එක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර ගණනක් අංශබාගයෙන් පීඩා විදීමෙන් අනතුරුවයි. ඒ කාල සීමාවේ ඔහුගේ කැත කුණු අතගාමින්, දරුවන් ගැනත් සොයා බලමින් වතුපිටි ආදායම ගැනත් කල්පනා කරමින් බිරිඳ නොවිදිනා දුක් වින්දා. ඉන්න තැනම මළ පිට කරන එක, මුත්රා පිට කරන එක අන්තිමට මේ ගෙදර සාමාන්ය දෙයක් බවට පත් වුණා. නිවසට කෙනෙක්ට එන්න කියන්න බැරි කරමට දුර්ගන්ධයක් හමනකොට සියලූ වැඩ නවත්වලා බිරිඳට නිවස පිරිසුදු කරන්න සිදුවුණා. ඒ ගඳ මැකිලා යයි කියලා හිතෙන කල් අත් ගෙවෙන තුරු ඇය බිම මැද්දා. රෙදි හේදුවා, අව්වේ වැනුවා. අවසානයේ දි එක් රාත්රියක ඔහු මිය ගියා.
එදා මරණයේ අවසාන දවස. බිරිඳ සිය සැමියා වෙනුවෙන් මරණයට ආ අයට ස්තුති කථාව කරන්න සුදානම් වුණා. ඇය බොහොම ගෞරවයෙන් සියලූ දෙනාටම ස්තුතිවන්ත වුණා. අවසානයේදී ඇය සැමියා වෙනුවෙන් කථා කරන්න පටන්ගත්තා.
‘ "‘මට මුණගැසෙනකොට ඔහු බොහොම කඩවසම් තරුණයෙක්. ඉතින් මම ඔහුට එක පයින් කැමති වුණා. දෙවරක් හිතන්නේ නැතුවම. අපි විවාහ වුණා. ආලිංගනයේ යෙදුනා. දරුවන් හැදුවා. නමුත් ඔහු එක්ක විවාහ වුණු දා ඉදලා කවදාවත් මම හොඳින් නිදාගත්තේ නැහැ. මොකද ඔහු මහා හයියෙන් ගොරවනවා. ඒක මහ පුදුම ගෙරවීමක්. ඒ හැම ගෙරවීමකදිම මම කේන්තියෙන් ඔහුව අවදි කරනවා. ඔහු ආයෙම නින්දට වැටෙනවා. ආයෙත් ගොරවනවා. මේ වදය මම අවුරුදු 35 ක්ම වින්දා. දැන් මට අවුරුදු 55 ක්. අවුරුදු 20 ඉදලා අවුරුදු 55 ක්ම හරියටම නින්දක් නැතිව මම දුක් වින්දා. ඒක මහ පුදුම වදයක්. කිසිම ගැහැණියෙක් ඒ වදය ඉවසන්නේ නැහැ.
අවසානෙදි ඔහු රෝගි වුණා. පුරුදු විදියට හැම රෑකම ඔහු ගෙරෙව්වා. ඒ ගෙරවීම මට අරගෙන ආවේ පුදුම සැනසීමක්. ‘‘ඔහු තාමත් ජීවත් වෙනවා’’ කියලා මම දැනගත්තේ ගෙරවීමෙන්. ගෙරවීම පොඩ්ඩක් හරි නැවතුනා නම් මම ගැස්සිලා නින්දෙන් ඇහැරුනා. ඔහුගේ ගෙරවීම ඇහෙන මානෙක මිස වෙන තැනක මට නින්ද ගියේ නැහැ. ගෙරවීම නැවතුන ගමන් මම ඇහැරලා ඔහුව හොලවලා අවදි කලා. නහයට අත තියලා හුස්ම ගන්නවද කියලා බැලූවා.
දැන් ඔහු මිය ගිහිල්ලා. අදින් පස්සේ ඔහු කවදාවත් ගොරවන්නේ නැහැ කියලා දැනෙනකොට ඇතිවෙන වේදනාව මට දරාගන්න බැහැ. ආයේ කවද්ද මම ඒ සද්දේ අහන්නේ කියලා හිතෙනකොට මට මහ වේදනාවක් දැනෙනවා. හරියට හැමදේම හොරු අරගෙන ගිහිල්ලා වගේ......
ඉතින් මම ඔබට කියනවා අපි ආදරය කරන මිනිස්සුන්ගේ සමහර පුංචි පුංචි දුර්වලකම් එක කාලෙක දී අපිට මහ කරදරයක් වුණත් ඒ දුර්වලකම් මොන තරම් සුන්දර ද කියලා හිතෙන්නේ ඒ මිනිස්සු අපිට අහිමි වුණාමයි. සමහර විට අපිට තරහා යන ඒ සුන්දර දුර්වලකම් දවසක අපිට අපූරු මතකයක් වේවි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ඔවුන්ගේ පුංචි දුර්වලකම් වලට සමාව දෙන්න. ඒවාට ඉඩ දෙන්න. ඒ දුර්වලකම් සුන්දරව විදින්න. ඔබට මහ පුදුම සැහැල්ලූවක් අවසානෙදි දැනේවී..." කියා ඇය ඇගේ කතාව අවසාන කළා.
ඔබේ සැමියා පිඟාන සෝදන්නේ නැති වෙද්දි, තේ බිව්ව කෝප්පේ තිබ්බ තැනම තියලා යද්දි ඔබට එන කේන්තිය සාධාරණයි. ඒත් කවදාහරි දවසක ඒ කරදරකාරයා ඔබව දාලා යන්නම යන දවසට, හරියට මුලින් මම කිව්ව කතාවේ වගේ ඔබට ඒ දුර්වලකම් හරිම සුන්දර මතකයක් වේවි. හදිසියට කතා කළාට කවදාවත් හෙලෝ කියන්නේ නැති ඔබේ පෙම්වතාගේ අපූරු දුරකථනයට ‘‘කෝල් කළාම කතා කරන්න බැරිද’’ කියලා කේන්තියෙන් අහනවා වෙනුවට ‘‘ෆ්රී වුණාම ගන්නවද’’ කියලා අහන්න තරම් ඔබේ මනස දියුණු වුණොත් ඒ බැඳීම් මඟහැරුනත් ඔබට අපුරු මතකයන් ඉතිරි වේවි. ඔහුටත් ඔබ වැනි ඉවසිලිමත් කාන්තාවක් මඟහැරුනු එක ගැන යම් වේදනාවක් දවසක දැනේවි.
ඒවා දුර්වලකම් නෙවෙයි. අවස්ථාවන් පමණයි. අපි ප්රාර්ථනා කරන සර්ව සාධාරණ ලෝකය අපිට නොලැබුණත් ලැබෙන ලෝකය ඇතුලේ අපිට සතුට හොයාගන්න පුළුවන් නම් සාර්ථක වෙන එක මහ ලොකු රාජකාරියක් නෙවෙයි. හැමදාම කෑ ගහලා රණ්ඩු වෙලා ඔබේ සතුටත් පවුලේ සතුටත් නැති කරගෙන ජීවිතය නීරස කරගන්නවාට වඩා ඒ පුංචි දුර්වලකම් සතුටින් විදීම ඔබේ ජීවිතය සුන්දර කරාවි. හැමදාම කුස්සියට වෙලා තරහට වගේ එකම දේවල් උයනවාට වඩා විවිධ විවිධ කෑම හදමින් සැමියා සතුටින් තියමින් හොඳ බිරිඳක් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි.
ගැහැණුකමත් එක්ක උරුම වෙන සමහර දේවල් දුර්වලකම් නෙවෙයි. ඒ දේවල් හරිම සුන්දරයි.... මොකද හැම ගැහැණියක්ම වොන්ඩර් වුමන් කෙනෙක්.. අපි අලුතෙන් හිතමු....
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.