ඒත් දවසක ඔයාටම තේරෙයි.. නොගැලපෙන දේවල් බලෙන් රදවගත්තට වඩා.. හැමදේම අතෑරලා දැම්මම ජීවිතේ ඉස්සරහටයන්න පුළුවන් කියල

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
හෂිනි කියන්නේ ජීවිතේ කවදවත් සිරීයස් ගත්තු කෙනෙක් නෙවේ.. අවුරුදු විසි එකක් උන කෙල්ල උන්නෙ හරි
සැහැල්ලුවෙන්..ගෙදර අය යාළුවෝ ඇරෙන්න දෙයක් ඒ හැටි කෙල්ලට තිබ්බෙ නෑ...
හැමදාම හිනා වෙලා උන්නට කෙල්ලගේ හිත හරි ඉක්මනට පොඩි දේටත් රිදෙනවා..

දිග ගවුම් දිග සායවල් කෙල්ලට නෑ.. කෙල්ල කොහෙටත් ඇන්දේ ඩෙනිම..
ඒක ස්ටයිල් එකම නෙවේ.. ඒ කෙල්ලගේ හැටි..
හැම එකටම හිනාවෙලා විහිලුවක් කරන් උන්නේ.. අනිත් කෙල්ලො වගේ කොයි වෙලාවේ ටැප් එක ඇරගන්නද කියල බලන් උන්නෙ නෑ..

ඒ හෂිගේ හැටි
ඔහොම ඉද්දි හෂි කෙනෙක්ට ආදරේ කරන්න ගන්නවා.. "යේෂාන්" කොල්ලගේ නම..

"මං ටිකක් වෙනස් යේෂාන්.. ඔයාට මං එක්ක ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ"
සම්බන්ධේ පටන් ගද්දිත් කෙල්ල කිව්වෙ එහෙම..
මොකද කෙල්ල දන්නවා යේෂාන් කියන්නෙ තමන්ට වඩා වෙනස් අදහස්තියෙන කෙනෙක් කියල..
මොකද දෙන්නා අදුරගෙන ටික කාලයක් යාළුවො විදියට උන්න නිසා..

"ඒ වෙනසටම තමා මං ආදරේ හශී...අයි ලව් යූ.." යේෂාන් මුලින් කිව්වේ එහෙම..

අනික් හැම කපල් එකක්ම වගේ මේ දෙන්නත් හරි ආදරෙන් ඉන්නවා 😍
පාර්ක් යනවා 😍
බීච් යනවා 😍
සතුටින් උන්නේ..
හැබැයි දෙන්නා අහසයි පොළවයි වගේ.. යේෂාන් කියන්නේ ජීවිතේ සිරීයස් ගත්තු කොල්ලෙක්..
පොඩි දේටත් හරි ඉක්මනට තරහා යනවා
ඒ වගේම කෙල්ලට නිතී දානවා

"තමුසේ කොහෙවත් යන්නෙ නෑ තේරුණද.. ගෙදරට වෙලා ඉන්නවා..ඕන නෑ යාලුවෝ එක්ක රවුම් ගහන්න.." කොහේ හරි යන්න ඇහුවම හැමදාම කොල්ලා කිව්වේ එහෙම.. කෙල්ල අකැමත්තෙන් ඒ දේවල් පිළිගන්නවා..

කෙල්ල හිතුවේ තමන්ගේ සරල ජීවිතේ යේෂාන් නිසා වෙනස් කරගන්න..යේෂාන්ට ඕන විදියට.. යේෂාන් ආස විදියට..

ඔව් කෙල්ල උත්සහ කරනවා.. ඒ වෙන කවුරු ලගවත් නොනැවතුණ හෂිගේ මුළු හිතේම උන්නේ යේෂාන් විතරක් නිසා..
එයාව නැතිකරගන්න බැරි නිසා..

"ඕක මොකක්ද අයිසේ..බලනවා ඇදුමේ හැටි.. ටිකක් පිළිවලකට ඉන්නව හශී.. මගේ යාලුවෙක්වත් දැක්කොත් මට ලැජ්ජයි"

කෙල්ල ආසවෙන් ගත්තු ටීෂර්ට් එක ඇදන් ගියපු දවසක කොල්ලා කිව්වේ එහෙම..

කෙල්ල කොහොමත් මහ ලස්සනක් තිබ්බ කෙල්ලෙක් නෙවේ.. අනික් කෙල්ලො වගේ නියපොතු පාට කරන්න කොණ්ඩේ කලර් කරන්න කෙල්ලට ආසාවක් තිබ්බෙත් නෑ..

"තමුසෙට මට ඕන විදියට ඉන්න බැරිනම් යනවා හෂි මට එපා වෙලා තියෙන්නෙ.."

දෙන්නා පොඩි දේටත් රණ්ඩු කරාම කොල්ලා කියන්නෙම ඒක..

"මං ඔයාට ඕන විදියට ඉන්නම් යේෂාන්.. මට ඕන ඔයාව..නැතිකරගන්න බැ.."

හෂි අඩන්නේ එහෙම කිය කිය.. ඉතිං ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් උන්නු කෙල්ල හැමදාම අඩන්න ගන්නවා
යේෂාන් තමන්ට ගැලපෙන්නෙ නැති බව කෙල්ලට තේරුණේ සැරයක් දෙසැරයක් නෙවේ..

"ඉවසන් ඉන්නවා.. යේෂාන් හැමදේම කියන්නෙ මට ආදරේ නිසා.."

හැමදාම ඔහොම හිතල කෙල්ල හිත හදාගන්නවා..

"මොකක්ද හෂී වෙලා තියෙන්නෙ. උඹ කොහොමද උන්නේ.. දැන් මේ පැත්තක් අල්ලන් හූල්ලනව.."
යේෂාන් එක්ක රණ්ඩු උනාම කෙල්ල ඉන්නවිදිය දැකලා යාළුවො අහන්නෙම ඒක..

කෙල්ල එතකොට ලස්සනට හිනාවෙනවා..

"තමුසේගෙ කලින් කොල්ලා දාල ගිහින් තියෙන්නෙ ඇයි කියල මට හිතාගන්න පුළුවන් "

සමහර දවසකට යේෂාන් හිනාවෙලා කියන්නෙ සමච්චලේට.. ඔව් කෙල්ල කලිනුත් කෙනෙක්ට ආදරෙන් කරනවා.. ඒ කොල්ලත් කෙල්ලව දාලා යන්නේ කෙල්ල එක්ක ඉන්න බෑ කෙල්ලව තේරුම් ගන්න බෑ කියල තමා..
ඒත් කෙල්ලට ඒක ඒතරම් දුකක් වෙන්නෑ..

" ඉන්න බැරි නම් යන්න ඉතිං..බලෙන් නවත්තගන්නෑ" කෙල්ල කිව්වේ එහෙම..

ඒත් යේෂාන් ගාවදි කෙල්ලගේ හිත හෙල්ලෙනවා..

කෙල්ලට අසනීප වෙනව..උණ.. ඒතරම් දෙයක් නෙවේ වෛරස් එකක්..

කෝල් එකක් අරං කෙල්ල යේෂාන්ට බලන්න එන්න කියනවා..

"අනිද්දට ඔෆිස් එකේ ට්‍රිප් එක.. ට්‍රින්කො..දවස් තුනක්. ඊට පස්සෙ බලමු"
යේශාන් කියන්නෙ හිනාවෙවී.. උණ කියපු එකවත් කොල්ලට ගානක් නෑ..

"පරිස්සම්න් යේෂාන්.." කෙල්ල හිනාවෙලා කියන්නෙ එහෙම.. හිත මහ හයියෙන් අඩද්දි කෙල්ල හිනාවෙනවා..

"යේෂාන් උඹව බයිට් එකටද මංදා තියන් ඉන්නෙ.." සමහර දවසකට යාලුවෙක් එහෙම කිව්වම කෙල්ල යාළුවා එක්ක වලි..
කෙල්ල එහෙමයි..

"මේක බලපන් බර්ත්ඩේ එකට නයෝමාල් අරං දුන්නේ..ලස්සනයි නේද.."

හොදම යාලුවා වෙච්ච සුපුනි කෙල්ලට පෙන්නන්නේ ලස්සන පුංචි ඔරලෝසුවක්..

ඒක ඇත්තටම ලස්සනයි..

"මගෙත් බර්ත්ඩේ එකත් ළගයි.‍යේෂූ දෙයි මටත් ගිෆ්ට් එකක්.." කෙල්ල සුපුනිට කියන්නෙ හිනාවෙල..

කෙල්ලට අදට විසි දෙකyi

රැ දොළහට යේෂාන් ගේ කෝල් එක එනකන් කෙල්ල උන්නෙ ආසාවෙන්..

ඒත් කෝල් එක එන්නේ පහුවදා දවල් දොළහට.. "පව් වැඩ නිසා නින්දයන්නැති.. මුකුත් කියන්නෙ නෑ.." කෙල්ල එහෙම හිතාගෙනම ෆෝන් එක ආන්සර් කරනවා

"හෂී තමුසෙට පිස්සුද අර ඔෆිස් එකේ අක්කව අන්ෆ්‍රෙන්ඩ් කලේ..මොළේ අමාරුවක් තියෙනවද.. ආයේ තමුසේ මගේ අකවුන්ට් එකෙන් ලොග් වෙන්නෙපා..මං පාස්වර්ඩ් චේන්ජ් කරනවා.."

හෙලෝ කියන්නත් කලින් කට් වුණ කෝල් එක ගැන කෙල්ල ටිකක්වෙලා හිතනවා..

ඔෆිස් එකේ බැදපු ගෑණියෙක් කොල්ලගේ එෆ්බී ඉමේජස් වලට හාර්ට් රිඇක්ට් කරනවා ඉවරයක් නැති නිසා කෙල්ල ඒ ගෑණිව අන්ෆ්‍රෙන්ඩ් කරනවා.. කෙල්ලො එහෙම තමා.. තමන්ගේ කොල්ලට වෙන ගෑණු හාර්ට් දානකම් බලන් ඉන්න බෑනේ..

කෙල්ලගේ ඇස් දෙක බොදවෙන්නේ දුකට..

ආයේම කොල්ලගෙන් කෝල් එකක්

"සොරි හශී.. දැන් දැක්කෙ මං..බර්ත්ඩේ එක නේද.. හැපි බර්ත්ඩේ.." එච්චරයි.. දැන් දැක්කෙ කියන්නෙ කොල්ලා බර්ත්ඩේ එක දකින්න ඇත්තේ එෆ්බී එකෙන් කියලා කෙල්ල දන්නවා..

"තැන්ක් යූ.." කෙල්ල කියන්නෙ එච්චරයි..

"ඕක හරියන මගුලක් නෙවෙ හශී.. නවත්තලා දාපන්.. ඌට උඹ ගැන ගානක්වත් නෑ.." සුපුනි කියන්නෙ එකපාරක් දෙපාරක් නෙවේ..

"හවසට පන්සල් යමුද යේෂූ.. "

"ඇයි ස්පෙෂල් මොකක්ද ? " පන්සල් යන්න විශේෂ දවසක් ඕනද කියල කෙල්ල හිතනවා..

"අදට අවුරුද්දක් යේෂූ.." කෙල්ල මතක් කරනවා..

"මට අද බර්ත්ඩේ පාර්ටියක් හශී.. කේඑෆ්සී එකේ.. මං එතැනට යන්නොන.."

"අ..නේ හව..සට චුට්ට..ක්.." කෙල්ල බරකරලා කියනවා..

"හා..එහෙනම් ලෑස්ති වෙලා එනවකෝ.. පාර්ටියෙන් පස්සෙ යන් පන්සලට.. "

ගොඩක් කාලෙකට පස්සෙ කෙල්ල හිනාවෙනවා...

නානකාමරයට ගිහින් සිංදුවකුත් කියන්නේ ඒකමයි..

"යේෂූ වෙනස් තමා.. ඒත් කොල්ලා මට ආදරෙයි.." එහෙම තමා හිතන්නෙ කෙල්ල..

තමන් ගාව තියෙන හොදම ඩෙනිම ඇදගත්තු කෙල්ල බ්ලූ කලර් ටිකක් දිස්නේ ගහන බ්ලවුසයක් අදිනව...

"ලස්සනට ඉන්නොන අද යේෂුගේ යාලුවොත් එනවනේ.." කෙල්ල ෆවුන්ඩේෂන් එක මූණට ගාන ගමන් හිතනවා..

ලා රෝස පාටට තොල් දෙකත් පාට කරගන්න්න කෙල්ල කණ්නාඩියට හිනාවෙනව.. මහ ලස්සනක් නොතිබ්බත් කෙල්ලගේ මොකක්දෝ අමුතුම ලස්සනක් තියෙනව..

කෙල්ල වෙලාවටත් කලින් කේඑෆ්සී එක ලගට එනවා..

"අද ඔයා ලස්සනයි හෂී.. " කොල්ලා එහෙම කියයි කියලයි කෙල්ල හිතන්නේ..

ඈතින් කොල්ල එනවා දැකලා කෙල්ල හරි ලස්සනට හිනාවෙනවා...කොහොමත් ඒ හිනාව ලස්සනයි..

"හෂී.. මොකක්ද අයිසේ මේ ඇදගෙන ඇවිල්ල ඉන්නෙ? තමුසෙට ඕන අර මගේ යාලුවෝ ඉස්සරහා මාව බයිට් කරන්නද.. ආ ? "
වටපිට බලන ගමන් කෙල්ලගේ මූණ දිහා මහ අප්පිරියාවකින් බලන කොල්ලා දිහා කෙල්ල මොහොතක් බලාන ඉන්නවා..

"තමුසේ ගෙදර යනවා.. ඔහොම තමුසෙට ඇතුලට එක්කන් යන්න බෑ.." කියපු කොල්ලා ඇතුලට යනවා..

කොල්ලා හිනාවීගෙනම ගිහින් ලස්සන කෙල්ලො දෙතුන් දෙනෙකුයි කොල්ලො දෙන්නෙකුයි ඉන්න ටේබල් එකක වාඩිවෙනවා කෙල්ල දකින්නේ කේඑෆ්සී එකේ වීදුරුවෙන්..

වැටෙන්න ගිය කදුළු බිංදුවක් ඇස් අගම නවත්ත ගත්තු කෙල්ල ආපහු හැරෙනවා..

"තීරණයක් ගනින් හෂි.." හිත කිව්වේ ඒකමයි..

"අවුරුද්දක් නෙවේ අවුරුදු ගාණක් ගියත් ඔය ටික තමා..ඌට උඹ එක්ක සතුටින් ඉන්න බෑ.. ගැලපෙන්නෙ නෑ.."

කෙල්ල කණ්නාඩියෙන් බලාගෙන හිතින් හිතනවා..

කදුළු වලට ඔහේ වැටෙන්න දෙනවා..

"සමහර දේවල් නැතිවෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.."
අක්කා කෙල්ලට කිව්වේ එහෙම..

කෙල්ල අන්තිමට තීරණයක් ගන්නවා..

අමාරුයි තමා.. ඒත් මෙහෙම හොදයි කිය..ල කෙල්ල හිතනවා..

දවස් තුනක් යනකම් කොල්ලගෙන් එකම මැසෙජ් එකක්වත් නෑ.. කෝල් එකක්වත් නෑ..

"අපි අද හම්බෙමු.. දහයට ගංගාරාම පාර්ක් එකට එන්න.. ලොකු දෙයක් කියන්න තියෙනව.."

කෙල්ල කියන්නෙ එච්චරයි..

සමහර විට කොල්ලා එන එකක් නෑ.. නාවොත් මොනවා කරන්නද කියල කෙල්ල දන්නෑ..

කොල්ලා එද්දි එකොළහයි.. කෙල්ල පැය එකාමාරක් ගංගාරාම පාර්ක් එන්ට්‍රන්ස් එක ලග හිටගෙන උන්නා...

නිල් ඩෙනිමට කහ පාට ශර්ට් එකක් ඇදන් උන්නු කොල්ලා දැක්කම කෙල්ලට ලෝබයි.. මේ අහිංසක පෙනුමට කෙල්ල හරි ආසයි.

"ඉක්මනට කියනවා මං දොළහ වෙද්දි යන්නොන.." යේෂාන් ඔරලෝසුව දිහා බලලා කියද්දි කෙල්ල හිනාවෙනවා..

"පැයක් ඕන නෑ යේෂාන්.. විනාඩි දෙකක් ඇති.."
කෙල්ල ලොකු තීරණයක් අරං ඉන්නේ...ඒක හරි කියල කෙල්ල දන්නවා..

"අපි මේක නවත්තමු යේෂාන්.. ඔයා..ට මා..ව ගැල..පෙන්..නෑ.." කෙල්ල වෙවුලන හඩකින් කියන්නෙ බේරේ වැව දිහා බලාගෙන..

කොල්ලා සද්ද නෑ.. කෙල්ල හැරිලා බලනවා.. කොල්ලා උන්නෙ ෆෝන් එක දිහා බලාගෙන..

"යේෂූ.. "

"ආ කියන්න අහං ඉන්නෙ.." ඒ ඇස් තාම තියෙන්නෙ ෆෝන් එකේ..

"අපි මේක නවත්තමු.." කෙල්ල ආයේම කියන්නේ බේරේවැවේ පාවෙන හංස බෝට්ටුවක් දිහා බලාගෙන..

"තමුසෙට ඕන ඒකනන් හෂී.. මට කිසිම අවුලක් නෑ..හැබැයි තැන තැන නහයෙන් අඩන්නෙපා මං බූට් එක තිබ්බා කිය..ලා..බායි මං යනව.."

කොල්ලා කිව්වෙ එච්චරයි..

ගල් පඩිපෙළ නැගලා ආපහු හැරිලා යන කොල්ලා දිහා කෙල්ල බොද වෙච්ච ඇස් වලින්..

කෙල්ල යකඩ පාළමෙ ඇවිදන් යනවා..

කොල්ලව පළවෙනි පාරටම හම්බුනේ මෙතනදි.. ඒ යාලුවුණ මුල් දවස් වල..

බේරේ වැව දිහා බලාගෙන දෙන්නා ඈතින් වාඩිවෙලා උන්නා..

හොරෙන් බලලා හිනාවුණා...

ඒ ආදරේ ලස්සනය් කියල කෙල්ලට හිතෙනවා..

ඇස් වලින් වැටෙන කදුළු කෙල්ල නවත්තන්නෑ.. අඩලා මිසක් මේ දුක ඉවරකරගන්න බෑ කියල කෙල්ල දන්නවා..

පැය දෙකක් එතනම උන්නු කෙල්ල ආපහු යකඩ පාළම දිගේ ඇවිදිනවා..

"ඔබ එක්ක ඇවිද ගිය මේ සොදුරු
මල් පාරේ
තනියෙන්ම යන්න වෙනු
එපා මට ආයේ..
පෑරුණත් හිත තාම සිහිවෙලා අපි
එක්ව උන් අතීතේ..
නුඹට ගැන වගක් නෑ මටත් මේ
නවතින්න කාලේ.. "

කෙල්ලට අහම්බෙන් වචන පේලියක් හිතට එනවා.. හශී කොහොමත් හරි ක්‍රියේටිව්..

ආදරේ කරපු මනුස්සයෙක් නැති උනාම ඒ දුක දරාගන්න අමාරුය් තමා..
කෙල්ල ගෙදර සේරටම හොරෙන් හූල්ලන්නෙ ඒකයි..

"හෂී උඹ මෙහෙම ඉන්න ඕන නෑ..කෝ ඉස්සර උන්නු චණ්ඩි කෙල්ල.."

කෙල්ල තමන්ගෙන්ම අහගන්නවා..

නානකාමරේ කණ්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා බලන් ඉන්නවා..

"ඌට පුළුවන් නම් මුකුත් නූනා වගේ උඹව අමතක කරලා දාන්න.. ඇයි උඹ ඔය මල ඉලව් ආදරේ ගැන හිතන්නෙ හෂී.. " කෙල්ල තමන්ගෙන්ම අහගන්නවා..

මාසයක් යනකම් කෙල්ල හීල්ලුවා.. දුකයි තමා.. ඒත් මැරෙන්නවත් අත පය කපා ගන්නවත් තරම් කෙල්ල මෝඩ නෑ..

කෙල්ල එෆ්බී එකට ලොග් වෙනවා.. හේතුවක් නැතුව..නිකං කම්මැලි කමට..

"Yeshan Sachintha Wijesooriya In a Relationship with Mishni Nathaliya "
වෝල් එක උඩින් තිබ්බ දේ දැකලා කෙල්ල උඩ විසි වෙනව.. කොල්ලා ලස්සන සුදු කෙල්ලෙක් එක්ක තුරුළු වෙලා ඉන්න ෆොටෝ එකකුත් කෙල්ල දකිනවා
"One day ago "

කෙල්ල එෆ්බී ගියපු මෝඩකම කියල හිතෙනවා..

විනාඩි දහයක් විතර මුකුත් හිතාගන්න බැරි උන කෙල්ල ඇස් වලින් හෝ ගාලා වැටුණ කදුළු පිහාගන්නවා..

මුළින්ම කලේ කොල්ලව එෆ්බී එකෙන් බ්ලොක් කරපු.එක.. මොකද කෙල්ලට තවත් බලාන ඉන්න බෑ මේවා..හයියක් නෑ..

තමන් ලග තිවුණ දෙන්නගේ හැම ෆොටෝ එකක්ම කෙල්ල ඩීලිට් කරනවා..

පරණ කුණු තියාගෙන හිත රිද්ද ගන්න කෙල්ලට ඕන නෑ.

කෙල්ල එච්චර මෝඩයෙක් නෙවේ..

කෙල්ල ඇඩුවා දුක් වුණා..ඒත් ලෝකෙටම පෙන්නුවේ නෑ..

හිත හිමීට හදාගත්තා.. කොල්ලගේ මතකෙන් ඈත් උනා..

කොල්ලව මතක් උන හැමදාම කෙල්ල ඇඩුවා...කාටත් හොරෙන්.

මාස හය හතක් යනවා.. කොල්ලා ගැන කිසිම ආරංචියක් කෙල්ලට ආවේ නෑ.. හේතුව කෙල්ල ඒවා හෙව්වෙ නෑ..

මේ ජීවිතේට වෙනසක් ඕන කියල කෙල්ලට හිතෙනව..

කවි, කතා කෙල්ල කවදත් ලිව්ව...
කෙල්ලට ලියන්න හැකියාවක් තියෙනවා...ඒක එයාම දන්නවා...

යාලුවෝ ඒවා කියවනවා.. "පොතක් ගහමුකෝ හශී.." හැමෝම කියන්නෙ එහෙම..

කෙල්ල හිතනවා නවකතාවක් ලියන්න..
තමන්ට පුළුවන් දේකින් ප්‍රයෝජනයක් ගන්න කෙල්ල හිතනව..

ලැප් එක උකුලේ තියාන කෙල්ල කතාව පටන් ගන්නවා..

නෑ කෙල්ලගේ කතාව නෙවේ..
පුංචි ආදර කතාවක්... බොළදත් ඇති..

ඔව් හැම ආදර කතාවක්ම ඩිංගක් හරි බොළද වෙනවා.. ඒක එහෙමම තමා..

කෙල්ල හිතනවා නිර්නාමිකව තමන්ගේ කතාව කාට හරි පෙන්නලා කොහොමද කිය..ලා අදහසක් ගන්න..

කෙල්ල කතාවේ පළවෙනි කොටස එෆ්බී එකට දාන්නේ.. ලයික් කමෙන්ට් ගන්න නෙවේ.. මේක ගැන අදහසක් ගන්න කෙල්ලට කෙනෙක් උන්නෙ නෑ..

කතාවේ පළවෙනි කොටසම තුන්සීයකට වැඩි පිරිසක් කියවනවා.. ලස්සනයි කියල කියද්දි කෙල්ලට සතුටුයි.. ඔව් දුක අමතක කරලා කෙල්ල හිනාවෙනවා..

කොල්ලව මතක් වෙන හැමතිස්සෙම කෙල්ල කතාව ලියන්න ගන්නේ කොල්ලගේ මතකෙන් ඈත් වෙන්න..

ඒක සාර්ථක වෙනවා..

කෙල්ල තමන්ගේ පළවෙනි ඔන්ලයින් නවකතාව එෆ්බී එකට දානවා..

කොල්ලව අමතක කරන්න බිසී වෙන්න ඕන නිසා කෙල්ල ටයිප් කරපු කතාව හරි ලස්සනට ඉවර වෙනවා..

සුබපැතුම් ගොඩයි..

හැමෝම කිව්වේ කෙල්ල දක්ෂ නිසා පොතක් ප්‍රින්ට් කරමු කිය..ල..

කවුරුත් කිව්වටම නෙවේ..

කෙල්ල දන්නවා කෙල්ලට හැකියාවක් තියෙනවා කිය..ල.. කෙල්ලට ඒ ගැන විශ්වාසයි..

ඒත් පොතක් පබ්ලිෂ් කරන්න තරම් කෙල්ලට වත්කමක් නෑ.. ගෙදර කියලත් මහ සල්ලිකාරයෝ නෙවේ..

ඔහොම ඉද්දි කෙල්ලට දවසක් අර ව්‍යාජ ෆේස්බුක් ගිනුමට මැසේජ් එකක් එනවා..

"ලස්සනයි නංගි ඔයාගේ කතාව..මං වැඩිය කතා කියවන කෙනෙක් නම් නෙවේ.. ඒත් ඔයාගේ සම්පූර්ණ කතාවම මං කියෙව්ව.. දක්ෂයි ඔයා.. කීප් ඉට් අප්.."

"චතුෂ්ක සදරු වික්‍රමරත්න " කියන කෙනාගෙන් ආව මේ මැසෙජ් එකට කෙල්ල රිප්ලයි කරනව

"ස්තූති" එච්චරයි..

හැමෝම කෙල්ලට කිව්වේ පොතක් පබ්ලිෂ් කරමු කියලමයි..
නිකං ඉදල කෙල්ලට පොතක් පබ්ලිෂ් කරගන්න බෑ කියල කෙල්ල දන්නවා.

කෙල්ල ජොබ් එකකට ඇප්ලයි කරනවා..
ඒ පොතක් පබ්ලිෂ් කරගන්න සල්ලි හොයාගන්න නිසාමයි..

කෙල්ල අද ඉන්ටර්වීව් යන්නෙ ගිණුම් කටයුතු වලට සම්බන්ධ ආයතනයක..විශාල කම්පැනි එකක් නම් නෙවේ..

කෙල්ල මේ වේකන්සිය දකින්නෙ පත්තරෙන්..

"ඒලෙවල් වලට කොමර්ස් කරලා තියෙන නිසා අමාරුවක් නැතිවෙයි.. IT දැනුමකුත් තියෙනවනෙ.."

ඉන්ටර්වීව් කලේම එතන ප්‍රධානිය උන අවුරුදු තිහක විතර කොල්ලෙක්..

"එහෙනම් මිස් හෂිනි සදුදා ඉදලා එන්න.."

කෙල්ලට සතුටුයි.. දෙයක් කරගන්න නම් මහන්සි වෙන්න ඕන කියල කෙල්ල දන්නවා.. මහන්සිවෙලා ජොබ් එකත් කරගන්න ගමන් පොතක් ලියාගන්න කෙල්ල හිතනවා..

අද ජොබ් එකේ පළවෙනි දවස..

ස්ටාෆ් එකේම උන්නෙ පහළවක් විතර.. හරි සුහදයි කට්ටියම..

ඔහොම දවස් ගානක් ගෙවිලා යනවා

"අද ස එන්නෑ කිව්වනේ.." පිරිමි ළමයෙක් කියනව ඇහුනේ නිකමට වගේ..

සර් ගේ නමට ආපු ලියුම් වගයක් එතන පියන් උන ගාමිණි, සර්ගේ මේසේ උඩින් ගෙනත් තියනව කෙල්ල දැක්කෙ කම්ප්ලීට් කරපු ෆයිල් එකක් මේසේ උඩින් තියන්න කෙල්ල සර් ගේ කැබින් එකට ගිය වෙලාවේ..

කෙල්ල එතනම උන්නු නිසා කෙල්ල ලියුම දකිනවා.

"Chathushka Sandaru Wickramarathna "කෙල්ලට මේ නම හරි පුරුදු බවක් දැනුණා..

එෆ්බී එකෙන් දවසක් ආපු මැසෙජ් එක කෙල්ලට මතක් වෙනවා.. කෙල්ලට ආපු පන් හයසීයක මැසේජ් අස්සෙන් කෙල්ලට සර් එවපු මැසේජ් එක තාම මතකයි..

ඒත් මේ ඒ කවිකාරි කියලා සර් දන්නෙ නෑ..

ඒක සර් ට කියන්නත් කෙල්ල හදිස්සි වෙන්නෙ නෑ..

ඔහොම මාස දෙක තුනක් ගෙවෙනවා..

කෙල්ලට රස්සාව අල්ලලා යනවා.. ඒ ගමන් කෙල්ල කතාවත් හීමිට ටයිප් කරගන්නවා..

මහ ලොකු සැලරියක් නම් ලැබෙන්නෑ.. ඒක කෙල්ල සකසුරුවමින් වියදම් කරන්නෙ..

පොතක් පබ්ලිෂ් කරන්න නිකං බෑ කියල කෙල්ල දන්නවා..

"ඔන්න ස බෝනස් දීලා අද.. " මාධව කිව්වේ ලොකු අයිසීන් කේක් එකක් ගෙනත් එයාගේ මේසෙ උඩින් තියන ගමන්..

හැමෝම නැගිටලා එතනට යනවා..

දැන් කෙල්ලට මේක අමුතුතැනක් නෙවේ.. හැමෝම සුහදයි..

"පෙරේදා ඉවරකරපු වැඩේ ගොඩ ගිහින් වගේ.." මේනකත් කියන්නෙ හිනාවෙවී..

අයිසීන් කේක් එක ඉවර කරන්න නම් මහ වෙලාවක් යන්නෑ..

"කට්ටියව ට්‍රිප් එකක් එක්කන් යන්න හිතුවේ වෙනසකටත් එක්ක.."

සර් තවත් දවසක කියද්දි කට්ටියට හරි සතුටුයි..

"කිතුල්ගල යමු ස.. දවසින් එන්න පුළුවන්නෙ.. එතකොට ගර්ල්ස් ලටත් ප්‍රශ්ණයක් නෑ.." මාධව යෝජනා කරන්නෙ එහෙම..

කොහොමින් කොහොම හරි ගමන ලෑස්තිවෙනවා..

ගෙදරට ටිකක් නහයෙන් අඩල තමා කෙල්ලට පර්මිෂන් ලැබෙන්නෙ..

කෙල්ල ලැප් එකත් අරගෙන ගමන යන්නෙ ඔෆිස් එකෙන් තමන්ගේ හොදම යාලුවා වෙච්ච උමාලිට තමන්ගෙ කතාව බලන්න ඕන කිව්ව නිසාමයි.

හැමෝම සිංදු කිය කිය යන ගමනේ උමාලි උන්නේ කෙල්ලගේ අතින් ටයිප් උන කතාවට පිස්සු වැටිලා වගේ..

හැමෝම බලන්න ගත්තා මේ මොකක්ද කිය..ල..

චතුෂ්ක සර්ටත් මේ ගැන ඉව වැටෙන්න වැඩිවෙලාවක් යන්නෑ..

" හීන දුන්නු ඇස් දෙකම - කදුළු දුන්විට මේ හැටිම
ඉවසන්නෙ කොහොම මම - යන්න කලියෙන් කියනවද.. "

මාධව හයියෙන් කියවපු කවියට කෙල්ලට ලැජ්ජ හිතුනා.. ලැප් එක ගෙනාව මෝඩකම කියල හිතන්න කෙල්ලට මහ වෙලාවක් යන්නෑ..

"හිතුවක්කාරයට-

කෝල දෑසින් කිව්ව දේවල්
නුඹට දැනිලද මංදා..
හැමදාම මේ නෙත් ලගට වී
පෑව දගකම් හිංදා..
නැතුව බැරි බැව් නුඹව මා හට
මා නොකීවත් පෙරදා..
දෑස් දෙස බැලුවොතින් නුඹටත්
දැනේවී එය සැමදා...

එවමි නුඹ වෙත පියාපත් වල
මගේ පෙම් කවි රංදා..
ගන්න නුඹ ඒ සමනලුන් සිනිදු
අත්තටු නොරිදා..
එවපු පෙම් කවි පියාපත් වල
හාදු වැස්සක් තියලා..
එවනවද ඉක්මනින් නුඹ හෙට
මම මග බලන හින්දා.."

මාධව කට හඩ වෙනස් කරන් කියද්දි කෙල්ලට දියවෙන්න හිතුනා..

"හොර කෙල්ලෙක්නෙ.. බොරු නමක් දාන් කතා දානවා නේද එෆ්බී එකට.." සර් ඇහුවේ කවුරුත් නැතුව කෙල්ලව තනි කරගෙන..
කෙල්ල ලස්සනට හිනාවුනා විතරයි..

"ඔයා හරි දක්ෂයි හශිනි.. මං ඔයාගේ කතාව අහම්බෙන් දැකලා කියෙව්වෙ..,"

සර් තවත් ගොඩක් දේවල් කියනවා..

කෙල්ල කියනවා එයාට මේ රස්සාවට එන්න හිතුණ හේතුව..

"මං උදව් කරන්නම් හෂි.. අපි පොතක් පබ්ලිෂ් කරමු.." දැන් දෙන්නා සුහදයි.. කොල්ලා කතා කලේ හෂී කියලමයි..

උදව්වක් ගන්න නම් කෙල්ලගෙත් අකැමත්තක් නෑ.. මොකද සර් කියන්නෙ දෙයක් හිතේ තියාන උදව් කරන කොල්ලෙක් නෙවේ කියලා හෂීට මේ මාස දෙක තුනටම තේරිලා තිබ්බේ...

කාලේ ඔහොමම ගෙවිලා යනවා..

අද කෙල්ලගේ පළවෙනි පොත දොරට වැඩීම

"සීත මීදුම්" එහෙම හැමෝගෙම අතට පත්වෙනව..
ඒක ලේසි කියල හිතුවට කොච්චර අමාරු උනාද දන්නේ හෂී විතරයි..

ඒවගේම චතුෂ්ක සර් නැත්තං කවදාවත් මෙච්චර ඉක්මනට තමන්ට පොතක් එළියට දාන්න බෑ කියල ත් කෙල්ල දන්නව..

දොරට වැඩීමේ උත්සවේත් පුංචියට ලෑස්ති කරන්නෙ සර් මයි..

අද තමා දවස..

ලා කහ පාටට හුරු ඔසරියක් ඇදලා කෙල්ල කොණ්ඩේ ගෙඩියට බදිනවා..

එහෙම ලස්සනයි..

කෙල්ලට වඩා මේ දේට මහන්සි වන සර් දිහා කෙල්ල ආසාවෙන් බලන් ඉන්නව..

"පිදුම"

-හිනාවුණ ඇස් වලට
කදුළු විතරක් දුන්නට
තාම මතකයි මට
නුඹ දුන් පොරොන්දු මා හට
හීන බිද දා දුරට
නුඹ ගියපු දා සිට
තේරුණා මටද..
සද අයිති අහසට
දුරින් හිද බැලුවට
අයිති නෑ මේ මට..
හැමදාම කිව්වට
අමතක කරාමයි කියා නුඹව..
හිතේ නුඹ උන්නු තැන
එහෙමමයි වෙනසක් නෑ තවම..
විරහවත් සුන්දරයි මට
නුඹෙන් ලැබුණ දා සිට
පුදන්නම් මේ පොත නුඹට
කොහේ උන්නත් සතුටින්
ඉන්න නුඹ එයයි ඕනෑ මට-

සරල උනාට පිදුම තිබ්බේ යේෂාන් ට.. කාලේ කොහොම උනත් හෂිගේ හිතෙ යේෂාන් තාම උන්නා..

"සීත මිදූම්"

පළවෙනි මුද්‍රණයේ පොත් සියයම විකිණෙනවා.. වැඩි කාලයක් යන්නත් කලින්..

දෙවනි ප්‍රින්ට් එකත් බාරදුන්නා..

කෙල්ලට සතුටුයි.. කියාගන්න බැරි තරම් සතුටුයි..

අද මේ යන්නෙ සර් ව ටිකක් තනියම හම්බෙන්න.. ඔෆිස් එකේදි හම්බෙලා බෑ කියල කෙල්ලට හිතුණා..

සර් පෑන් කේක් කන්න ආසයි කියල කෙල්ල දැනගත්තේ සර්ගේ කටින්මයි..

උදේම නැගිටලා අම්මට කියල පෑන් කේක් ටිකක් හදාගත්තේ සර් ට ගිහින් දෙන්න..

සමහර උදව් කරපු මිනිස්සුන්ට එහෙම සලකන්න ඕන..

"මට සර්ව ටිකක් හම්බෙන්න ඕන ". කෙල්ල කිව්වෙ එහෙමයි..

කොල්ලා ඉක්මනට එන්නෙ කෙල්ලව බලන්න.

"මේක සර් ට.." හෂී සර් ට පෑන් කේක් පාර්සලය පාන්නේ ගොල්ෆේස් එක ඉස්සරහ කොට බංකුවකදි..

බීච් එකට කෙල්ල ඉස්සර ඉදන්ම ආසයි..
.

චතුෂ්ක හෂිනි ගැන උනන්දුයි කියල හැමෝම දන්නවා.. ඒක නොතේරෙන්න තරම් හෂිත් මෝඩියක් නෙවේ..

"ගොඩක් පිං ස.. " කෙල්ල කියන්නෙ බීච් එක දිහා බලාගෙන..

කොල්ලා හිනාවෙනව..

"මෙච්චර ඉක්මනින් ම..ට මේ තැ..නට එන්න ලැබුනේ සර් නිසා.."

කෙල්ල වචන කරනවා..

"නෑ හශී.. ඔයා දක්ෂයි ඒකයි ."

වැඩිය කතාවක් වෙන්නෙ නෑ..

හිනාවෙනවා විතරයි..

"ඉස්සො වඩේ කමුද..!

කොල්ලා අහන්නෙ කඩයක් පාස් කරාන යද්දි.. කෙල්ල ඔළුව වනලා හා කියනව්..

එහෙමයි කතාව පටන් ගත්තේ..

"දෙවනි පොතත් පබ්ලිෂර් ඕකේ කරා හෂී.." හදිස්සියේ කෝල්.එකක්..

කෙල්ල උන්නෙ ගෙදර..

සතුටුයි ඉතිං...කෙල්ල උඩ පනිනවා.. අම්මල කවදත් කෙල්ලව නීති දාලා හැදුවේ නෑ..

ඒ විදියට ආපු ගමන..

අද කෙල්ල ලංකාවම දන්න නවකතා කාරියක් වෙලා..

නවකතා හතක් එළියට දානවා කෙටි කාලෙකින්..

එකට එකක් දෙවනි නෑ..

හැමදේම පස්සෙන් උන්නෙ ස..

කෙල්ලට එන දහසකුත් ඇමතුම් අතර්‍රෙ නාදුණන අංකෙකින් කෙල්ලට මැසේජ් එකක් එනවා..

"Mata oyawa hambenna oona Hashi.. mama yeSh"

කෙල්ල ස්ක්‍රීං එක දිහාම බලාගෙන චුට්ටක් ගල් වෙනව..

රිප්ලය් කරන්න දෙයක් කෙල්ලට තිවුනේ නෑ...

කෙල්ල එහෙමම මැසෙජ් එක ඩිලිට් කරනවා..

තරහකට නෙවේ.. දැක්කම දුක නිසා..
..

"මං ඔයාට කාලයක් තිස්සෙ දෙයක් කියන්න උන්නෙ හශි.." දවසක් චතුෂ්ක ස කියන්නේ හදිස්සියේ..

"කියන්න ස.."

"මං ඔයාට කැමති හෂි.. ඔයා කැමතිනම් මට ඕන ඔයාව මැරි කරන්න.."

හරි කෙලින් කියපු කොල්ලා දිහා කෙල්ල ඇස් ලොකු කරන් බලාන ඉන්නවා..

"ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි ස.." කෙල්ල එහෙම කියන්නෑ.. හැම කතාවකම වගේ ඒ වදන තියෙන්න ඕන නෑ..

"ගෙදරින් අහන්න ස.. අම්මලා කැමතිනම් මට ප්‍රශ්ණයක් නෑ.."

අම්මලගේ ආශිර්වාදේ තියෙනවනන් වැරද්දක් වෙන එකක් නෑ කියල කෙල්ල දන්නව..

කෙල්ල කොල්ලව අදුරගෙන අවුරුදු තුනක්..

අවුරුදු තුනක් යනකම් ඉවසීමෙන් බලන් උන්නු කොල්ලට අද සැනසීමයි.. හේතුව හිතේ තිබුණ දේ කෙල්ලට කියපු නිසා..

කොල්ලට අකැමතිවෙන්න තරම් හේතුවක් කෙල්ලට නෑ..

යේෂාන් කීප සැරයක්ම උත්සහ කරත් කෙල්ල යේෂාන් ව මගාරිනවා..

හේතුව චතුෂ්ක ස නෙවේ..

දාල ගිය යේෂාන් කෙල්ලට ආයේ ඕන වෙන්නෑ..

ඔය අතර කොල්ලා අම්මලා එක්කන් ඇවිත් කෙල්ලගේ ගෙදරින් අහනව..

"මං නම් ඕක කලින්ම දැනන් උන්නෙ..කොල්ලා උඹට කැමති කිය..ල.."
අක්කා විහිළු කරද්දි හෂී මුකුත් නොකියා හිනාවෙනවා..

එහෙම එක කතාවක් පටන් ගන්නවා..

උඩරට ක්‍රමයට මංගල ඇදුම් ඇදල හශීටත් චතුෂ්කටත් ලස්සනයි..

වෙඩින් එක ලොකුවට ගන්නවා..

කෙල්ලට යේෂාන්ව මතක් නොවුණා නෙවේ.. ඒ දුක හිතෙන අතීතේ කෙල්ල මතකෙන් හරි අමාරුවෙන් අමතක කරල දානවා..

කාලයක් යනවා
ඔය අතර කෙල්ලගේ පොත් නාට්‍ය පිටපත් වලට දෙන්න කියල අධ්‍යක්ෂවරුන් ඉල්ලීම් කරනවා..

කොල්ලා කියන්නෙ කෙල්ලගේ කැමත්තක් කිය..ල..
බලපෑමක් නෑ..

ඒ විදියට කෙල්ල තව ජන්ප්‍රිය වෙනවා..

"ක්‍රන්ගැජුලේෂන්ස් මිස්ටර් වික්‍රමරත්න ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ.."

ඩොක්ටර් කියපු දේ කෙල්ලට ඇහුනේ හීනෙකින් වගේ..

අදට බැදලා අවුරුද්දයි..

ඉතිං කෙල්ල අම්මා කෙනෙක් වෙන්න යනවා..

කොල්ලා හැමදේම කෙල්ලට ලගට ගෙනත් දෙනව..
ජීවිතේ හැම සතුටක්ම කෙල්ලට ලැබෙනවා..

"පරිස්සමින් හශී.. " හැමවෙලේම කොල්ලගේ කටේ තිබ්බේ ඒක..

"කෑවද හශී.. මොනාද ගෙන්නොන හවසට එද්දි.." කොල්ලා අහන්නෙ කෝල් කරලා..

"මුකුත් එපා.. ඉක්මනින් ගෙදර එන්න.."

කෙල්ල එහෙමයි කියන්නෙ..

දෙන්නගේ කතාව හරි ලස්සන කතාවක් වගේ ගලාගෙන යනවා..

දරුවා ලැබෙන්න අමාරු උනාම කෙල්ලට වඩා රිදුනේ කොල්ලට.

ලේබ රූම් එක ඉස්සර කලබලයෙන් එහාට මෙහාට දුවන කොල්ලා දිහා කෙල්ලගේ අම්මලත් කොල්ලගේ අම්මලත් ආසාවෙන් බලන් ඉන්නවා..

"නිදුක් දම්සිත් වික්‍රමරත්න" පුංචි බබාට නම තියන්නෙ එහෙම..

පත්තර වල කවර් වලට මේ පවුල හරි ලස්සනයි..

**
අද පුතාගේ පළවෙනි උපන්දිනේ..

"මුළින්ම කැළණියට ගිහින් ඊටපස්සෙ ළමා නිවාසෙට යන් හෂී.."

කොල්ලා කිව්වෙ එහෙම..
කෙල්ල හා කියනවා.. කොල්ලා කියන කිසිම දේකට කෙල්ල බෑ කියන්නෑ.. හේතුව කොල්ලා දෙයක් කිව්වොත් ඒක හරි නිසා..

කැළණියට ගිහින් පුංචි පුතාගෙ අතින් මල් පූජ කරවනව..

කාර් එකේ තිබුණ කෑම පාර්සල් ටික අතට ගත්තු කොල්ලා ගල් පඩිපෙළ ලග උන්නු යාචකයන්ට බෙදන්න ගන්නව..

"කෝ බබා දෙන්න.. හශී මේක බෙදාගෙන යන්න.."

කොල්ලා දරුවව අතට ගන්නෙ එහෙම කියල..

කෙල්ල බත් පාර්සලය අතට අරං එක මනුස්සයෙක්ට දෙනවා..

ඒ මනුස්සය උන්නෙ අනික් අයගෙන් ඈත් වෙලා..

"ආ මේක ගන්න.." කෙල්ල කියද්දි ඒ මනුස්සයා ඇස් උස්සල කෙල්ල දිහා බලනවා..

කෙල්ලගෙ අතින් බත් එකත් එතනම බිමට අතෑරෙන්න වැඩි වෙලාවක් යන්නෑ..

ඒ වැරහිලි ඇදගත්තු කොණ්ඩේ රැවුල වවාගත්තු ජරාවට උන්නේ වෙන කවුරුත් නෙවේ යේෂාන් කියල කෙල්ල අදුරගන්නව..

ඒ ඇස් වල එදා තිබ්බ නපුරුකම වෙනුවට මහ අසරණ කමක් තිබුණ කියල කෙල්ලට තේරෙනව..

යේෂාන් ගැන හැමදේම කොල්ලා දැනන් උන්නෙ

කෙල්ලගේ ඇස් තෙමෙන්නෙ ඒකමයි..

"යේෂාන්.." කෙල්ල කතා කරනවා..

චතුෂ්ක මුකුත් නොකියම බලාන ඉන්නව..

කොල්ලට මොකක් නමුත් ලෙඩක් තියෙනව කියල කෙල්ලට තේරෙනව..

කෙල්ලගෙ ඇස් වලින් හෝ ගාල කදුළු වැටෙනව..

චතුෂ්ක ගිහින් කොල්ලව නැගිට්ටනව..

මහ පුදුමෙකින් වගේ කොල්ලා ඒ මූණ දිහාත් කෙල්ලගේ මූණ දිහාත් පුදුමයෙන් බලනව..

වාහනෙ පිටිපස්සට කොල්ලව නග්ග ගත්තේ චතුෂ්කමයි..

ගෙදර එක්කන් ගිහින් චතුෂ්ක ගෙදර වැඩට ඉන්න මනුස්සයවත් එකතු කරන් කොල්ලව හොදට නාවලා රැවුල කොණ්ඩේ කප්පනවා..

හශී බලන් උන්නෙ යේශාන් දිහා නෙවේ.. චතුෂ්ක දිහා..

තමන්ගේ මහත්තයා දෙවියෙක් වගේ කියල කෙල්ලට හිතෙනව..

කෙල්ලට මතක් වෙනවා.. ඒ කාලේ..

යේෂාන් කොයිතරම් නම් ලස්සනද කිය..ල.. කොයිතරම් කෙල්ලො යේශාන් පස්සෙ ආවද කිය..ල..

කෙල්ලගේ ඇස් වලින් කදුළක් වැටෙනවා..

කොල්ලට හොද වැඩේ කියන්න තරම් කෙල්ලට දරුණු හිතක් තිබ්බෙ නෑ..

"මෙයාව හොස්පිටල් එක්කන් යනව මම.. ඔයා ඉන්න හෂි.. බබාව හොස්පිටල් ගානේ ගෙනියන්න ඕනනෑ."

කෙල්ල මුකුත් නොකියම හා කියනවා..

**

කොල්ලා ගෙදර එන්නෙ රෑ වෙලා...

කෙල්ල බබාව නිදි කරලම කොල්ල ලගට යන්නෙ යේශාන්ට මොකද කියල අහන්න.

"මිනිහා වැඩි කාලයක් ඉන්නෙකක් නෑ හෂී.."

කෙල්ල ඇයි කියල අහන් නැතුවම කොල්ලා දිහා බලාන ඉන්නවා..

"මිනිහට ඒඩ්ස්.."

කෙල්ල අඩියක් පස්සට විසි වෙනව..

"හොස්පිට්ල් ඇඩ්මිට් කරා මං.. ඉන්න කාලයක් බලාගන්නව මිසක් දැන් කරන්න දෙයක් නැ කිව්ව හෂී..

"මිනිහා ගොඩක් දුර්වල වෙල..

කෙල්ල අඩනව.. කොල්ලගේ පපුවට හේත්තුවෙලාම අඩනව.. වෙන මිනිහෙක් නිසා අඩන තමන්ගේ ගෑණිගේ හිස අතගාන කොල්ලා ගැන කෙල්ලට හරි පුදුමයි..
කොල්ලා දන්නවා හෂී මේ අඩන්නෙ දුකට අනුකම්පාවට කිය..ලා...හෂීව තේරුම් ගන්න කොල්ලට පුළුවන්..

පුළුවන් දවසට කෙල්ල චුට්ටක් ගිහින් කොල්ලව බලලා එනවා..

කොල්ල කෙනෙක්ව එතන නවත්තනව.. යේෂාන්ට තනියම වැඩක් කරගන්න බැරි නිසා..

මාසයක් දෙකක් යද්දි කොල්ලා තවත් වැහිරෙනවා..

එහෙන් මෙහෙන් බට දාල උන්නු යේෂාන් දිහා කෙල්ල දුකින් බලන් ඉන්නවා

කෙල්ල ඇවිල්ලා බලද්දි යේෂාන්ගේ ඇස් වලින් කදුළක් වැටෙනව..

"සමාවෙන්න හෂී.." යේෂාන්ට එහෙම කියන්න හිතෙන්නැති.. ඒත් කියන්න තරම් පණක් එයාට තිබ්බෙ නෑ..

යේෂාන්ගේ අවමගුල් වැඩ කලෙත් චතූශ්කමයි.. අඩු තරමේ ගෙදරින් වත් කෙනෙක් සහාබාගි උනේ නෑ.. යේෂාන් ලොකු කරන් උන්නු එක යාලුවෙක් වත් ආවේ නෑ..

කනත්තට යනකන්ම උන්නෙ චතුෂ්කයි.. චතුෂ්කගේ කම්පැනි එකේ කොල්ලො කෙල්ලො ටිකයි..

වෙන කවුරුත් නෑ..

කෙල්ලත් දරුවා චතූගේ අම්මට දීලා කනත්තට යනවා..

පස් පිඩක් ඒ පෙට්ටිය උඩට හෙලද්දිත් කෙල්ලගේ ඇස් වලින් කදුළක් වැටෙනවා.. .

ඔව් කෙල්ල අඩනව..
වාරු වෙන්නෙ චතුෂ්ක..

අඹමල් රේණුවක තරහක් වෛරයක් යේෂාන් ගැන කෙල්ලගේ හිතේ තිබ්බෙ නෑ..

***

අවුරුදු අටකට තමන්ගේ ජීවිතේ වෙනස්වුණ තරම ගැන හෂී කල්පනා කරනවා..

දුක් වෙන්න හේතුවක් තිබ්බෙම නෑ..

පුංචි පුතාට දැන් අවුරුදු හතරයි..

"කෝ අම්මට හග් එකක්.." මොන්ටිසෝරි යන බෑග් එක කොල්ලගේ කරට දාන ගමන් කෙල්ල පුතාට ලංවෙනවා..

පුංචි පුතා අම්මගේ කම්මුලක් ඉඹලම කාර් එකට නගිනවා..

"පරිස්සමින් මහත්තයෝ.." කෙල්ල කොල්ලගේ නලල ඉඹලම කෑම එක අතට දෙනවා..

"ඔයත් පරිස්සමින් හෂී.. ටයිල් වල ඇවිදිද්දි පරිස්සමින්..ලිස්සයි.."

කොල්ලා කියන්නෙ කෙල්ලගේ බඩට අතකුත් තියල..

මාස හතරක් උන කුසටත් අත තියානම කෙල්ල හිනාවීගෙන බලන් ඉන්නෙ ගේට් එකෙන් එළියට යන වාහනේ දිහා..

එදා කෙල්ල යේෂාන්ව අත් අරින්න ගත්තු තීරණේ ගැන අද කෙල්ල ගොඩක් සතුටු වෙනව..

"සමහර වෙලාවට අත් හැරීම තමා හොදම දේ වෙන්නෙ.. එතන තමන්ට රැදෙන්න බැරිනම්.. ලැබෙන්නෙ දුකම විතරනම් බලෙන් අල්ලන් ඉන්න හැමදේටම යන්න දෙන්න.. ඒක ඒවෙලාවට් දුකක් වෙන්න පුළුවන්..

ඒත් දවසක ඔයාටම තේරෙයි.. නොගැලපෙන දේවල් බලෙන් රදවගත්තට වඩා.. හැමදේම අතෑරලා දැම්මම ජීවිතේ ඉස්සරහටයන්න පුළුවන් කියල.."

කෙල්ල තවත් පොතක පසුවදනක් එහෙම ලියල ඉවර කරනවා..

****
*නිමි..*

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI