පහළොස්වෙනි කැළැල 15

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 


" ඒ කියන්නේ ඒ ගෑණි නිදහස් වෙනවා.. "

" බලය තියෙනවා නම් මොනාද කරන්න බැරි. අච්චර දෙයක් කරපු ඒ #### ගෑණිත් කිසි අවුලක් නැතුව නිදහස් වෙනවා නම්..?"

විහාන් තවත් බොහෝ දේ කියමින් බැන්නත් මම ඒ කිසිවෙකුට සවන් නොදෙන්නෙමි. මට රට වෙනස් කරන්නට නොහැක. මට මිනිස්සුන්ද වෙනස් කරන්නට නොහැක. නමුත් මට දරුවෙක් සිටියා නම් මම ඒ දරුවා මිනිසෙකු ලෙසින් උස් මහත් කරමි.

නමුත් මෙවන් තිරිසන් වැඩ කරනා එක් අයෙක් හෝ මේ සමාජයෙන් අතු ගා දැමීමට උත්සාහ කිරීම පිළිබඳ මම අවංකවම සතුටු වෙමි. මා සාර්ථක වුවත්, නැතත් අද මා සමාජයේ වැටී ඉන්නා තැන ගැන මගේ මනසට ඇති හීනමානය බිඳුවකින් හෝ අඩු නොවුණත් මම සැබැවින්ම උත්සාහ කරමි.

" විහාන්.. හරියට තුනාහාමාර වෙද්දි.. "

මම එපමණක් පමණක් කියා ඇමතුම නිමා කළෙමි.

ඇමතිතුමාගේ ඇස් වලට වැලි ගසමින්, අරුල්ගේ ඉවටද අසු නොවී මේ කරනා සෙල්ලම වැඩිකල් කරන්නට නොහැකි වනු ඇත. නමුත් ප්රහාර එල්ල කරනා සෑම විටම එයින් උපරිම ආශ්වාදයක් ලබා ගත යුතු ය.

දඩයම යනු හුදෙක් ඇගට පැන ගොදුර මරාගෙන කෑම නොව ප්රහාරයෙන් ප්රහාරයට ගොදුර තම ජීවිතය රැක ගැනීමට, තම ආධිපත්යය පැතුරුවීමට ගන්නා උත්සාහ දැක ඉන් උපරිම තෘප්තියක් ලබා ගැනීමයි. එතරම්ම කෘරත්වයෙන් මගේ හදවත පිබිදී ඇත.

එදින ගෙවිය යුතු පැය කිහිපයක දිනයක්ම තරම් දිගු විය. හරියටම තුනාහාමාර වන විට විහාන් අදාල වීඩියෝ පටය සමාජ ගත කර තිබුණි. ඊටත් විනාඩි විස්සකට පමණ පසු සොපිනා සීඅයිඩී ගොඩනැගිල්ලෙන් පිටට පැමිණෙන අයුරු මාධ්යන්හි විශේෂ පුවතක් ලෙසින් විකාශනය කෙරුණි.

විහාන්ගේ වීඩියෝ පටයේ දැක්වූයේ මුහුණ වසා ගත් තවමත් දහඅට හැවිරිදි තරුණියක් ඇය ලද කෲර සහගත අත්දැකීම ඇගේ වචනයෙන්ම ඉදිරිපත් කිරීමයි. එයින් මා අපේක්ෂා කරාටත් වඩා මිනිස්සුන් කැළඹිණි. එය රැල්ලක් බවට පත් කරන්නට සොපිනාගේ නිදහස් වීම හේතු විය.

සියල්ලම මගේ සැලසුම් වලට අනුව සිදු වෙමින් පවතී. මම මාර්මයිට් වීදුරුවක් හදා ගෙන නිදන ඇඳුමකින් සැරසී රූපවාහිනීය ඉදිරියේ අසුන් ගත්තෙමි. හතේ ප්රවෘත්ති නැරඹීමට මා මෙතරම් උද්යෝගයෙන් සූදානම් වූවාමය.

ප්රවෘත්ති ප්රකාශයේ දවසේ පුවත මවන්නට අහිංසක කෙල්ලන් රවටා ගණිකා ව්යාපාරයට යොමු කරන්නට මෙහෙය වූ සොපිනා සමත්ව තිබුණි. විවිධ දේශපාලන පක්ෂ පවා සොපිනාගේ පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටිති.

හොඳම විහිලුව යනු සෑම සතියකට දෙවරක් හෝ තෙවරක් සෝ ස්පාහී වයසින් අඩු කුඩා තරුණියන් සොයා යන ප්රසිද්ධ චරිත පවා කැමරා ඉදිරියේ රස කතා මැවීමය.

මෙතරම් සාක්ශි සහිතව සියල්ල සමාජගතව තිබියදි ඇය කිසිවක් සිදු නොවූ ලෙසින් සියල්ලෙන්ම නිදහස් වීම බොහෝ කතා බහට ලක් වී තිබුණි. මුහුණු පොතේ සහ යූටියුබ් චැනල් වල පවා සොපිනා ගැන අපූරු කතා මෙන්ම ඇය නිදහස් කළ හේතු කාරණා සොයමින් රැල්ලක් නිර්මාණය වී තිබුණි.

හතේ, අටේ මෙන්ම රාත්රී දහයේ පුවත් ද නිමවූ පසු මම අසුනින් නැඟිට කාමරයට ගියෙමි. මුළු නිවසම අන්ධකාරයේ ගිලී තිබුණද මගේ දිරාපත් වූ බිඳී ගිය හදවත තුළ යන්තමින් ආලෝකයක් දිල්වේ.

සොපිනාගේ නවතම මහල් නිවාසය කිසියම් පිරිසක් එක්ව ඇතුළු වී විනාශ කොට තිබුණි. එහි තිබී හමු වූ ලිංගික උපකරණ මෙන්ම අනෙකුත් දෑ පිළිබඳ ද මුහුණ පොතේ විවිධ විස්තර පළ විය. පසුව පොලිසිය මැදිහත් වී සිද්ධිය සමතයකට පත් කර ඇති අතර අදාළ විනාශයට මුල් වූ කිහිප දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇත.

පාන්දර එකට පමණ මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් පැමිණියේය.

" මිශන් කම්ප්ලීට්.."

පහර දුන් පිරිස අතර සිටි විහාන් මගේ සැලසුම පරිදි සියල්ල සිදු කර ඇත. ජයග්රාහී සිනාවකින් මුව සරසා ගෙන මම නින්දට ගියෙමි.

මීට වසර කිහිපයකට පෙර උන් අහිංසක යුවතිය අද මට හමු වූවා නම් කිසිදා මේ මායැයි විශ්වාස නොකරනු ඇත. එතරම්ම දුර මේ දක්වා මා පැමිණ ඇත.

මේ සියල්ල අතරතුර සොපිනා කොහේ සැඟව සිටිනවා දැයි පමණක් සොයා ගැනීමට මට නොහැකි විය. නමුත් ඒ ඇරෙන්නට මා සැලසුම් කර පරිදි සියල්ලම සිදු විය.

පසුදා සුපුරුදු පරිදි මම දේශණ සඳහා සහභාගි වුණෙමි. අවසාන විභාගයට ඇත්තේ තව කෙටි කාලයකි. මේ සියලු කැළැල් මධ්යයේ මම මගේ අප්පච්චිගේ එකම සිහිනය වෙනුවෙන් වෙහෙසුණෙමි. මගේ ජීවිතයේ අවසාන තප්පරයේ වුවද මට මා ගැන සතුටු විය හැකි එකම හේතුව එයයි.

විහාන්ගෙන් ඇමතුමක් පැමිණියේ මා දේශණයට සවන් දෙමින් අවශ්ය කරුණු සටහන් කර ගන්නා මොහොතකයි. ඔහු හදිසියක් නොවේ නම් කිසිවිටකත් ඇමතුමක් නොගන්නා බව හොඳින්ම දන්නා නිසා මම ඇමතුම විසන්ධි කොට කෙටි පණිවිඩයක් තැබුවෙමි.

" ඉක්මනටම ගෙදර එන්න. කතා කරන්න ඕනි. "

ඔහු එය පමණක් එවා තිබුණි. කුමක් හෝ කාරණාවක් නිසා මගේ හදවත බියෙන් සලිත විය. ආදරණීය පාඨකය, දැලි පිහියෙන් කිරි කෑම යනු ජීවිතයත්, මරණයත් අතර සටනක් බව මම හොඳින්ම දැන උන්නෙමි. ඒ නැතත් ඇමතිතුමාගේත්, අරුල්ගේත් අඳුරු පැතිකඩ හොඳින්ම අත්විඳ ඇති මා සැබැවින්ම කලබල විය යුතුය.

මම දේශණය අවසාන වන තුරු සිටියේ නොඉවසිල්ලෙනි. එය බොහෝ දිගු විනාඩි හතළිහකි. අවසානයේ දේණණය නිම වූ සැණින් මම දේශන ශාලාවෙන් පිටවුණෙමි. මගේ දුරකතනය නාද වනු ඇසුණත් මට ඇමතුම් ගන්නේ ඇමතිතුමා හෝ අරුල් හැරෙන්නට ඩයලොග් එකෙන් පමණක් බැවින් මම දුරකතනය අතට ගත්තේවත් නැත.

මොහොතකට හෝ පමා නොවී මම පඩිපෙළ බැස ගේට්ටුව තෙක්ම ඇවිද ආවෙමි. යළිත් දුරකතනය නාද වනු ඇසී මම දුරකතනය අතට ගත්තෙමි. ඇමතුම පැමිණ තිබුණේ අරුල්ගෙනි.

මේ මොහොතේ අරුල් කුමට කතා කරනවාදැයි සිතමින් මම මොහොතක් බලා සිටියෙමි. මේ ඇමතුමේ කොණක විහාන්ගේ සම්බන්ධයක් ඇත්දැයි මම යළිත් සිතුවෙමි. එසේ නම් සියල්ල ඔවුන්ට හසුවීද..?? මේ තරම් ඉක්මනින් ඇමතිතුමාට මා අල්ලා ගත හැකි අයුරින් මා සෙල්ලම් කරේ නැත.

එසේ හසු වුවත් මා ඇමතිතුමාටවත්, අරුල්ටවත් බිය විය යුතු නැත. තවත් කිසිවක් නොසිතා මම ඇමතුමට සම්බන්ධ වුණෙමි.

" ඉක්මනටම ඇවිත් වාහනේට නගිනවා. "

එපමණක් පමණක් පැවසූ ඔහු ඇමතුම විසන්ධි කරේ ය. සිදු වන කිසිවක් සිතා ගත නොහැකිව මම වටපිට බැලුවෙමි. ඇමතුමාගේ වාහනය පාර එහා පැත්තේ නවතා තිබුණි.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI