නොපැරදුනු දෛවය

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

~~නොපැරදුනු දෛවය~~
.තෝන්තුවෙන් මෙන් තම කාමරයට පැමිණි නෙල්‍යා ආ හැටියටම ඇඳ මතට වැටුනාය.වුනේ කුමක්දැයි තාමත් ඇයට සිහිනයක් මෙනි. කොට්ටයට මූන තද කර දෑස් පියාගත් ඇයට ඩෙරික්ගේ ඒ සුඛෝපභෝගී කාර්‍යාල කාමරය නැවතත් තම දෑස් ඉදිරියේ මැවෙන්නට විය. තම ජීවිත කාලයටම ඇසූ දරුණුම වදන් පෙළ නැවත නැවතත් තම දෙසවන් තුල දෝංකාර දෙනවා මෙන් දැනෙද්දී මෙතෙක් වෙලා ආයාසයෙන් සඟවා ගෙන සිටි කඳුලු වැල් තරඟයට මෙන් ඒ අහිංසක දෑස් වලි ගිලිහිනි.
........................................................
"මේ..."
"ම්ම්..."
"දැන් ඔයාගෙ රිසර්ච් ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ වුණාම කාගෙ මතකෙද මුලින්ම නැති කරන්නේ......"
"මුලින්ම නේද...ම්ම්ම්....මුලින්ම කරන්නෙ ඉතිං ඔයා පස්සෙන් එන සේරම කෙල්ලොන්ගෙ මතකෙන් ඔයාව අයින් කරන එක තමයි...."
"අම්මෝ....ඊරිසියාකාරි..."
"එහෙම තමයි..ශෝන් මගෙ විතරයි..."
නිරායාසයෙන්ම ඒ සොඳුරු අතීතය සිහිවීමෙන් සිදුවුනේ ඇගේ කඳුලු වලට නැවතත් නව පණක් ලැබීම පමණයි.
ශෝන්...විශ්ව විද්‍යාලයේ සිටි කඩවසම්ම තරුණයෙක්. ඩෙරික් නැමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම පුතු වූ ඔහුට රූපයෙන් පමණක් නොව ධනවත් කම මෙන්ම සමාජ තත්වය අතින්ද විශ්ව විද්‍යාලයේ අනිත් සිසුන් අතරින් හිමිව තිබුනේ ප්‍රබල ස්ථානයකි. ඒ නිසාමදෝ ඔහු අවට සිටි සුරූපී සුකුමාල තරුණියන්ගේ නෙත් බැලුම් නොඅඩුව ලැබුනද ඔහුගේ හිත නැවතුනේ සාමාන්‍ය පවුලක අහිංසක තරුණියක් වූ නෙල්‍යා ළඟයි. එහෙත් ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් පසුව වුවද නෙල්‍යාට ඊරිසියාකාරියන් වැඩිවූවා මිස ශෝන්ට ඇති ප්‍රතිචාරනම් කිසි විටකත් අඩු වූයේ නැත.
නෙල්‍යා....සාමාන්‍ය පවුලක සාමාන්‍ය යුවතියක් වුනත් විශ්ව විද්‍යාලය තුළ කැපී පෙනුනු ශිෂ්‍යාවකි. වේදනාකාරි මතක ඉවත්කිරීම්...(painful memory erasing) ඔව් විසිදෙවන සියවසේ ආන්දෝලනාත්මක මාතෘකාව...ලොව පුරා සෑම රටකම විද්‍යාඥයන් යුහුසුළුව පරීක්ෂණ කරන අත්හදාබැලීම් කරන මේ මාතෘකාව තමයි ඇයගේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා පාදක වුනෙත්.
තම ව්‍යාපෘතියේ අරමුණ ශෝන්ට බැල්ම දාන කෙල්ලන්ගෙන් ශෝන් ගැන මතකය නැති කිරීම බව ඇය බොහෝ අවස්ථා වලදී ශෝන්ව ඇවිස්සීමේ අරමුණින් විහිලුවට කීවත් එය තමාටම සිදුවේ යැයි ඇය කිසි දිනකත් විහිලුවටවත් සිතුවේ නැත.
.............................................................
ඩෙරික්....තම රට තුළ පමණක් නොව දේශ දේශාන්තරයේ නම් දැරූ දැවැන්ත ව්‍යාපරුකයෙකු වූ ඔහුට තම පුතුගේ අනාගත සහකාරිය ලෙස සාමාන්‍ය තරුණියක් බන්දා දීමට කිසිදු අවශ්‍යතාවක් තිබුනේ නැත.
ඩෙරික්ගේ පැලැන්තියේ වූ කෝටිපති සගයන් අතර තම පුතුට හැම අතින්ම ගැළපෙන රූමත් ධනවත් කෙල්ලන් ඕන තරම් සිටි අතර ඔවුන් බොහෝමයක් තම කඩවසම් පුත්‍රයා ගැන සැලකිලිමත් බවද ඔහු හොඳින්ම දැන සිටියේය.
නමුත් ශෝන් තම අනාගත සහකාරිය ලෙස නෙල්‍යා වන් තරුණියක් තෝරාගෙන තිබීමනම් ඩෙරික්ට දරුණු ගැටලුවක් විය. නමුත් අන් අය මෙන් නොව තම පුතුට විරුද්ධත්වය පා මේ සම්බන්ධය නැවැත්වීම කිසිවිටකත් කල නොහැක.මන්ද් යත් ඔහි තමන්ගේම පුතාය. තමා වන්ම හිතුවක්කාරයෙකි. එනම් කලයුත්තේ යාප්පුවෙන් ගත යුතු පියවර ගැනීමයි.
"හ්ම්ම්....පුතාගෙ සතුට තමයි මගෙත් සතුට..ඒ ළමයට ඇවිත් මාව හම්බෙන්න කියන්නකෝ...."
ශෝන් තම පෙම්වතිය ගැන පියාට පැවසූ විට ඩෙරික්ගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. මෙතෙක් කල් ශෝන්ගේ පවුලෙන් තමන්ට ලැබෙන ප්‍රතිචාරය ගැන චකිතයෙන් පසුවූ නෙල්‍යාට මෙය ඇසීමත් සමඟ දැනුනේ පුදුමතරම් සැහැල්ලුවකි.
ඉතිං ඇය අද තම අනාගත මාමණ්ඩිය ඩෙරික් හමුවීමට ඔහුගේ ප්‍රධාන කාර්යාලය වෙත ගියේද ඒ සැහැල්ලුව සමඟිනි. "ගුඩ් මෝනින් අන්කල්...." කොහොමත් ලස්සන ඇගේ හිනාවෙන් මුව පුරවාගෙන ඇය ඩෙරික් ඉදිරියට ගියාය.
නමුත් තම වැඩය මදකට හෝ නොනවත්වා උපැස් යුවල අතරින් ඇස් උස්සා බැලූ ඩෙරික්ගේ පළමු බැල්මෙන්ම ඇගේ සැහැල්ලුව නැතිව ගියාය.
එහෙත් ඊළඟ මොහොතේ අත් දෙකත් බැඳගෙන පුටුවට හොඳින් හේත්තු වූ ඩෙරික් "රාජකාරි වෙලාවෙදි මං කිසිම නෑදෑකමක් පවත්වාගන්නෙ නෑ වගේම මගෙ තත්වෙට නොගැළපෙන අය එක්ක මං කිසිම දවසක සම්බන්ධතාවක් ඇති කරගන්නෙ නෑ..මුලින්ම ඒක තේරුම් ගත්තොත් ඒක අපි දෙන්නටම ලේසි වෙයි..."
ඇත්තෙන්ම ඔහුගේ පළමු වදන් පෙළ හමුවේම ඇය තිගැස්සුනි. දෙවියනේ ඔහු මේ අදහස් කලේ මාවත් මේ පවුලට නොගැලපෙන බවද? ඇයගේ මුහුනේ හැඟීම ඔහි හඳුනාගන්නට ඇත. තම අසුනෙන් නැගිටගත් ඔහු නෙල්‍යා ඉදිරියටම පැමිණ හිටගත්තේය
"හ්ම්ම්...ඔව් මං හිතන්නෙ ඔයා හිතන දේ හරියටම හරි...මං කියපු දේට ඔයා වුණත් ඇතුළත්..." දැඩි නොවූ නමුත් ඒ කුරිරු වදන් ඇයව තව තවත් අසරණ කලේය.
නෙල්‍යා දෙස බලාගෙනම තම මේසයට හේත්තු වූ ඔහු නැවත තම කතාව ඇරඹුවේය.
"මට ඔය වැල්වටාරම් පුරුදු නැති නිසා මං කෙලින්ම කාරණාවට එන්නම්කෝ..ශෝන් කියන්නෙ ඩෙරික් සමූහ ව්‍යාපාරයෙ එකම අනාගත උරුමක්කාරයා..කොහෙත්ම සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. ඉතිං එයාට සාමාන්‍ය පවුලක නිකම්ම නිකම් කෙල්ලෙක් බඳින්න බෑ. එයාට බඳින්න ඕනෙ වුණත් මං ඒක වෙන්න දෙන්නෙත් නෑ.
"එ...එතකොට...." නෙල්‍යාට තවමත් කතා කරගත නොහැකිය. තමාට මෙතරම් අකමැතිනම් ඔහු තමන්ට කැමති බව ශෝන්ට පවසා තිබුනේ මන්ද?
"හෝව්...හෝව්...ක්ලබල වෙන්න ඕනෙ නෑ..." ඩෙරික් ඇයගේ මුහුණටම එබෙමින් පැවසීය.
"ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම මං පිළිවෙලට උත්තර දෙන්නම්. තමුන්ට තියෙන්නෙ හොඳකල්පනාවෙන් පැහැදිලිව අහන් ඉන්න විතරයි..තේරුණානෙ..."
"ම්ම්...මං මෙහෙම පටන් ගන්නම්කො..." ඔහු නෙල්‍යාව පසුකරමින් කාමරය පුරාම සක්මන් කරමින් කතා කරන්නට විය.
"මං මේ මඟුලට අකමැති වුණත් මගෙ පුතාට ඒක එහෙම කියන්න බෑනෙ. මොකද එයා මං වගේම මටත් වඩා හිතුවක්කරයි.මං කෙලින්ම මේකට විරුද්ධ වුනානම් මේ වෙනකොට ඔය දෙන්න පුතාගෙ තනි කැමැත්තට කසාද බැඳල තියෙයි...එහෙම වෙන්න දෙන්න බෑනෙ...මං ඉතිං ඒ නිසා පුතා ඉස්සරහ පොඩ්ඩක් රඟපෑවා.." ඔහු කතාව නවතා ඇය දෙස බැලීය. ඇය තාමත් කඳුලු පිරුණු නෙත් වලින් ඔහු දෙස බලාගෙනම සිටී. එහෙත් ඒ අහිංසක බැල්මට උණු වීමට තරම් මානුෂික හදවතක් ඩෙරික් ළඟ තිබුනේ නැත.
"ඉතිං කෙල්ලෙ ඔයාට කොහොමහරි ශෝන් ව අමතක කරන්නම වෙනව.." ඔහු කීවේ මුහුණට බැරෑරුම් පෙනුමක් එක් කරගනිමිනි.
"දෙයියනේ...මම කොහොමද එහෙම කරන්නේ....ශෝන්...එයා මගෙ ජීවිතේ....."
"ඔව් මං දන්නව ඔය බොළඳ විකාර ළමයින්ට එකපාර අමතක කරන්න අමාරුයි කියල...ඒකටත් මං ඔයාට උදව් කරන්න කැමතියි..."
එය ඇසූ ඇයගේ ඇස් වලට නැවතත් කුතුහලය පිරුණි.
"ඇත්තටම මම නෙමෙයි...ඩොක්ටර් ඩේවිඩ් පෝල් ලෑස්තියි ඔයාට උදව් කරන්න...."
"ඩොක්ටර් ඩේවිඩ්....." එම නමම නැවතත් ඇය ප්‍රතිරාවය කලේ තව තවත් කුතුහලය පිරුණු හඬකිනි.
" ඔව්...ඩේවිඩ්...මං හිතන්නෙ ඔයාට හොඳට හුරුපුරුදු කෙනෙක් වෙන්න ඕන. මොකද ඔයා ඔය හදාරන මතක මැකීම සංකල්පය ගෙනාවෙ එයා...ඒ ගැන වැඩිම පරීක්ෂණ කරපු කෙනා....ඉතිං ඔයාට අවස්ථව තියෙනවා එයාගෙ පළමු අත් හදා බැලීමට සහය වෙන්න .මොකද කියන්නෙ...ඉතිහාසගත වෙන්න පුලුවන් දෙයක් මේක..."
ඩෙරික් තමන්ගේ උපාය ආඩම්බරයෙන් විස්තර කරයි.දැන් ඇයට පැහැදිලිය. ඔහු තනන්නේ තමා තුළ ශෝන් පිළිබඳ ඇති සියලු මතක මකා දැමීමටයි..නමුත් තමන්ට එයට කැමති විය හැකිද...කැමති විය යුතුද...ඇයට තේරෙන්නේ නැත.
"මං අමතක කළත් ශෝන් මාව අමතක කරන එකක් නෑ.." ඇයට ඒ පිළිබඳ හොඳටම විශ්වාසය. එම නිසා ඇය නොබියව කතා කලාය. එහෙත් එයටත් ප්‍රතිචාර ලෙස ඩෙරික්ගෙන් ලැබුනේ සැහැල්ලු ඒත් උපහාසාත්මක හිනාවක් පමණි.
" ඔයා හිතනවද...මං එච්චර මෝඩයෙක් කියල ඔයාගෙ මතක විතරක් අයින් කරන්න. නෑ...එහෙම නෑ නෙල්‍යා...ඔයා මේකට අකමැති වුණත් හෙට දවල් 12 වෙද්දි ශෝන්ගෙ මතකේ නෙල්‍යා කියන කෙනෙක්ගෙ හෙවනැල්ලක්වත් නෑ...ඉතිං ඔයාට කෙසේ වෙතත් ශෝන් නම් අනිවාර්යයෙන්ම නෙට ඉඳන් ඔයාව මතක් කරන එක නෑ...ඒ විතරක් නෙමෙයි ඔයා එයාව මතක තියන් හිටිය කියල කිසිම වැඩක් වෙන එකක් නෑ..මොකද හෙටින් පස්සෙ ඔයාට එයා ළඟට ළං වෙන්න පුලුවන් විදියෙ අල්පෙන්ති තුඩක ඉඩක්වත් තියෙන එකක් නෑ... ඉතිං ඔයාම තීරණය කරන්න ජීවිතේ අලුතින්ම පට්න් ගන්නවද...හැමදාම දුක් විඳිනවද කියල...
ඔයා ජීවිතේ අලුතින් පටන් ගන්න කැමතිනම් හෙට 12ට ශෝන්ව ගන්නව සර්ජරි එකට...ඉන් පස්සෙ ඔයාගෙ සර්ජරි එක අපිට කරන්න පුලුවන්...සියලු වියදම් මං ගානෙ. ඔයාට තියෙන්නෙ හෙට වෙලාවට ඇවිත් අත්සනක් දාන එකක් විතර්‍යි."
නෙල්‍යාගෙන් කිසිදු පිළිතුරක් බලාපොරොත්තු නොවුන ඔහු තම දෑස් ගෙනගියේ තම අතෙහි වූ අත් ඔරලෝසුව දෙසටයි.
"ඉතිං නෙල්‍ය ඔයාට තව පැය 24කටත් වඩා තියෙනව තීරණයක් ගන්න.මං හිතනව ඔයා මොලේ කල්පනා කරයි කියල.ම්ම්...දැන් ඔයාට යන්න පුලුවන්...මං මගෙ අනිත් වැඩ ගැන බලන්න ඕනෙ.
...........................................................
මැදියම් රැය දක්වා නෙල්‍යා හැඬු කඳුලෙන් සිය සැරයකට වඩා මේ සිදුවීම මෙනෙහි කළාය. දැවුනාය.තැවුනාය. එහෙත් අවසානයේ ඇය තීරණයක් ගත්තාය. ඇත්තය...ශොඉන් නැති ජීවිතයක් ගැන හිතන්නට ඇයට හැකියාවක් නැත්. එහෙව් ජීවිතයකින් වැඩක්ද නැත.නමුත් එසේ කියා ඇයට තම ජීවිතය අත් හරින්නටද නොහැකිය.තම අහිංසක මව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් ඇය ජීවත් විය යුතුය. මෙතෙක් වෙලා කිසිදු පණක් නැතිව ඇඳේ වැටී සිටි ඇය වහා නැගිට්ටාය. මුලු කාමරයම අස් කිරීමට පටන් ගත්තාය. ශෝන්ගෙ මතකයක් විය හැකි සැම දෙයක්ම තම දෑස් මානයෙන් ඉවත් කලාය...අවසාන වතාවට පසුදා වනතුරුම ඔවුන් දෙදෙනාගේ විරහව වෙනුවෙන් කඳුලු සැලුවාය.
පසුදින ඇය නියමිත වෙලාවටත් පෙරම ඩේවිඩ්ගේ පරීක්ෂණ ආයතනය වෙත ගියේ අවසාන වතාවට ඒ ශෝන්ගේ ආදරණීය මුහුණ දැකගැනීමටයි. සිතූ පරිදිම ඇය ඇතුළු වී ස්වල්ප වෙලාවකින් මීට සුළු වෙලාවකට පෙර සැත්කමට සහභාගි වූ ශෝන් ඩෙරික් සමඟ පැමිණෙනු දුටු ඇය ඉඳ සිටි අසුනින් නැගිටුනේ ඉබේටමය.
එහෙත් රිජුවම තමන් දෙසට පැමිණි ඔහුගෙන් වෙන දිනවල්දී ලැබෙන ආදරණීය ආමන්ත්‍රණය වෙනුවට අඩුම තරමේ මිත්‍රශීලී හිනාවක්වත් ඇයට ලැබුනේ නැත. ඇත්තය සිනහවෙන්නේ කෙසේද...ඔහු දැන් ඇයව නොහදුනනා කෙනෙකි. තමන් පසුකර ගිය ශෝන් දිහා පිටුපස හැරී අසරණව දෑස් යොමු කළ ඇයට දක්නට ලැබුනේ තමා දෙස බලා සිටි ඩෙරික්ගේ ජයග්‍රාහී හිනාවය. තවත් හඬා පලක් නැත. හිත දැඩි කරගත් ඇය සැත්කම සඳහා සූදානම් විය.
.....................................................
වසර 5කට පසු
හැමදෙයක්ම තමාගෙ බලාපොරොත්තු අනුව ඉටුවීම ගැන ඩෙරික්නම් සිටියේ ඕනවටත් වඩා සතුටිනි. සැත්කමෙන් පසු ඔහු වහාම ශෝන්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත කලා මෙන්ම ටික කලක් යන තුරු නෙල්‍යා ගැනද සැලකිල්ලෙන් සිටියේ ඇයට තවදුරටත් ශෝන්ට බාධාවක් නොවන බව සැක හැර දැනගත් පසුය. ඉන්පසු ඒ ගැන සෙවීමද නොසලකා හැරි ඔහු අද මේ සූදානම් වන්නේ වසරක 5කට පසු තම මව්බිමට නැවත් පැමිණෙන ශෝන් පිළිගැනීමටය.. සිතාගත් පරිදි අද ඇති සාදයේදී තම මිතුරු මෙන්ම ව්‍යාපාර ලෝකයේ තමන්ගේ ලොකුම තරඟකරුව්වා වන ස්ටීවන්ගේ දුවට තම පුතුව යෝජනා කළ හැකිය.
..................................................
"තාත්තා...."
"මගෙ කොල්ල තවත් හැන්ඩ්සම් වෙලානෙ..." පිය පුතුන් ඉතා සතුටින් වැළඳ ගත් හ.
"කෝ දැන් ඔයා මට දෙනව කිව්ව සප්‍රයිස් එක...." ඩෙරික් යමක් මතක් වූවා සේ ර්ක්වරම ඇසීය.
"තාත්ත ඇස් පියාගන්නකො...."
"හ්ම්ම්...දැන් ඇස් ඇරල බලන්නකො..." තම පුත්‍රයාගේ පිස්සු වැඩ ගැන දන්නා ඩෙරික් හිනාවෙවීම දෑස් විවර කලද දුටු දසුනින් ගල් ගැහුනේය. කතා කරගැනීමටවත් නොහැකි විය.
"අයියෝ තාත්තෙ පුදුම වෙන්න එපා. මං දන්නව දැන් තාත්ත වැඩියෙන්ම වද වෙන්නෙ මගෙ කසාදෙ ගැන කියල. ඉතිං තාත්තෙ මේ ඉන්න නෙල්‍යා තරම් මට ගැළපෙන ගෑනු ළමයෙක් කවදාවත් හොයාගන්න බැරි වෙයි. ..."
"ඒත්..ඒත් කොහොමද..ඔය දෙන්න..."
"නෙල්‍යාත් මගෙ යුනිවර්සිටි එකේ හිටියෙ.මං ගිහින් අවුරුද්දකට පස්සෙ තමයි එයා ඇවිත් හිටියෙ. ඉතිං අපි දෙන්නම එකම රටේ හින්දයි මුලින්ම යාලු වුනේ..පස්සෙ දන්නෙම නැතිව අපි ආදරේ කලා නේද..."
ශෝන් ඉතා සතුටින් නෙල්‍යා දෙස බලමින් පැවසීය. ඩෙරික්ගේ දෑස් නිරායාසයෙන්ම නෙල්‍යා වෙත යොමු විය. තමා මුලින් දුටු දිනම මෙන් ඒ මුහුනේ ලැජ්ජාව මුසු ගෞරවාන්විත හිනාවක් ඇරෙන්න වෙන කිසිදු හැඟීමක් නොවීය.
"පුතා ඔය දෙන්න එහෙමනම් කැබ් එකක් අරන් ගෙදරට යනවද..මට හදිස්සියි වැඩකට යන්න වෙලා..."
ඩෙරිකට අවශ්‍ය වූයේ වහාම ඩේවිඩ් මුණගැසී මේ ගැන කතා කිරීමටය. ඒ ගැනම සිතමින් සිටි ඔහුට අඩු තරමේ ඩේවිඩ්ගේ නිවසට යනකම්වත් ඉවසිය නොහැකි විය. ඔහ්හු වාහනය තුළ සිටම ඩේවිඩ්ට කෝල් කලේය.
"ඩේවිඩ් මොකද්ද මේ වෙලා තියෙන්නෙ...ආයෙමත් කොහොමද ශෝන් නෙල්‍යා එක්කම එකතු වුනේ...." එහා පසින් දුරකතනය සම්බන්ධ වූ විගසම ඩෙරික් ආවේගයෙන් කියාගෙන ගියේය.
සිදුව ඇති දෙය ඩෙරික්ගෙ කතාවෙන් ඔහු අවබෝධ කරගත්තේය.
"සමාවෙන්න..මිස්ට ඩෙරික් විද්‍යාවෙ බලෙන් අපි මොන දේ කලත් කෙනෙක්ගෙ දෛවය වෙනස් කරන්න ඒ බලය ප්‍රමාණවත් මදි..." අවසානයේ ඩේවිඩ්ට නිදහසට කීමට තිබුනේ එපමණක් පමණි. ඒ වදන් පෙළ නැවත නැවත තම දෙසවන තුළ රැවි පිරිළව් දෙද්දී ඩෙරික්ගේ මෝටර් රථය නොසිතූ මොහොතක පාර අයිනේ වූ ලයිට් කණුවක් දැඩි ලෙස සිපගත්තේ නොසිතූ මොහොතක ඩෙරික්ගේ අවසන් හුස්ම පොද ද වා තලයට මුසු කරමිනි.
නිමි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI