"උඹ එදා ඉදන්ම මට කරේ බොරු. මාත් එක්ක යාළු වෙලා ඉන්දෙද්දිත් අරූ එක්ක රට
වටේ ගියා නේද තෝ? දැන් ආපහු අරූ එක්ක කෝල් කරනව නේද බැල්ලියේ.උඹ මාත් එක්ක
ඇරෙන්න තව කීදෙනෙක් එක්ක නිදාගත්තද කියපං. මේ දරුව වත් මගේද කියපං."
ඉදිමී ලේ කැටි ගැසී තිබූ පහුරු ගසනවා සේ දැනුණු තොල් දෙකෙන් ලද වේදනාවන්ද
තැලී ඉදිමී තිබූ මුහුණින් හා පා පහරවල් හා පටි පහරවල් වලින් ඇඟේ තැන තැන
තිබූ සීරීම්ද තැලීම්ද වලින් ලද අප්‍රමාණ වේදනාවන්ට වඩා ඇගේ හදවත කැබැලි වී
ඇඹරී යනවා සේ දැනුණු වේදනාව මේඝා හට දරාගත නොහැකි විය.
ඈ සිය කිරිකැටි පුතුගේ මුවෙහි සිය තන පුඩුව අපහසුවෙන් රුවා මුහුණ කොට්ටයේ හොවා හැඬුවාය.
සැබැවින්ම මේඝා සිය සැමියා වූ මිහිරගේ ප්‍රශ්න කිසිවකට පිළිතුරු නොදුන්නේ
නැවත නැවතත් එකම පිළිතුරු සපයා ඈ හට උරුම වූයේ වෙහෙස හා තම ජීවිතය කෙරෙහිම
වූ කළකිරීම නිසාවෙනි.
"පොඩි නෝනා, හාමු නෝනා කතා කළා." නිවසෙහි මෙහෙකාරිය වූ සෝමා පැමිණ මේඝාට පැවසුවාය.
"හ්ම්ම්" යැයි කෙඳිරිල්ලක් නැඟූ මේඝා තවදුරටත් මුහුණ කොට්ටයෙහි හොවා හඬමින් සිය පුතු හට කිරි දුන්නාය.
මේ වන විටද සුවබර නින්දක පසුවූ සිය සයමස් බිළිඳා දෙස මොහොතක් බලාසිටි
මේඝා පුතුව තුරුළට ගෙන ඔහුගේ හිස මත හාදුවක් තැබුවේ කැබලි වී ඇඹරී ගොස් ඇති
සිය හදවත අතරින් දාරක ස්නේහය යන සිසිල් දිය දහරින් ලද මද අස්වැසිල්ලෙනි.
පසුව ඇය පුතුව තොටුල්ලේ තබා සිය නැන්දම්මා කරා ගියාය.
" අම්මා මට කතා කලාද? " කකුල පිට කකුල දමා රැජිනක් සේ පුටුවක වාඩි වී සිටි
සිය නැන්දම්මා කෙරෙන් සිය ඉදිමී තිබූ මුහුණ සඟවමින් මේඝා පැවසුවාය.
"හ්ම්ම් ආවද? මෙතනින් වාඩි වෙන්නකෝ" මේඝා සිය නැන්දම්මා පෙන්වූ පුටුව මත වාඩි වූවාය.
"මොකද්ද දැන් සිද්ධ වෙන්නෙ මේ? පුතාගෙ සතුට ගැන හිතල ඔය දෙන්නට බඳින්න
දුන්නේ එයා ජීවිත කාලෙම සතුටින් ඉන්න ඕනෙ කියල හිතල. ඒත් දැන් එහෙම එකක්
පේන්න නෑ. ඔය දෙන්න කොයිවෙලෙත් රණ්ඩු වුනු ගමන්මයි. ඔහොම පුළුවන් ද ළමයෝ
පවුල් කන්න? අනික දැන් ඔයාල දෙමව්පියෝ. වගකීමෙන් වැඩ කරන්න ඕනෙ. ඔයාලගෙ
ප්‍රශ්න වලට ඇඟිලිගහන්න හදනව නෙවෙයි.ඒත් මං කියන්නෙ ඔයාලගේ අනාගතේ ගැන
හිතල. පිරිමියෙක්ව සතුටින් තියන්න පුළුවන් ගෑනියෙක්ට විතරයි. ඔයා තමයි
ළමයෝ පවුලේ වැඩි වගකීම ගන්න ඕනෙ. තේරුණාද?"
මේඝා බිම බලාගෙන හිස සෙලෙව්වා මිස හිස ඔසවා සිය නැන්දම්මා දෙස නොබැලුවාය.
"හ්ම් ඔයා ඔළුව හොළව හොළව ඉන්නවා. පුතාගෙන් ඇහුවට මුකුත් කියන්නෙත් නෑ.
හ්ම් ගිහින් දරුවට කිරි දෙන්න ." නැන්දම්මා වේගෙන් පත්තර ගසා නැවත එය
අමනාපයෙන් මෙන් බැලුවාය.
මේඝා නැවත කාමරයට යෑමට සැරසුණා පමණි.
"හත්දෙවියනේ මොකද ළමයෝ මේ මූණෙ හැටි?" නැන්දම්මා මහත් සේ වික්ෂිප්ත වී සිටියේ ඉදි මී දම් වී තිබූ මේඝාගේ මුහුණ දැකීමෙන් ය.
මේඝා මවාගත් මදසිනහාවක් තම නැන්දනිය වෙත හෙළා සිය කාමරය වෙත වේගවත් ගමනින්
ගිය අතර නැන්දම්මා හයාගත් මුහුණින් යුතුව ඈ දෙස බලා සිටියාය.
නැවත පුතුව තම තුරුළට ගත් ඈ නිදාහුන් පුතු දෙස බැලූයේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය.
මේඝා පුතුව සිය පපුවට තුරුළු කරගනිමින් ඉකිබිඳින්නට වූයේ වාවගත නොහැකිව හදවතෙහි තෙරෙපිමින් තිබූ ශෝකය කඳුළු වල දියකර හරිමිනි.
මිහිර යනු මේඝාගේ ප්‍රථම ආදරය විය. ඔවුනොවුන් බොහෝ සෙයින් ප්‍රේමයෙන් වෙලී
සිටියද කාලයාගේ ඇවෑමෙන් මිහිරගේ හා මේඝාගේ ආදරයේ පළුදු වීම් ඉරිතැලීම් හා
හිඩැස් රාශියක් මතුවිය.
සහජයෙන්ම දැඩි සේ ආදරයට ආදරය කළ මේඝාගේ
හදවත මේ හේතුවෙන් බොහෝ සෙයින් රිදිනි. එහෙයින්ම ඇගේ හදවතට තනිකම හා පාළුව
දරා ගැනීමට නොහැකි විය. මේ හේතුව නිසාවෙන්ම ඈ සමාජජාල වෙබ් අඩවි වල නිතර
සැරිසරන්නට වූ අතර මිනිසුන් සමඟ ඉක්මන් බැඳීම් ඇති කරගැනීමට අතිශයින් දක්ෂ
වූ ඕ හට ඉක්මනින් මිතුරු මිතුරියන් රාශියක් සාදා ගැනීමට හැකි විය. තරමක
පැහැපත් තරුණියක් වූ මේඝා සතුව ස්ත්‍රියකට තිබිය යුතු සියලුම නාරි ලක්ෂණයන්
අඩුවක් නොමැතිව පිහිටා තිබුණි. මේ හෙයින්ම ඇගේ අත පතා පැමිණි තරුණයන්
අඩුවක් නොමැති වූ අතර මිහිරට සැබැවින්ම ආදරය කළ හෙයින්ම ඇය ඒ සියල්ල ඉවත
හෙළුවාය. නමුත් වෙනස් වන කිසිවක් නැත යන්න පසක් කරමින් , මිහිරගේ ආදරයෙන්
ලද අඩු ලුහුඬුකම් හමුවේ ඇයගේ හදවතද කෙමෙන් වෙනස් වන්නට පටන් ගෙන තිබුණි.
එබැවින් පෙම්වතුන් ගණනනාවක් මේඝාගේ තාවකාලික පෙම්වතුන් බවට පත් විය. නමුත්
විටින් විටේ කරළියට පැමිණෙනා මිහිරගේ ආදරය හේතුවෙන් බොහෝ සෙයින් චංචල
මේඝාගේ හදවත දින කිහිපයකින්, මාස කිහිපයකින් ඒ හැම ආදර අන්දරයක්ම අවසන්
කළාය.
නමුත් එලෙස අවසන් කිරීමට නොහැකිව හදවතේ පැළපදියම් වූ අනෙක්
ආදරය නම් පැතුම් ය.මේඝාට වඩා වසර හතක් පමණ වැඩිමහලු වූ පැතුම්ගේ සියුමැලි
මෙන්ම දරදඬු ආදරය හමුවේ ඈ අතරමං වන්නට වූයේ විටෙක් මිහිර කෙරෙහි වූ හැඟුම්
පරයමින් ඇගේ හදවතට පැතුම්ව දැනෙන්නට වූ හෙයිනි.
නමුත් මේඝා, මිහිරව
අමතක කිරීමට හෝ අතහැරීමට කිසිසේත් සූදානමක් නොවුණි. අවුරුදු ගණනාවක් වූ
මිහිරගේ ආදරය , මාස ගණනාවක් වූ පැතුම්ගේ ආදරය පරයා නැඟී සිටීමට නොහැකි වූයේ
මිහිරව ඇසුරු කල කාලය දිගු වීමට වඩා මිහිර මේඝාගේ ප්‍රථම ආදරය වූ බැවින්
විය හැක.
මේඝා පැතුම් හට , මිහිර පිළිබඳව සියලු තතු පැවසුවද ඔහු
මේඝාව අමතක කිරීමට කිසිඳු සූදානමක් නොතිබුනද මිහිරගේ හා මේඝා ගේ ආදරයටද
කිසිඳු බලපෑමක් නොකළේය.
විටෙන් විටේ මේඝාගේ හදවත පැතුම්ව පැතුවද අවසානයේ ඈ පැතුම්ව පැතුමක්ම බවට පත්කර මිහිර සමඟ විවාහ වූවාය.
තම ව්‍යාපාරික කටයුතු සමඟ මිහිර දැඩි සේ කාර්‍යබහුල වුවද ඔහු මේඝා සමඟ
දිනයේ කිසියම් හෝ වේලාවක් ගතකිරීමට වෙන් කරගත්තේ මේඝාගේ දැඩි ඇවිටිල්ල
නිසාවෙනි.
තම හදවත කෙරෙහි කිසිඳු විශ්වාසයක් නොතිබූ ඇය අතීතය
අතීතයටම භාරකොට වර්තමානයේ ජීවත් වීමට දැඩි සේ යත්න දැරුවාය. නමුදු සියල්ල
වෙනස් වූයේ මිහිරද මේඝාද සහභාගී වූ ව්‍යාපාරික සාදයේදී මේඝා හට පැතුම්ව
හමු වීමෙනි. වසර කිහිපයක්ම කතාබහක් නොකළද පැතුම් කෙරෙහි වූ හැඟූම්
හුනස්නෙන් නැඟී සිටිමින් ඇයගේ හදවතේ පෙරෙළිකරන්නට පටන් ගෙන තිබුණි. මේඝා එම
හැඟුම් ආයාසයෙන් මැඩගනු ලැබූයේ තම කිරිකැටි පුතු දෙස බලා තමා විහින්ම තම
සිත රවටා ගනිමිනි.
පැතුම් මිහිරගේ ව්‍යාපාරික සඟයෙකු වූ අතර ඒ මිතුරු දමින්ම ඔහු වෙනස් කර තිබූ මේඝාගේ දුරකතන අංකය ඉල්ලා ගනු ලැබුවේය.
පැතුම් විටින් විට දුරකතන ඇමතුම් ගනු ලැබූවද මේඝා ඒ කිසිවකට ප්‍රතිචාර
නොදැක් වූයේ තවදුරටත් තම ස්වාමියාව රැවටීමට බිරිඳක් ලෙසද මවක් ලෙසද ඈ හට
නොහැකි වූ නිසාවෙනි. එබැවින් දින දින මේඝා හට මානසික වදයක් වූ පැතුම්
පිළිබඳව සියලු තතු මිහිර ඉදිරියේ පාපොච්චාරණය කිරීමට මේඝා සිතුවේ ඉන්
අනතුරුව මිහිරගේ හැසිරීම කෙලෙස දැයි ඔහු සමඟ විසීමෙන් ලද අත්දැකීම්
දැනගෙනමය.
ඇය සිතූ ලෙසකම මිහිර කිපුණු මෘගයෙකු සේ හැසිරීමට පටන් ගත්
අතර මේඝා කළ සෑම ක්‍රියාවකම කුමන හෝ අඩුපාඩුවක් දුටු ඔහු කාලය ගතකළේ ඈ
කෙරෙහි වූ සැකයෙන්මය. එසේම මිහිර දැඩි සේ මත්පැන් පානය කරන්නෙකු බවටද දින
කිහිපයක් ඇතුළත පත් වූයේ ඔහු කෙරෙහි වූ අමනුෂ්‍ය ගති තව තවත් වැඩි කරමිනි.
"පොඩි නෝනා බේබිගේ මිදි ජූස් එක හදාගෙන ගේන්නද? " ඇඳ විට්ටමට හේත්තු වී
සිය බිලිඳාව තුරුළු කරගෙන ඉකිබිඳිමින් උන් මේඝා ගෙන් සෝමා විමසුවාය.
" එපා සෝමනැන්දේ. මන් හදන්නම්. " මේඝා ඇඳ විට්ටමට බරකර හුන් හිස මදක් ඔසවමින් පැවසුවාය.
දිනෙන් දින මේඝාගේ මුහුණ පුරා පැතිරෙනා දම් පැහැති ප්‍රදේශ වැඩි බව දුටු සෝමාහට නොදැනීම හීල්ලිනි.
තම පුතුගේ වැඩරාජකාරී කරමින් තමා විහින්ම නිවාස අඩස්සියට සිර වූ මේඝා තම
හැඟීම් පාලනය කරගනු නොහැකි වස් තමා අතින් සිදු වූ සමාජ සම්මතයෙන් පිටස්තරව
සිදුකළ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමටද කිසිඳු වෙහෙසක් නොගත්තාය.
තම
පුතුට කිරි පොවමින්ද ඔහුගේ සුරතල් මුහුණ ද සිඟිති සිනහවෙන්ද මොහොතකට
සුවපත් වෙන සිත නැවත කබොළු ගැලවී පෑරී රුධිරය ගැලීමට පටන් ගනුයේ මිහිර හා
ඇගේ අතීතය මතක් වීය.
මධ්‍යම රාත්‍රියට ආසන්න වී පැවතියද මිහිර නිවසට
පැමිණියේ නැත. මේඝා දුරකතන ඇමතුම් රාශියක් ගනු ලැබූවද මිහිරගෙන් කිසිඳු
ප්‍රතිචාරයක් නොමැති විය. තුවාල වූ සිය හදවත ගිනි පෙරෙල්ළකින් පුළුස්සනවා
සේ ඈ හට දැනෙන්නට වූ අතර හදවත වසාගත් විශාල බියකින් ඕ පෙළෙන්නට වූවාය.
එකවරම ගේට්ටුව විවර වන ශබ්දයට ඕ ගේට්ටුව දෙසට දිව ගියාය. ඈ කිසිසේත්
දැකීමට නොපැතූ දර්ශනයක් ඈ ඉදිරිපිට පෙනී සිටියේය. එකෙනෙහිම නැන්දම්මාද
ගේට්ටුව අසළට පැමිණියාය.
"දෙවියනේ මේ දරුවා කෙලින් හිටගන්නවත් බැරි වෙන්න බීලනේ."
දෑස් විසල් කොට නැන්දම්මා පැවසූයේ පැතුම්ගේ කරමතින් කටගොන්නක් බී පැමිණෙනා මිහිර දැකීමෙනි.
නමුත් මේඝා කිසිවක් නොපවසා ගල්ගැසී බලා සිටියාය.
"ළමයෝ ඇවිත් පුතාව කාමරේට එක්ක යන්න." නැන්දම්මා මේඝා දෙස බලා පැවසුවාය.
මේඝා බිම බලාගෙනම ගොස් මිහිරව සිය උරහිසට වත්තම් කරගත්තාය. නමුත් ඈ පැතුම්ගේ මුහුණ දෙස හෝ නොබැලුවාය.
"මේ ළමයා කවුද? " නැන්දම්මා පැතුම්ගෙන් අසනවා මේඝාට ඇසිණි. ඇගේ හදවත
වේගයෙන් ගැහෙන්න වූ අතර ඇඟ පුරා සියුම් විදුලියක් ගලායනවා සේ දැනුණි.
"ආ මන් පැතුම්. මිහිරගේ යාළුවෙක්. මන් මඟ එද්දි මිහිරගේ කාර් එක පාරේ
නවත්තල තිබුණා.මන් ගිහින් බලද්දී දැක්කේ මිහිර ඩ්‍රයිවින් සීට් එකේම නින්ද
ගිහින්. ඉතින් මන් එයාව ගෙදර එක්ක ආවා. එහෙනම් මම ගිහින් එන්නම්."
" මේ එළි වෙන යාමේ පුතා මොකක් හරි වැඩකට ගිහින් එන ගමන්ද?"
" ආ ඔව් අම්මා මේ පොඩි බිස්නස් වැඩක් තිබුණා. දැන් හොටෙල් එකට යන්න ඕනේ . මන් ගිහින් එන්නම් එහෙනම්."
"ආ පුතා හොටෙල් එකකද නවතින්නෙ? එහෙනම් අද රෑ අපේ ගෙදර ඉන්න. වැඩත් එක්ක ඔයාටත් මහන්සි ඇතිනේ ඩ්‍රයිව් කරල."
" ආ ඒකට කමක් නෑ අම්මා මන් යන්නම්. ගොඩක් ස්තූතී කතා කළාට."
" නෑ නෑ දරුවෝ පුතත් බනි මට යාලුවට යන්න දුන්නා කියල ඔයා එන්න අද මෙහේ නවතින්න."
මේඝාගේ හදවත සිදු වූ අහඹුවෙන් යළි දැවෙන්නට විය. සිය නැන්දම්මාගේ හා
පැතුම්ගේ සංවාදයට සවන් දෙමින් සිය කාමරය වෙත පිය නැඟූ ඈ පැතූයේ පැතුම්
නිවසේ නතර නොවන්නට කියාය. නමුත් සිදු වූයේ අනෙකකි. දෛවය මේ තරම් තමාට දුක්
දෙන්නේ කිමදැයි විමසමින් දැඩි සේ මත්පැන් දුගඳ වහනය වන මිහිරවද කැටුව
කාමරයට අල්ලා සැදූ අංගසම්පූර්ණ නානකාමරය වෙත ගියාය.
එතරම්
සිහිකල්පනාවක් නොතිබූ මිහිර මතින්ම මොන මොනවදෝ කොඳුරමින් සිටියේය. නානබේසම
මත අපහසුවෙන් මිහිරව වාඩි කරවා දෙහි බෑයක් ගෙන ඒම සඳහා මේඝා කුස්සිය වෙත
පිය නැඟුවාය.
"මේඝා." පැමිණි කටහඬින් ඇගේ දෙපා අප්‍රාණිකව යනවා දැනුනද ඈ නෑසුනාක් මෙන් කුස්සිය වෙත පිය නැඟුවාය.
"මේඝා මන් ඔයාට කතා කළේ." මේඝාගේ උරහිසින් අල්ලමින් පැතුම් ඇයව නතර කිරීමට යත්න දැරුවේය.
" මේ අහන්න මට මගේ පාඩුවේ ඉන්න දෙන්න." හඬබාල කර දැඩි කෝපයක් මවාගෙන මේඝා පැවසුවාය.
"ඔයාට ඔහොම දුක් විඳින්න නෙවෙයි මම ඔයාව අතැරියේ. බලන්න ඔයාගෙ මූණෙ හැටි"
මේඝාගේ ඇතුළාන්තයෙන් හඬා වැටෙනවා සේ දැනෙන්නට වූ අතර ඇගේ හදවතට ක්ෂණික කෝපයක් පහළ විය..
" ඇයි දුකයිද? මේ හැමදේටම හේතුව ඔයා. මන් දුකින් ඉන්නව නම් ඉන්න එකම හේතුව
ඔයා. ඒක මතක තියාගන්න. " ඈ කුස්සියට ගොස් දෙහි බෑයක් ගෙන නැවත නානකාමරය
වෙත ගියාය. ඈ නාන කාමරය අසළ බිම ඇද වැටී හැඬුවාය. මේ නම් කිනම්
අසාධාරණයක්ද? සත්තකින්ම පැතුම්ගේ අතේ කිසිඳු වරදක් නොමැති බව ඈ හොඳින්ම දැන
සිටියාය. තමා හඬා වැටෙනුයේ කුමන කරුණක් නිසා දැයිද ඇයට වැටහීමක් නොමැති
විය.
පසුව ඈ නානකාමරය තුළට යන විටද මිහිර හට නාන බේසම තුලම නින්ද
ගොස් තිබුණි. සිය ස්වාමියා දුටු මේඝාගේ හදවත නැවත සැලෙන්නට විය. ඈ ගොස්
මිහිරගේ හිසෙහි දෙහි බෑය අතුල්ලන්නට වූවාය.
"ම්ම්..ම්ම්..ඇයි මෙහෙම කලේ මට…" මේඝා දෙහි බෑය ඇතිල්ලීම පසෙකින් තබා මිහිරගේ මිමිණීමට කන් දෙන්නට වූවාය.
" මන් කොච්චර ආදරේ කරාද? මොන අඩුවක් කරාටද ඔයා මෙහෙම කලේ මට." මේඝා මුව තදකරගෙන හඬා වැටෙන්නට වූවාය.
"ඌ..උගෙන් මොනවද මට වඩා හොඳ උනේ? මටම මෙහෙම කරා ඔයා.ඇයි..ඇයි.." මිහිරද හඬා වැටෙන්නට විය.
මේඝාද නාන බේසම අසළ වැටී හඬා වැටෙන්නට වූවාය.
"මට මෙච්චර ලොකු බොරුවක් කරා නේද උඹ මේඝා. මන් උඹට ගහනකොට මන් මාවම
මරාගන්නව වගේ දැනෙනවා උඹ ඒක දන්නවද? උඹට මොනවද නොකළෙ මම? මටම උඹ එහෙම කරා.
වැඩක් නෑ. ජීවත් වෙලා වැඩක් නෑ. මාව ඔහොමම මරපං මේඝා.."
මිහිර හඬමින්ම කෑ ගසන්නට වූවේය.
මේඝා මිහිර බදාගනිමින් හඬන්නට වූ අතර මිහිර ඇගේ ඇඟේම වමනය කළේය.
පසුව මේඝා හඬමින්ම මිහිරවද නහවා ඇයද ඇඟ සෝදාගෙන මිහිරගේ ඇඳුම් මාරු කර
ඔහුම ඇඳමත හාන්සි කළාය. ඒ වන විටත් මිහිර මොන මොනවදෝ කියමින් සිටියේය.
මේඝා තම පුතු නිදාහුන් තොටිල්ල අසළට ගොස් ඔහුව තුරළට ගෙන කිරි දුන්නාය.
ඉන්පසු මොහොතක් ඔහු දෙස බලාසිටි අතර පසුව මිහිර අසළට ගොස් ඔහුගේ හිසමත
හාදුවක් තැබුවාය.
පසුව ඈ කාමරයේ වූ මිහිරගේ වැදගත් ලියකියවිලි තබා
තිබු මේසය අසළට ගොස් කොළ කැබැල්ලක් ගෙන යමක් සටහන් කළාය. අනතුරුව ඈ පැතුම්
නිදාහුන් කාමරය අසළට ගොස් දොර දෙස මොහොතක් බලා හිඳ කුස්සිය දෙසට පිය
නැඟුවාය.
*********************************************
උදෑසන අවදි වූ මිහිරගේ හිස දැඩි සේ රිදුම් දෙන්නට වූ අතර ඔහු නැඟිට කාමරය
පුරා බැල්මක් හෙළුවද ඔහු හට මේඝා සොයා ගැනීමට නොහැකි විය. පසුව ඔහු සිය
පුතු නිදාහුන් තොටිල්ල අසළට ගොස් බැලූ විට පුතු ඒ වන විටද සුවබර නින්දක පසු
විය. අනතුරුව ඔහු මේසය අසළට යන විට මේසය මත වූ මේඝා සටහන් කළ කොළ කැබැල්ල
අතට ගත්තේය.
" මගේ මිහිර වෙත ලියමි,
මම වැරදිකාරියෙක් බව මම
පිළිගන්නම් වස්තුව. ඒ වගේම ඒ මම වැරදිකාරියෙක් වෙන්න ඔයත් හේතු උනා. ඔයාගේ
පුංචි වෙනසත් දරාගන්න බැරුව අසරණ උනු නිසයි මන් තව හිතකට ළං වෙන්න ඇත්තේ.
ඒත් ඒක සමාවදෙන්න තරම් හේතුවක් නොවෙන්න ඇති. ඒත් මම ඔයාට ආදරේ කරා මේ ලෝකේ
හැමදේටම වඩා. සිද්ද වුණු හැමදෙයක්ම ඔයාට නොකිය ඉන්න මට තිබුණා. ඒත් මන් ඒ
දේවල් ඔයාය කිව්වේ මමම ඔයාව රවට්ටනව කියල මගේ හිත ඔයාට කියපු නිසා. ඒත්
ඒකෙන් උනේ ඔයා තව තවත් මන් ගැන වැරදියට හිතපු එක. මන් ඒ දේ අද වෙනකම් ඔයාට
නොකිය හිටිය නම් අද වෙනකම්ම ඔයා සතුටින් ඉඳී. මන් විඳව විඳව හරි සතුටු වෙයි
ඔයා එක්ක. ඒත් දවසක ඔයා මේ දේවල් වෙන ක්‍රමේකින් හරි දැනගත්තත් එදාට මීට
වඩා දේවල් සිද්දවෙයි. මන් දන්නව ඔයාට තියෙන්නෙ සමාව දෙන්න බැරි තරම් තද
හිතක් වගේම මටයි අපේ පුතාටයි ලෝකයක් එක්ක හැප්පෙන්න පුළුවන් තරම් ආදරණීය
වගේම ශක්තිමත් හිතක් කියල.
මේකත් මතක තියාගන්න මගෙ මහත්තයෝ මේ ලෝකේ හරි කියල වත් වැරදි කියලවත් මිනිස්සු නෑ. මන් මැරුණට පස්සෙවත් මට සමාවදෙන්න .
තෙරුවන් සරණයි!"
මිහිර අන්දුන්කුන්දුන් වූවෙකු මෙන් ලියුම දෙස බලාගත් වනම බලා සිටියේය.
එකවරම කාමරයේ දොර විවෘත වූ අතර එය ඉදිරිපිට දෑස් රතු වී තෙත් වූ කම්මුල්
සහිතව පැතුම් හිටගෙන සිටියේය.
"මිහිර , මේඝා අපේ..මේඝා..සූ සයිඩ් කරගෙන…
අපේ..මේඝා..සූ සයිඩ් කරගෙන
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.