‘’ කොහේ යන ගමන්ද මේ ? කෝ අපේ කෙල්ල හොඳින් ඉන්නවද ? ‘’

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
... පැල්පතින් මන්දිරයට ...

ඇඳ විට්ටමට හේත්තු වෙලා බර කල්පනාවක ඉන්න තාරුකා දිහා විනෝද් ටික වෙලාවක් දොර ළඟට වෙලා සද්ද නැතුවම බලාගෙන හිටියා.
තමන් දිහාට යොමු වෙලා විනෝද්ගේ ඇස් දැක්කම තාරුකාගේ මූණට ආවේ දුක්බර මඳහසක්. විනෝද් , තාරුකා ළඟට ඇවිත් ඇඳේ කොණක වාඩි වුණේ ඒ ඇස් වලට එබෙන ගමන්.
‘’ තාරු .. ‘’
‘’ ම්ම් .. ‘’
‘’ මාත් එක්ක ආපු එක ගැන ඔයා .. පසුතැවෙනවද ? ‘’ අන්තිම ටික අහද්දි විනෝද්ගේ කටහඬ බිඳිලා ගියේ එයාටත් නොදැනී.
‘’ නෑ , විනෝද් .. ඒත් පුංචි කාලේ ඉඳන් ළඟින් හිටපු අම්මයි තාත්තයි ඒ වගේම අයියගෙන් ඈත් වෙන්න වුණ එකට දුකයි .. ‘’
තාරුකාගේ කතාවට විනෝද්ට දෙන්න උත්තරයක් තිබුණේ නෑ. ඒ නිසාම කොල්ලා ජනේලෙන් ඈත බලාගෙන හිටියේ තාරුකාගේ ඇස් මඟ අරින්න වගේ.
වේරගොඩ වලව්වේ දෙවැනි දුව වුණ තාරුකා සංදීපනී වේරගොඩ ගෙදරින් පැනලා ආවේ විනෝද් දේවින්ද කියන මේ දුප්පත් කොල්ලත් එක්ක. වේරගොඩ පවුලට අයිති වුණ ‘’ ෆැෂන් ඩ්‍රීම්ස් ‘’ ගාමන්ට් එකේ වැඩ කරපු එක සේවකයෙක් තමයි විනෝද් කියන්නේ.
වේරගොඩ පවුලට හිටපු විශ්වාසවන්තම සේවකයෙක් වුණත් විනෝද්ට ඒ විශ්වාසෙට පිටු පාන්න සිද්ධ වුණේ තාරුකාව පළවෙනි වතාවට දැකපු දවසෙමයි. කලාතුරකින් තමන්ගේ අයියත් එක්ක ගාමන්ට් එකට ආව ගිය තාරුකා කාලයත් එක්ක නිතරම එහේ යන්න එන්න පටන් ගත්තෙත් තමන්ගේ පස්සෙන් ලුහුබඳින ඒ ආදරණීය ඇස් වලට අනුබල දෙමින්.
දුප්පත්කමේ අන්තෙටම වැටිලා හිටියා වුණත් විනෝද් කියන්නේ එක පාරින් තාරුකාගේ හිත හොරකම් කරපු කොල්ලෙක්.වේරගොඩ පවුලට වගේ උතුරන්න සල්ලි නොතිබුණත් විනෝද් ළඟ තමන් හොයන ආදරය, රැකවරණය තියනවා කියලා තාරුකා දැනගෙන හිටියා.
වලව් මාන්නෙන් ඉදමිලා හිටිය වේරගොඩ පවුලේ උදවිය තාරුකාගෙයි විනෝදගෙයි සම්බන්ධේ දැනගත්ත ගමන් ඒක නවත්තන්න නොකරපු දෙයක් නෑ. මනුස්සකමත් , ආදරයත් සල්ලි වලින් මනින්න පුරුදු වෙලා හිටපු මේ පවුලේ අය අතරින් .තාරුකා කියන්නේ කවදත් වෙනස් විදිහට හිතපු කෙල්ලෙක්.
පවුලේ බලපෑම් නිසාම තාරුකා තීරණයක් ගන්න හිතුවා. දුප්පත්කම හේතුවක් කරගෙන විනෝද්ව අතාරින්න කියපු වේරගොඩ පවුලෙන් තාරුකා ඈත් වෙලා විනෝද් ළඟට එන්න හිතුවේ ඒ විදිහට.
මීට සතියකට විතර කලින් තාරුකා විනෝද්ව කසාද බැඳලා කොල්ලගේ පුංචි පැල්පතට අඩිය තිබ්බේ හිත යටින් එක අරමුණකට ළඟා වෙනවා කියලා බලාපොරොත්තුවකුත් එක්කමයි.
ඒත් මේ සිද්ධ වුණ දේවල් ගැන මේ වෙද්දි විනෝද්ගේ හිතට නම් ඒ තරම් සතුටක් දැනුණේ නෑ. තාරුකා වෙනුවෙන් හිතේ තියන ආදරේ නම් පුංචිම අඩුවක්වත් නැති වුණත් කෙල්ලගේ ඉස්සර ජීවිතේ තරම් සැප සම්පත් තමන්ට දෙන්න බෑ කියලා විනෝද් මුල ඉඳන්ම තේරුම් අරගෙන හිටියේ.
‘’ මොනාද විනෝද් ඔය තරම් කල්පනා කරන්නේ ? ‘’
ජනේලෙන් ඈත බලාගෙන හූල්ලන විනෝද්ගෙන් , තාරුකා එහෙම ඇහුවේ කොල්ලගේ හිතේ තියන දේ තේරුම් ගන්න බැරුව නෙවෙයි.
‘’ ම්ම් .. මුකුත් නෑ තාරු .. මං .. මං .. මොකක්හරි රස්සාවක් හොයාගන්න ඕනේ ඉක්මන්ටම .. ‘’
තාරුකාගේ ඔලුව හෙමින් අතගාපු විනෝද් එහෙම කියලා කාමරෙන් එලියට ගියා. ගාමන්ට් එකේ රස්සාවත් විනෝද්ට නැති වෙලා ගියේ මේ දෙන්නගේ සම්බන්ධේ වලව්වට ආරංචි වුණ දවස් වලමයි.
‘’ මං මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. කොහොමහරි විනෝද්ට හයියක් වෙලා තැනකට එන්න ඕනේ .. ‘’
තාරුකාත් ඇඳෙන් නැඟිටලා ගේ ඉස්සරහට ආවේ තමන්ටම එහෙම කියාගෙන.
‘’ දුවේ .. ‘’
ගේ ඉස්සරහ පඩිය උඩට වාඩි වෙලා හිටපු විනෝද්ගේ ආච්චි අම්මා තාරුකාට කතා කලා. පුංචි කාලේ ඉඳන් විනෝද්ව බලාගෙන තිබුණේ මේ වහසක ගෑනු මනුස්සයා. විනෝද්ට යන්තන් වයස අවුරුදු 4 වගේ වෙද්දි කොල්ලගේ අම්මයි තාත්තයි දෙන්නාම මේ ලෝකෙන් ගිහින් තියන්නේ යුද්ධේ කාලේ තියපු බෝම්බ පිපිරීමක් නිසා. ජීවත් වෙන්න වාසනාව තිබුණ විනෝද් අදටත් මෙහෙම හරි ඉන්නේ කොල්ලගේ ආච්චි අම්මා නිසා.
‘’ ඇයි ආච්චි අම්මේ .. ඔයාට මොනවද ඕනේ ? ‘’
විනෝද් තරමටම ආච්චි අම්මට ලෙන්ගතු වුණ තාරුකා එතැනින්ම වාඩි වෙලා ඒ වැහැරුණු අතින් අල්ලගත්තා.
‘’ මයේ කොල්ලව හොඳට බලාගනින් දුවේ .. ‘’
ඒ ගිලුණු ඇස්වල තමන්ගේ මුණුබුරා වෙනුවෙන් තියෙන ආදරේ කොච්චරක්ද කියලා තේරුම් ගන්න තාරුකාට අමාරු වුණේ නෑ.
‘’ බය වෙන්න එපා ආච්චි අම්මේ , මං එයාව අතාරින්නේ නෑ .. ‘’
තාරුකා ඒ අත තදින් අල්ලගත්තේ එහෙම කියන ගමන්. ඒ වියපත් මූණේ සියුම් හිනා රැල්ලක් ඇදිලා මැකිලා ගියේ නොකියපු කතාවක් හිතේ හංගගෙන.

88888888888888888888888888888888888888888888888888888888888888888

රස්සාවක් හොයාගන්න දවස පුරාම මහන්සි වෙන විනෝද් හවසට ගෙදර එන්නේ හොඳටම හෙම්බත් වෙලා. පුළුවන් විදිහට මේ පුංචි ගෙදර යුතුකම් ඉටු කරන්න තාරුකා මේ වෙද්දි පුරුදු වෙලා හිටියා. වේරගොඩ වලව්වේ අයට නම් තාරුකා කියන්නේ දැන් මැරුණු කෙනෙක්.
මහන්සිය නිසාම ඇඳට වැටුණ ගමන් විනෝද් තද නින්දක. තාරුකාට නම් තාමත් මේ ගෙදර හරිහැටි නින්දක් ගිය දවසක් නැති තරම්. එහා කාමරෙන් ඇහුණ හීන් කෙඳිරිලි සද්දෙට කෙල්ල ඇඳේ ඉන්ඳවුණේ ඉබේටම.
‘’ දෙයියනේ , ආච්චි අම්මා නේද .. ‘’ තාරුකා ඉක්මන්ටම විනෝද්ට කතා කලේ හිතේ කලබලේට.
‘’ විනෝද් .. විනෝද් .. අනේ නැඟිටින්නකෝ .. අන්න ආච්චි අම්මා කෙඳිරි ගානවා .. ‘’
තාරුකාගේ සද්දෙට කොල්ලත් හනි හනිකට නැඟිටලා දෙන්නත් එක්කම එහා කාමරේට ගියා. පපුවත් අල්ලගෙන අමාරුවෙන් හුස්ම ගන්න ආච්චි අම්මව දැක්කම දෙන්නම එක මොහොතකට ගල් වුණා වගේ.
‘’ අනේ .. ආච්චි අම්මේ .. අනේ මොකද වුණේ ඔයාට .. අපි .. අපි .. යමු බෙහෙත් ටිකක් ගන්න .. ‘’
විනෝද් ආච්චි අම්මගේ ඇඳ ළඟින් දණ ගහගෙන කියවනවා. තාරුකාට නම් මේ කිසිම දෙයක් හිතාගන්න බෑ.
සැරයක් දෙකක් හුස්ම ඉහලට පහලට ගත්ත ආච්චි අම්මා අවසන් හුස්ම හෙළුවේ විනෝද් බලාගෙන ඉද්දිමයි.
‘’ අ .. අනේ .. ආච්චි අම්මේ .. ‘’
පුංච් කාලේ ඉඳන් තමන් ළඟ හිටපු එකම නෑදෑයත් තමන්ව දාලා ගියා කියන එක විනෝද්ට දරාගන්න බැරි වුණා. කොල්ලට දන්නෙම නැතුව කෑගැහුණේ ඒ නිසා.
කලින් දවසක ආච්චි අම්මා තාරුකාට කියපු දේ කෙල්ලට ඒ වෙලාවේ මතක් වුණා.
‘’ බය වෙන්න එපා ආච්චි අම්මේ , මං විනෝද්ව බලාගන්නවා .. මං පොරොන්දු වෙනවා .. ‘’
විනෝද් ළඟට කිට්ටු වුණ තාරුකා විනෝද්ව අතින් අල්ලා නැඟිට්ටුවේ හෙමින් එහෙම මුමුණලා.

8888888888888888888888888888888888888888888888888888888888888888888

‘’ හිත හදාගන්න විනෝද් .. අපි ජීවිතේට මූණ දෙන්න ඕනේ .. ‘’
ආච්චි අම්මගේ තුන් මාසේ දානෙත් ඉවර වුණාට පස්සේ තවදුරටත් තාරුකා බැලුවේ විනෝද්ගේ හිත හදන්න විදිහක්.
‘’ ම්ම් .. ඔව් තාරු .. ඒක ඇත්ත .. ‘’
ටික වෙලාවක් කල්පනා කරපු විනෝද් අන්තිමට එහෙම කිව්වම කමයි තාරුකාටත් යන්තන් සහනයක් දැනුණේ.
‘’ විනෝද් .. ‘’
තාරුකා මොකක්හරි දෙයක් කියන්න දඟලනවා කියලා විනෝද්ට මේ දවස් ටිකේම තේරුණා. ඒත් හරි සිහියකින් ඒ දේවල් අහගෙන ඉන්න තරම් මානසික තත්වයක් කොල්ලට තිබුණේ නෑ. ඒත් මේ වෙලාවේ නම් විනෝද් උවමනාවෙන්ම තාරුකා දිහා බැලුවේ කෙල්ල කියන්න යන දේ දැනගන්න.
‘’ ම්ම් .. කියන්න තාරු .. ‘’
‘’ මේකයි .. මං බැලුවේ ඔයාට රස්සාවක් හම්බවෙනකන් අපි පොඩියට ඇඳුම් බිස්නස් එකක් පටන් ගමුද කියලා .. මට පුළුවන් මහන්න .. ‘’
ටික දවසක ඉඳන් තාරුකාගේ හිතේ තිබුණ අදහස කෙල්ල එලියට දැම්මා.
‘’ හ්ම්ම් .. ඒක හොඳයි . ඒත් ඉතින් ඒකටත් සල්ලි කීයක්හරි හොයාගන්න එපැයි තාරු .. ‘’ විනෝද් එහෙම කිව්වේ අකමැත්තකින් නම් නෙවෙයි.
‘’ මගේ රත්තරන් බඩු ටික තියලා අපි සල්ලි ටිකක් ගමු විනෝද් , පස්සේ බැරියැයි ඕවා බේරගන්න .. ‘’
ඒ කතාවට නම් විනෝද් ,තාරුකා දිහා බැලුවේ ටිකක් කේන්තියෙන්.
‘’ නෑ .. නෑ .. එහෙම කරන්න ඕනේ නෑත මං කොහොමහරි රස්සාවක් හොයාගන්නම් .. ‘’ විනෝද් නිව්වේ අහක බලාගෙන.
‘’ අනේ විනෝද් ඕවා තියාගෙන හිටියා කියලා වැඩක් නෑනේ , අපි පස්සේ බේරගමු .. ‘’ තාරුකාගේ හිත කියන්නෙම මේ බිස්නස් එක පටන් ගත්තොත් සාර්ථක වෙයි කියලමයි.
‘’ ඔයා මාත් එක්ක ආපු එක ගැන පසුතැවෙනවද ? ‘’ කලින් දවසක අහපු ප්‍රශනෙම විනෝද් ආයෙත් කෙල්ලගෙන් ඇහුවේ කලකිරීමෙන් වගේ.
‘’ පිස්සුද විනෝද්, මොනාද මේ කියවන්නේ .. මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා. මට ඒ හොඳටම ඇති. මං මෙහෙම කරමු කියන්නේ අපි තැනකට එන්න ඕන නිසා, හැමදාම මෙහෙම ඉඳලා බෑනේ .. ‘’
තාරුකා පුළුවන් විදිහට කොල්ලට මේ දේවල් තේරුම් කරන්න උත්සාහ කලා.
‘’ ම්ම් .. හරි එහෙනම් , අපි මේ වැඩේ කරලා බලමුකෝ. ආච්චි අම්මා ඉස්සර පාවිච්චි කරපු මහන මැෂිම තාම වැඩ කරනවා ඇති. ඒකෙන් ඔයාට මහන්න පුළුවන්. රෙදි ගන්න සල්ලි ටිකක් රත්තරන් බඩුවක් උකස් කරලා ගමු එහෙනම්. ඒත් මං ඒ වැඩේට නම් කැමති නෑ, ඒ වුණත් වෙන කරන්න දෙක් නෑනේ .. ‘’
කොහොමහරි විනෝද් එයාගේ කැමැත්ත දුන්නට පස්සේ තාරුකා පුළුවන් ඉක්මන්ට මේ වැඩේ පටන් ගන්න ඕන දේවල් ලෑස්ති කරගත්තා.
ඉගෙන ගත්ත දෙයක් අපතේ යන්නේ නෑ කියනවා වගේ තාරුකා සෑහෙන කාලෙකට කලින් ඉගෙන ගත්ත දේවල් අද තමයි ප්‍රයෝජනවත් වුණේ. ගෙනාපු රෙදි වලින් කෙල්ල මුලින්ම හිතුවේ පුංචි ළමයින්ගේ ඇඳුම් මහන්න. විනෝද් කැමති වුණා තාරුකා මහලා දෙන ඇඳුම් , කඩවල් වලට ගිහින් දෙන්නත්.
ටික දවසක් යද්දි නොහිතපු විදිහට තාරුකා මහන ඇඳුම් වලට හොඳ ඉල්ලුමක් ආවා. විනෝද් වෙන රස්සාවක් හොයන එකත් නතර කරලා දෙන්නත් එක්කම මේ බිස්නස් එක දියුණු කරගන්න මහන්සි වෙන්න හිතුවෙත් ඒ නිසාමයි. ඒත් එක්කම සල්ලි කීය කීයහරි ඉතුරු කරන්නත් දෙන්නා අමතක කලේ නෑ.
‘’ තාරු .. ‘’
මහන මැෂිම පාගන තාරුකාට තේ එකකුත් හදාගෙන ඇවිත් ළඟ තිබුණ පුටුවක වාඩි වුණ විනෝද් කතාව පටන් ගත්තා.
‘’ ඇයි විනෝද් .. ‘’
‘’ දැන් නම් ඇඳුම් බෑග් සේරම බස් එකේ දාගෙන යන්න අමාරුයි තාරු , ගොඩක් තියනවනේ. මං බැලුවේ අපි ඉතුරු කරගත්ත සල්ලි වලින් වෑන් එකක්වත් ගමුද තියලා .. ‘’
විනෝද්ගේ කතාවට මහන එක ටිකකට නවත්තපු තාරුකා , කොල්ලා දිහාට හැරුණා.
‘’ ම්ම් .. ඒක නම් හොඳ අදහසක් විනෝද් .. ඒත් සල්ලි ඇති වෙයිද ? ‘’
‘’ ගෙවන්න ගමු .. අර හන්දියේ කඩේ අමිල මල්ලි මට කිව්වා ළඟදි ගත්ත හොඳ වෑන් එකක් තියනවා කියලා, ඒකයි මං මේ බැලුවේ .. ‘’
තේ එක බොන ගමන් විනෝද් තාරුකාට කිව්වා.
‘’ එහෙනම් ඔයා ගිහින් වාහනේ හොඳයිද කියලා බලන්නකෝ .. එහෙම වුණොත් අපි ඒක ගමු .. ‘’
තාරුකා තේ එක අතට ගත්තේ එයාගේ කැමැත්ත දීලා.
වාහනේ බලන්න ගිය විනෝද්ට ඒකේ අඩුවක් පෙනුණේ නෑ. ඒ නිසා ටික ටික ගෙවන්න පුළුවන් විදිහට වෑන් එක ගන්න විනෝද් තීරණය කලා. වාහනයක් වගේම විනෝද්ගේ හිතේ තව බලාපොරොත්තුවක් තිබුණා. මේ හැමදේම ලැබුණේ තාරුකාගේ මහන්සියේ ප්‍රතිඵල නිසා කියලත් කොල්ලට අමතක වුණේ නෑ.
‘’ මල්ලි , අපි මේ ගමන්ම අර ගමනත් ගිහින්ම එමුද ? ‘’
වාහනේ ගන්න උදව් කරපු අමිල මල්ලිගෙන් විනෝද් ඇහුවේ තාරුකාව පුදුම කරවන අදහස හිතේ තියාගෙන.
‘’ හරි අයියා , මේ ළඟ තියන්නේ . ගිහින් බලලා එමු .. ‘’
දෙන්නත් එක්ක පාර පැනලා වැඩි දුරක් යන්න ලැබුණේ නෑ ඉස්සරහට හම්බවුණේ විනෝද් හීනෙන්වත් දකින්න නොහිතපු කෙනෙක්. කොල්ලගේ ගමනත් එහෙම්ම නැවතුණේ හිත ගැස්සිලා ගිය නිසා.
‘’ ව් .. විනෝද් .. ‘’
ඉස්සර තිබුණ අහංකාරකම් දැන් නම් නැති වෙලා වගේ. මූණේ තියන්නෙත් ඒ තරම් සතුටුදායක පෙනුමක් නෙවෙයි.
‘’ ව ..වලව්වේ හාමිනේ .. ‘’
‘’ කොහේ යන ගමන්ද මේ ? කෝ අපේ කෙල්ල හොඳින් ඉන්නවද ? ‘’
තාරුකාගේ අම්මා වුණ වලව්වේ හාමිනේ විනෝද්ගෙන් ඇහුවේ කෙලින් මූණවත් නොබලා. තාරුකා , විනෝද් එක්ක ඇවිල්ලත් දැන් මාස 7, 8 කට කිට්ටුයි.
‘’ ම .. මං මේ ළඟකට යනගමන් .. ආහ් , තාරු ගෙදර ඉන්නවා හාමිනේ .. ‘’ විනෝද් අමාරුවෙන් වචන හොයාගත්තා.
වේරගොඩ වලව්වේ අයට තිබුණ බය වගේම ගෞරවයත් තාම කොල්ලගේ හිතින් නැති වෙලා තිබුණේ නෑ. හැබැයි වලව්වේ හාමිනේගේ මූණේ තිබුණ වෙනස අඳුරගන්නත් විනෝද්ට අමාරු වුණේ නෑ.
‘’ හාමිනේ මොකක්හරි හිතේ කරදරේකින්ද ඉන්නේ ? ‘’
බැන්නත් කමක් නෑ කියලා විනෝද් එහෙම ඇහුවේ මොකක්හරි ප්‍රශ්නයක් කියලා දැනගෙනමයි.
වලව්වේ හාමිනේ ඒ ප්‍රශ්නෙට සුසුමක් හෙළුවේ දිග කතාවක් කියන්න වගේ.

888888888888888888888888888888888888888888888888888888888888888

වාහනේ බලන්න ගිහින් ආපු විනෝද් , තාරුකාටත් කියලා ඒක ගන්න විදිහ ගැන කතා කරගත්තා. හැබැයි වලව්වේ හම්බවුණ කතාව නම් තාරුකාට කියන එක විනෝද් ටිකකට පරක්කු කලා.
‘’ තාරු .. හෙට අපි දෙන්නට පොඩි ගමනක් යන්න තියනවා .. ‘’
වාහනේ අරන් ඇවිත් සති තුන, හතරකට පස්සේ විනෝද් , තාරුකාට එහෙම කිව්වා. කොල්ලා පහුගිය දවස් ටිකේම එහේ මෙහේ දුවනවා තාරුකාත් බලාගෙන. කොහේ යනවද ඇහුවත් විනෝද්ගෙන් ඒකට හරි උත්තරයක් ලැබුණේ නෑ.
‘’ කොහෙද විනෝද් ? ‘’ තාරුකා ඇහුවේ පුදුම වෙලා.
‘’ උදේ 8 වෙද්දි ලෑස්ති වෙලා ඉන්නකෝ .. ‘’
එහෙම කියපු විනෝද් ආය මුකුත් අහන්න ඉඩක් නොතියා කාමරේට රිංගගත්තා.
පහුවෙනිදා උදේ කියපු වෙලාවටම ලෑස්ති වුණ තාරුකා , විනෝද් එක්කම වාහනේට නැග්ගේ යන්නේ කොහේද කියලාවත් අහන්නේ නැතුව. ඒත් ටික දුරක් යද්දි නම් කෙල්ලට තවත් ඉවසගෙන ඉන්න බැරි වුණා.
‘’ කොහේද විනෝද් අපි මේ යන්නේ ? ‘’
‘’ ඉවසලා ඉන්නකෝ තාරු .. ගියාම බලාගන්න පුළුවන් .. ‘’
විනෝද් දඟකාර හිනාවක් දාලා තාරුකාගේ නොඉවසිල්ල තවත් වැඩි කලා.
වාහනේ කෙලින්ම ගිහින් නැවතුණේ තරමක් විශාල ගෙදරක් ළඟ. එයාලා දැනට ඉන්න ගෙදරට වඩා මේක සෑහෙන්න ලොකුයි , ඒ වගේම ලස්සනයි. ඇරලා තිබුණ කලු පාට ගේට්ටුවෙන් විනෝද් වාහනේ මිදුලට ගත්තේ ඒ ගෙදර හොඳ පුරුදුකාරයෙක් වගේ. වාහනෙන් බැහැපු විනෝද් තාරුකාටත් බහින්න දොර ඇරලා බලාගෙන හිටියා.
‘’ කාගෙද විනෝද් මේ ලස්සන ගෙදර ? ‘’
මිදුල පුරාම එක එක වර්ගයේ මල් වර්ග හදලා. සුදු පාට තීන්ත ගාපු මේ ගෙදර වුණත් ළඟදි හදපු එකක් කියලයි කෙල්ලට නම් හිතුණේ.
‘’ ඔයාම බලන්නකෝ ගේ ඇතුලට ගිහින් .. ‘’
විනෝද්ගේ කතාවට ඇස් පුංචි කරගත්ත කෙල්ල ගෙට ඇතුල් වුණේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. ඒත් ඊලඟට දැකපු දෙයින් තාරුකාගේ හුස්ම හිර වුණේ නැති ටික විතරයි.
‘’ අම්මා .. අප්පච්චි .. අ .. අනේ .. ඔයාලා කොහොමද? ‘’
ගෙදර සාලේ කිරි උතුරවන්න සේරම ලෑස්ති කරලා එතන බලාගෙන හිටියේ තාරුකාගේ අම්මයි තාත්තයි. විනෝද් ගෙට ඇතුල් වුණෙත් මේ දේවල් බලාගෙන.
‘’ දුවේ .. අපේ කෙල්ල .. ‘’
අම්මවයි අප්පච්චිවයි බදාගෙනම කෙල්ල විනෝද් දිහාට හැරුණේ සෑහෙන්න පුදුම වෙලා. සතුට වැඩිකමට කෙල්ලට ඇඬිලත්.
‘’ අ .. අනේ .. විනෝද් .. කොහොමද මෙහෙම වුණේ .. ‘’
‘’ ඒ හැමදේම කියන්නම් තාරු .. ඒත් ඊට කලින් කරන්න වැදගත් වැඩක් තියනවා. අපේ අලුත් ගෙදර කිරි උතුරවන්න දැන් නැකැත් වෙලාවත් හරි .. ‘’ විනෝද්ගේ කතා තාරුකාට විශ්වාස කරන්නත් අමාරුයි.
‘’ අපේ .. අලුත් .. ගෙදර .. ! ‘’
‘’ හ්ම්, ඔව් .. කෝ එන්න ඉතින් .. අපි ඒ වැඩේ ඉවර කරලා ඉමු. අම්මේ , අප්පච්චි ඔයාලා දෙන්නත් එන්න .. ‘’
කෙල්ල තවත් පුදුම වුණේ විනෝද් තාරුකාගේ අම්මටයි අප්පච්චිටයි කතා කරපු ඒ විදිහ අහලා.
නැකතට වැඩ සේරම ඉවර කලාට පස්සේ හතර දෙනාම මිදුලේ තිබුණ සිමෙන්ති බංකු දෙක උඩින් වාඩි වුණේ මේ දේවල් සිද්ධ වුණ විදිහ කතා කරන්න.
‘’ දැන්වත් කියන්නකෝ විනෝද් , කොහොමද මේ දේවල් වුණේ ? ‘’ තාරුකාට තවත් නම් ඉවසන්නම බෑ.
‘’ මට විනෝද් පුතාව හම්බවුණේ දවසක් එයා මේ ගේ බලන්න එන අතරතුරේදි . පුතා දැනගත්තා අපිට මොකක්හරි ප්‍රශ්නයක් කියලා .. ‘’ විනෝද් වෙනුවට කතාව පටන් ගත්තේ තාරුකාගේ අම්මා.
‘’ වලව් පැලැන්තියයි , සල්ලියි අඩුවක් නැති පවුලකින් අපි ලොකු පුතාට කසාදයක් කරලා දුන්නේ උඹ අපිව අතෑරලා ගිහින් මාස පහ හයකට පස්සේ දුවේ. ඒත් වලව්වට අලුත් ලේලි ආපු දවසේ ඉඳන් අපිට වලව්ව හිර කූඩුවකටත් වඩා අන්ත වුණා. පුතා වුණත් ගත්තේ ලේලිගේ පැත්ත. අපි අන්ත අසරණ වුණා දුවේ, අපිට හැමදේම නැති වුණා. මනුස්සකම කියන්නේ වලව් මාන්නෙවත් සල්ලිවත් නෙවෙයි කියලා අපිට තේරුණේ මේ විනෝද් පුතා එදා අපේ හාමිනේත් එක්ක වලව්වට ඇවිත් කතා කරපු දවසේ .. ‘’
තාරුකාගේ තාත්තා කතාව කියාගෙන ගියේ ඇස් වල කඳුලු පුරවගෙන. කෙල්ලගේ ඇස් දෙකත් තෙත් වුණේ විනෝද්ගේ මේ ආදරේ වෙනුවෙන්.
‘’ ඉතින් මං තීරණය කලා අපේ අලුත් ගෙදරට අම්මවයි අප්පච්චිවයිත් එක්කන් එන්නත දැන් ඉතින් අපි එක පවුලක් .. ‘’
විනෝද් කිව්වේ තාරුකාගේ කරට අතකුත් දාගෙන.
‘’ අනේ ඉතින් .. අපිටත් මේ වගේ තැනක ජීවිතේ ඉතුරු කාලේ සතුටින් ගෙවන්න ලැබෙන්නේ විනෝද් පුතා නිසා තමයි .. ‘’ තාරුකාගේඩ ඔසරි පොටෙන් කඳුලු පිහදාගන්න ගමන් කිව්වා.
‘’ නෑ අම්මේ .. මටත් මේ හැම සැප සම්පතක්ම ලැබුණේ තාරුකාගේ ආදරෙයි උත්සාහයයි නිසා. එයා නැත්තම් අදටත් අපි අර දුප්පත් ගෙදර දුක් විඳිනවා. මේ හැමදේම මගේ තාරුකාගේ මහන්සියේ ප්‍රතිඵල .. ‘’
විනෝද් , තාරුකාව පපුවට තද කරගත්තේ හැමදාමත් ඒ ආදරේට , ආදරේ කරන්න මුළු හිතින්ම පොරොන්දු වෙන ගමන්.

නිමි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI