෙමි.
ආදරණීය පාඨකය... ධනය, බලය ඇති මිනිහකගේ හොර අඹුවක් මෙන් මා දෙස බලන්න. එසේම ජීවිත කාලය පුරාම ප්රේමයක් සොයමින්, රාගයේ පැටලී කප්පරක් සෝ සුසුම් ළයේ සිර කර ගෙන කම් සැප විඳින ගැහැණියක් ලෙස මා මතකයේ තබා ගන්න.
ඇස් වලින් ගලන කඳුලු මම නිදහස් කළෙමි. මෙතුවක් වෙලා තද කර තබා උන් හදවත කෙමෙන් කෙමෙන් දියව යයි. තවත් මොහොතකින් අරුල් යන්නට ගියේ ය. ඒ හඬ නෑසෙන තුරුම මම ගල් පිළිමයක් සේ සිටියෙමි. මේ ජීවිතය පුරාම මට මුණ ගැසුනේ ආවෝ ගියෝ මිස ආදරයෙන් මගේ හිස අත ගා සැනසිය හැකි මින්සුන් නොවේ.
ඉන් පසු මම කෑ ගසා හැඬුවෙමි. මගේ අසරණබව, හදවතේ වේදනාව මම කෑ ගසමින් පිට කළෙමි. බොහෝ කලකට පසු මම නිදහසේ හැඬුවෙමි. මම අසිහියෙන් මෙන් දෙතුන් වරක්ම මගේ හිස දොරෙහි ගසමින් හැඬුවෙමි. මුළු ලෝකයටම ඇසෙන්නට, කෑ ගසා කියන්නට බොහෝ දේ මගේ හදවතේ තිබුණි.
එකවරම මා හිස තබා උන් දොර ඇරුණි...
_______________________________________
සමහර විට අපිට පේන්න පුළුවන් කෙල්ලෙක් එක එක සබඳතා වලට පැටලෙනවා..ඒත් අපි දන්නේ නෑ කතාව.
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.