තනි වූ ඔහු

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"තනි වූ ඔහු"
කෙටි කතාව
"ගුඩ් මෝනින් සර්. මම ශෙනායා උඩවත්ත. මම නිදහස් මාධ්‍යවේදිනියක්." ශෙනායා වැඩිහිටි නිවාස පාලක තුමා ඉදිරියේ ඉඳගෙන කිව්වා.
"ගුඩ් මෝනින් දරුවෝ. මොකද්ද මගෙන් කෙරෙන්න ඕනෙ උදව්ව ඔයාට." වැඩිහිටි නිවාසෙ පාලක තුමා ඇහුවේ බොහොම ආදරෙන්.
"ම්ම්.. ඇත්තටම මට මේ නිවාසෙ ඉන්න තාත්තා කෙනෙක් එක්ක කතා කරන්න ඕනෙ. මේක මගෙ ජීවිතේට විශේෂ වැඩක්.. මගේ මාධ්‍යවේදී ජීවිතේට අවුරුදු දහයක් පිරීම වෙනුවෙන් පොතක් ලියන්න හිතුවා. ඒකට තොරතුරු ටිකක් ගන්නයි ආවෙ." ශෙනායා කියද්දිම පාලක තුමාට එකපාරම මතක් උනේ අමරසිරි මහත්මයාව.
"හ්ම්ම්... හොඳයි. එන්නකො එහෙනම්." පාලක තුමා පෙරමුණ ගත්තා. ශෙනායා ඒ පස්සෙන් ගියා. පාලක තුමා බොහෝ පිරිසක් පසු කරගෙන ගිහින් නතර උනේ බොහොම පිළිවෙලට අත් කොට කමිසයක් හා දිග කලිසමක් ඇඳලා අත් ඔරලෝසුවක් බැඳලා පිරිසිදුව ඉඳපු පියකරු පුද්ගලයෙක් ලඟ.
"අමරසිරි මහත්තයා.. මේ දරුවාට තොරතුරු වගයක් අවශ්‍යයිලු. ඔබතුමාට පුලුවන් නේද එයාට ඕන කරන තොරතුරු ටික දෙන්න." පාලක තුමා බොහොම ලඟ කෙනෙක් එක්ක කතා කරන විදියට කතා කලා.
අමරසිරි මහතාගෙ මුවේ ඇඳුනෙ බොහොම අපූරු සිනාවක්. ඒ හිනාව හරි පිරිසිදුයි. ශෙනායාට හිතුනෙ එහෙමයි.
"අපි එහෙනම් ටිකක් එහාට යමු නේද දෝණි. ඔබතුමත් එනවද?" අමරසිරි මහතා ශෙනායාට වැව පැත්ත පෙන්නන ගමන් පාලක තුමාගෙන් ඇහුවා.
"නෑ නෑ. එහෙනම් දුව අමරසිරි මහත්තයා එක්ක යන්න. පස්සෙ හමුවෙමු." පාලක තුමා මේ දෙන්නගෙන් සමු අරන් ආයෙම කාර්‍යාලය වෙත යන අයුරු මොහොතක් බලා ඉඳපු අමරසිරි මහතා පෙර පියකරු සිනාවෙන්ම ශෙනායා දිහා බලලා ඉස්සර උනා. ශෙනායා ඒ පසු පසින් ඇදුනෙ මේ මහළු මිනිසාගෙ වයස සහ ගමන් විලාශය අධ්‍යනය කරමින්.
"තාත්තගෙ වයස කීයද?" ශෙනායා ඇහුවෙ යන අතරමගදි. අමරසිරි මහතා ගමන නැවැත්තුවා.
"තාත්තා.... ජීවිත කාලෙම අහන්න ආස කරපු. ඒත් කවදාවත් අහන්න බැරි උන ආමන්ත්‍රණයක්." දිග සුසුමක් හෙලමින් කියපු අමරසිරි මහතාගෙ ඇස් වල මෙතෙක් තිබූ කාන්තිය වෙනුවට මොකද්දෝ අඳුරක් පැතිරිලා ගියා.
"සොරි මම එහෙනම් අංකල් කියන්නද?" ශෙනායා ඉක්මණින් ඇහුවා.
"අංකල් කියන්න එපා. සීයා කියන්න. මට දැන් අවුරුදු අසූවක්." අමරසිරි මහතා ශෙනායාගෙ සීයගේ වයසෙ විතර උනත් ඔහුට තිබුනෙ ඊට වඩා අවුරුදු විස්සකට විතර මෙහා පෙනුමක්. ඒවගේම ඒ කටහඬේ පවා බොහොම ජව සම්පන්න බවක් රැඳී තිබුනා. මේ තරුණ පෙනුමැති පියකරු මහත්මයාට සීයා කියන්න ශෙනායාගෙ දිව නැමුනේ නෑ.
"හිතන්නත් බෑනෙ. තරුණකම රැකගන්න මොනවද අංකල් කලේ?" ශෙනායා හිනාවෙවී ඇහුවා. ඇය මේ අහන්නෙ ඇගේ ආව වැඩේට ඒ තරම් වැදගත්කමක් නැති දේවල්.
"මම කෑම බීමෙන් ගොඩාක් පරිස්සම් වෙනවා. එක්සර්සයිස් කරනවා. සතුටින් ඉන්නවා හිනා වෙලා. මම කැමතියි තරුණ විදියට ඉන්න." අමරසිරි මහතා හිනා වෙලා කිව්වා.
"තරුණයි තමයි. හිනාවෙන් කතාවෙන් ඇවිදින විදියෙන් මේ හැමදේකින්ම පේන්නෙ අංකල්ගෙ තරුණකම." ශෙනායා තව දුරටත් කිව්වා.
"මෙතනින් ඉඳගමු නේද?" අමරසිරි මහතා වැවක් අද්දර තියෙන කපාහෙලපු ගස් කොටන් කෑලි දෙකක් පෙන්නලා ඇහුවා. ශෙනායා හිනාවෙලා වැව පැත්ත බලාගෙන ඉඳගත්තා.
"කියන්න බලන්න දෝණිට මොනවද මගෙන් දැනගන්න ඕනෙ." අමරසිරි මහතාත් ලී කොටය උඩ ඉඳගෙන ඇහුවා.
"මට අංකල්ගෙ කතාව අහන්න ආසයි. අංකල් වගේ සතුටින් ඉන්න කිසිම කෙනෙක් මම දැක්කෙ නෑ මෙහෙදි. මෙහේ ඉන්න හැමෝම ඉන්නෙ දුකෙන් වගේ පේන්නෙ. ඒත් අංකල් එහෙම නෑ. මට ඒ හේතුව දැනගන්න ඕනෙ." ශෙනායා එහෙම කියලා ඇගේ වොයිස් රෙකෝඩරය ඔන් කරන් නිශ්ශබ්දව අහන් හිටියා.
"මම අමරසිරි ඉද්දමල්ගොඩ. මම චිත්‍ර ශිල්පියෙක්. මට හිටියා මල්ලි කෙනෙක්. අම්මයි අප්පච්චියි මමයි මල්ලියි. පුංචි පවුලක්. අපි හරි සතුටින් ජීවත් උනා. හරියට යාලුවො වගේ. හතර දෙනාට හතර දෙනා නැතුව බෑ. අම්මයි අප්පච්චියි අපි දෙන්නට ඕනවටත් වඩා ආදරේ දුන්නා. කොහොම හරි අප්පච්චිට ඕනෙ උනා මම හොඳට ඉගෙන ගන්නවා දකින්න කැම්පස් යනවා දකින්න. ඉතින් මම හොඳට ඉගෙනගත්තා. කැම්පස් ගියා. උපාධිය ගත්තා. අම්මට ඕනෙ උනා මම ගුරුවරයෙක් වෙනවා දකින්න. මම ගුරුවරයෙක් උනා. දුර පළාතකට තමයි මගේ පළවෙනි පත් වීම. අනුරාධපුරේ ටිකක් දුෂ්කර ගමක තිබුනෙ ඒ ඉස්කෝලෙ. මුලු ඉස්කෝලෙටම ලමයි 78යි හිටියෙ. ඒ කාලෙ කොහොමත් ඉස්කෝල ගොඩක් දියුණු නෑ. මම ඉඳපු පැත්තේ හවස් වෙද්දි මිනිස්සු එලියට බහින්නෙවත් නෑ. හරියට අලි ඉන්නවා. හවස් වෙද්දි අලි පාරට එනවා." අමරසිරි මහතා කෙටියෙන් කියන්න පටන් ගත්තා.
"ඒ කාලෙ නිතරම මට ගෙදර එන්න වෙන්නෙ නෑ. මල්ලිත් එක්සෑම් ඉවර වෙලා ගෙදර හිටියෙ. ඉතින් අම්මලා එනවා මාව බලන්න. එක දවසක් අප්පච්චියි අම්මයි මල්ලියි මාව බලන්න අනුරාධපුරේ එද්දි වාහනේ කැඩිලා ටිකක් රෑ වෙලා තිබුනා.. එදා මගදි වාහනේට අලි ගහලා ඒ තුන් දෙනාම මැරුණා." අමරසිරි මහතාගෙ ඇස් අග්ගිස්සෙන් කඳුලක් රූටලා බිමට වැටුනා.
"එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතුව ඉන්න බැරි පවුලක ඒ තුන් දෙනාම නැතුව මම තනි උනා. ඊට පස්සේ.... හ්ම්ම්ම්..." අමරසිරි මහතා දිගු සුසුමක් හෙලලා කඳුලු පිහිදාගත්තා. ශෙනායා අහන් හිටියෙ ඇස් වල කඳුලු බිමට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි.
"මම කාලෙත් එක්ක තනිකමට හුරු උනා. ඒ කාලෙ මම පාරට බැස්සෙ හැන්දෑවටමයි. අලියෙක් ඇවිත් මටත් ගහපං කියලා හිතාගෙනයි මම එළියට බහින්නෙ ඉස්සර." අමරසිරි මහතාට පරණ දේවල් මතක් උන නිසා දුකයි. අර පියකරු හිනාව ඇස් වලින් ගිලිහිලා දුක විතරක්මයි මුළු මූණෙම පිරිලා තිබුනෙ.
"ඒ මානසිකත්වෙන් මිදිලා ජීවත් වෙන්න ආසාවක් ඇති උනේ කෙනෙක් නිසා. සුධර්මා . එයා හරි ලස්සනයි. අපේ ඉස්කෝලෙට ආව අලුත් ටීචර්. මම ඒ කාලෙත් හැන්ඩියා. ජීවිතේ ගැන කලකිරිලා ඉඳපු මට ජීවත් වෙන්න ඉගැන්නුවෙ එයා. එයාට මම ආදරේ කලා." ඒක කියද්දි නම් හරි අපූරු හිනාවක් ඇඳුනා අමරසිරි මහත්මයාගෙ මූණෙ. ශෙනායා මවාගන්න අසීරු උත්සාහයක යෙදුනා සුධර්මාට ආදරෙන් ඉන්න තරුණ අමරසිරි මහතාව.
"එයා දන්නෙත් නෑ මම එයාට ආදරේ කරපු බව. ඒ උනාට ඒ කාලෙ හරි සුන්දරයි. උදේට එයා එනකන් මම පාරෙ නැවතිලා බලන් ඉන්නවා. එයා ආවාම එයත් එක්ක ඉස්කෝලෙට යනවා. කෑම කෑවෙ එකට. නිවාඩු දවසට ඇවිදින්න ගියේ එකට. අපි අපේ ජීවිත ගැන ගොඩක් දේවල් කතා කලා. එයා ගොඩාක් දුක් උනා මගේ අම්මයි අප්පච්චියි මල්ලියි ගැන. එයා මට සැලකුවෙ එයාගෙම ලොකු අයියට වගේ. ඒකට හේතුව මම පස්සෙයි දැනගත්තෙ. එයා කසාද බැඳපු කෙනෙක්. ඒක දැනගත්තට පස්සෙත් මම එයාට නිහඬවම ආදරේ කලා. එයාව මගේ ම කරගන්න තරම් ආත්මාර්ථකාමී හැඟීමක් මට තිබුනෙ නෑ. මම කොහොමත් තනි උන මිනිහෙක්නෙ." අමරසිරි මහතාගෙ කටහඬ බිඳුනා. ශෙනායා නැගිටලා අමරසිරි මහතා ලඟ දණ ගහගෙන ඉඳගත්තා.
"දුකයි නේද? අපි ටිකක් වෙලා වැව දිහා බලන් ඉමු. මම ආසයි එහෙම බලන් ඉන්න. චුට්ටක්වත් කතා නොකර." ශෙනායා හිනාවක් මූණෙ තියාගෙන කියාගෙන ගියා. අමරසිරි මහතා බලාගෙන හිටියා ශෙනායාගෙ මූණ දිහාම. " මේ මූණ හරිම පිරිසිදුයි. අහිංසක සුන්දරත්වයක්." අමරසිරි මහතා හිතුවා.
"කමක් නෑ ඒ දුක අතීතයට අයිති. අපි ජීවත් වෙන්නෙ වර්තමානෙනෙ. අපි කතා කරමු. මට වෙලාව තියෙන්නෙ තව විනාඩි විස්සයි." අමරසිරි මහතා අත් ඔරලෝසුව දිහා බලලා කිව්වා.
"ඇයි විනාඩි විස්සක්?" ශෙනායා ඇහුවෙ පුදුමෙන්.
"තේ වෙලාව. මම කවදාවත් තේ වෙලාව අමතක කරන්නෙ නෑ." අමරසිරි මහතා අර මුලින් මූණෙ තිබුනු පියකරු බවෙන් යුතුව කිව්වා.
"ඉතිං අපි දෙන්නම අද එකට තේ බොමු. ඒ අතරෙත් කතා කරන්න පුලුවන්නෙ." ශෙනායා යෝජනා කලා. අමරසිරි මහතා හිනාවෙලා එකඟ උනා.
"හරි... එහෙනම් දැන් කියන්න.. සුධර්මා කසාද බැඳපු කෙනෙක්. ඊට පස්සෙ?" ශෙනායා ඇහුවා.
"එයාගෙ මහත්තයා දේශපාලකයෙක්ගෙ උදව්වෙන් සුධර්මාව එයාගෙ ගමේ ඉස්කෝලෙට මාරු කරවගත්තා. මම ආයෙත් තනි උනා. සුධර්මා මට පෙම්වතියක් නෙමෙයිනෙ. එයා මට හොඳ යාලුවෙක්. ඉතින් අන්තිමට මට මගෙ යාලුවත් ආදරෙත් දෙකම නැති උනා. කාලය හරි හෙමින් ගෙවුනෙ. අවුරුදු විසිතුනක් ගෙවුනා. මම කාලය ගැන හිතුවෙ නෑ. කසාදයක් පවුල් ජීවිතයක් දරුවෙක් මේ කිසිම දෙයක් ගැන හිතුවෙ නෑ. මම අද දවස ගැන විතරයි හිතුවෙ. ඒත් දවසක්..." අමරසිරි මහතා වැව දිහා බලාගෙන කතාව නැවැත්තුවා.
"මොකද උනේ?" ශෙනායාට ඉවසිල්ලක් නෑ කතාව අහගන්නකන්.
"දවසක් මගෙ ජීවිතේම වෙනස් කරන ලිපියක් ලැබුනා. ඔව්... මට මාරුවක් ලැබුනා කොළඹට. මම ඒක බාරගෙන ආවා. ඒ ඉස්කෝලෙදි මට හමු උනා හොඳ ගෝලයො ටිකක්. මම ඉගැන්නුවෙ චිත්‍ර ශිල්පය. මගේ ශෛලියත් වෙනස්. වයසට ගියාට මම කොල්ලා වගේ ඉන්න නිසා මගෙ වටේට දරුවො ගොඩක් එකතු උනා. මම පොඩි දරුවන්ට ගොඩක් ආස කලා. ඒ නිසාම මට ආසවක් ඇති උනා කසාද බැඳලා දරුවෙක් හදාගන්න. මට මගේ වයස ගැන හිතුනෙ නෑ. මට එතකොට අවුරුදු හතලිස් අටක්. කෙල්ලෙක්ව යාලු කරගන්න තේරෙන්නෙත් නෑ. ඒ නිසාම මම කපුමහත්තයෙක් හොයාගෙන කිව්වා මට මනමාලියෙක් හොයලා දෙන්න කියලා." අමරසිරි මහතා කියද්දි ශෙනායාට පුදුමත් හිතුනා.
"අවුරුදු හතලිස් අටෙන්???" ශෙනායා ඇහුවෙ ඒ පුදුමෙන්මයි.
"ඔව්. මට දැනුනෙ නෑ මට ගොඩක් වයසයි කියලා. කොහොමත් මට වයසක් පෙනුනෙත් නෑ ඒ තරම්. මම ඒ කාලෙ ඉඳන්ම මගේ පෙනුම ගැන සැළකිලිමත් කෙනෙක්. ඒ වෙද්දි මට තිබුනෙ අවුරුදු තිහක තිස්පහක පෙනුමක්." අමරසිරි මහතා හරි ආඩම්බරෙන් කිව්වා.
"ඉතිං?" ශෙනායා නොඉවසිල්ලෙන් අහන්නෙ.
"මම කපුමහත්තයාට කිව්වෙ වයස තිස් තුනයි කියලා. අවුරුදු තිස්තුනක කඩවසම්, ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක්ට විශේෂයෙන් චිත්‍ර ශිල්පියෙක්ට අකමැති වෙන ගෑණියෙක් ඉන්නවද? අනික මට කොළඹ හොඳ ගෙයක් තිබුනා. ඉතින් කපු මහත්තයා මගේ ෆොටෝ එක පෙන්නපු පලවෙනි ගෙදරින්ම මට කැමති උනා. මම ලඟින්ම ආශ්‍රය කරපු මගෙ යාලුවෙක් හිටියා. කැම්පස් එකේ ඉඳන්ම යාලුවො අපි. මම කොළඹට ආවට පස්සෙයි අපි ආයෙම කිට්ටු උනේ. ඒ යාලුවයි එයාගෙ නෝනයි මායි ගියා මනමාලි බලන්න. මම කිව්වෙ ඒ දෙන්නා මගේ අයියයි අයියගෙ නෝනයි කියලා. එයා සඳරේඛා. එයා කැමති උනා මට. එතකොට එයාට අවුරුදු විසි හතයි. මගේ හිතට පොඩි ගැස්මක් නොදැනුනාම නෙමෙයි. ඒත් එයා මට කැමති උනානෙ.." අමරසිරි මහතා කිව්වා.
"බොරු කිව්වෙ ඇයි? පස්සෙවත් එයාට ඇත්ත කිව්වෙ නැද්ද?" ශෙනායා ඇහුවෙ අපැහැදිලි හැඟීමෙන්.
"පස්සෙ කියනවා කියලා හිතුවා. මම හිතුවා එයා මගේ වයස ගැන හිතන එකක් නෑ කියලා. නෑදෑයොත් නැති එකේ සාමාන්‍ය විදියට කසාදෙ රෙජිස්ටර් කෙරුනා. ඒ කාලෙ කසාදෙට කලින් ඔය දැන් වගේ දෙන්නා අතරෙ මහ ලොකු කතා බහක් කෙරෙන්නෙ නෑනෙ. කසාද බැඳලා ඇවිත් මාස දෙකකට විතර පස්සෙ තමයි එයා දැනගත්තෙ මගෙ නියම වයස. එදා එයා මට ගොඩාක් දොස් කිව්වා. බැනලා බැනලා එයා ගෙදරින් ගියා. එයාට දුක හිතෙන්න ඇති. කොච්චර ආදරේ උනත් මම එයාට හැංගුවනෙ මගෙ වයස. අනික එයාගෙයි මගෙයි වයස් පරතරය අවුරුදු 21ක්. එයා වැරදි නෑ. කොහොම හරි මම ආයෙමත් තනි උනා. සඳරේඛා මගෙන් ඩිවෝස් උනා. මගේ ඉස්කෝලෙ හැමෝම දැනගත්තා වයිෆ් මාව දාලා ගියා කියලා. ලැජ්ජාව නිසා මම ඉස්කෝලෙන් අයින් උනා. මම ආයෙම දුර පළාතක ඉස්කෝලෙකට මාරුවක් ගත්තා. අවුරුදු දොළහකට පස්සෙ මම විශ්‍රාම ගියා. මට අවුරුදි හැටෙන්. ඒ වෙද්දි මගේ හීන සේරම බිඳිලා ගිහින්. මට නැති වෙන්න දෙයක් තිබුනෙත් නෑනෙ. අම්මා අප්පච්චි මල්ලි පෙම්වතිය බිරිඳ මේ හැමෝම මට නැති උනා. මම ආයෙම කොළඹට ගිහින් කෙලින්ම ගියේ මගෙ යාලුවගෙ ගෙදර. අවුරුදු දොළහකට පස්සෙ. මම ඉඳපු තැනක් මුකුත්ම ඒ කවුරුවත් දන්නෙ නෑ. මම යද්දි එහේ ලොකු පාටියක්." අමරසිරි මහතා කතාව නැවැත්තුවෙ තේ අරගෙන වැඩිහිටි නිවාසෙ සේවකයෙක් එනවා දැකපු නිසා.
ශෙනායා තේ එක අතට අරගෙන ආයෙම කතාව පටන් ගන්නකන් බලාගෙන හිටියා. තේ එක බොන අතරතුරේ අමරසිරි මහතා ආයෙම කතාව පටන් ගත්තා.
"මගෙ යාලුවගෙ පුතාගෙ අවුරුදු විසි පහේ බර්ත් ඩේ පාර්ටි එක. මම ගෙදරට යද්දි මගේ යාලුවයි වයිෆ්නුයි දෙන්නම පුදුමෙන් මගේ දිහා බලාගෙන හිටියෙ. මාත් බලන් හිටියා. මට ලෝබ හිතුනා මම නියම වයසෙදි කසාද බැන්දා නම් මටත් මේ වගේ කරදඬු උස් උන පුතෙක් ඉඳියි නේද කියලා.. මගේ යාලුවා ඇවිත් මගේ කරට අතක් දාගෙන යමං ඇතුලට කියල එක්කන් ගියා. සෙනග ගොඩක් හිටියා. ඒ අතරෙ මට හොඳට හුරු මූණක් තිබුනා. ඔව් සඳරේඛා. එයාගෙ ලඟම හිටියා පිරිමි කෙනෙක්. ඒ එයාගෙ දැන් හස්බන්ඩ් වෙන්න ඇති. එහෙමයි මට එදා හිතුනෙ. සඳරේඛා මාව දැකලා අහක බලා ගත්තා. ඒ කාලෙට වඩා එයා ලස්සන වෙලා. මහත් වෙලා. මට අද වගේ මතකයි." අමරසිරි මහතා ආයෙත් ඇස් වලට නැගුණු කඳුලක් පිසදාගත්තා. දුක නැද්ද තමන්ගෙ බිරිඳ වෙන කෙනෙක් ලඟ ඉඳන් තමන්ව දැකලා අහක බලාගත්තම.
"ටික වෙලාවකින් පාටිය ඉවර වෙලා හැමෝම ගියා. සඳරේඛාත් එයාගෙ හස්බන්ඩ්නුයි පුතයි එක්ක ගියා. එයාලා එදා රෑ ෆ්ලයිට් එකෙන් පිටරටකට ගියා. ඒ පුතා ඇවිත් යන්නම් අංකල් කියලා මටත් කියලයි ගියේ." අමරසිරි මහතා හිනාවකින් කිව්වෙ ඒක.
"කට්ටියම ගියාට පස්සෙ මගේ යාලුවාගෙන් මම ඇහුවා සඳරේඛාගෙ ගැන විස්තර. එතකොට තමයි ඌ කිව්වෙ ඒ ගියේ මගේ දරුවා කියලා. මගෙයි සඳරේඛාගෙයි පුතා. මම කොළඹින් ගිහින් මාසෙකට පස්සෙයි එයා දැනගෙන තියෙන්නෙ එයා ප්‍රෙග්නන්ට් කියලා. යාලුවා කියලා මාව හොයාගමු කියලා. ඒත් සඳරේඛා කැමති වෙලා නෑ. අන්තිමට මගේ ලෙයින් ඉපදුන දරුවා මට අංකල් කියනවා අහන්න තරම් මම අවාසනාවන්ත උනා. මම එවෙලෙම එයාර්පෝර්ට් එකට ගියත් මම යද්දි එයාලා ගිහින් ඉවරයි. මම බිම දණගහන් ඇඬුවා වැළපුනා. එකම එක පාරක් හරි මගේ දරුවා මට තාත්තා කියනවා අහන්න මම ආසා කලා. ඒත් මම ආස කරපු දේ ලබාගන්න මට පිං මදි උනා." අමරසිරි මහතාගෙ ඇස් වලින් කඳුලු වැටෙද්දි ඊට වඩා වේගෙන් ශෙනායාගෙ ඇස් වලින් කඳුලු වැටුනා.
"අනේ.... එයා කවදාවත් දැනගත්තෙ නැද්ද අංකල් තමයි එයාගෙ තාත්තා කියලා." ශෙනායා අමරසිරි මහතාගෙ අත් දෙකෙන් අල්ලන් ඇහුවා.
"දන්නෙ නෑ දෝණි. එයාලා කියන්න නැතුව ඇති. මම මගේ වයස හංගපු එකට එයා දුන්නු දඬුවම ලොකු වැඩියි. මගේ දරුවා මට අංකල් කිව්වා. තාත්තා කියන වචනෙ මගෙ දරුවගෙ කටින් අහන්න තරම් මම පිං කරල තිබුනෙ නෑ." අමරසිරි මහතා පොඩි දරුවෙක් වගේ ඇඬුවේ ඔහුගේ පරණ මතක අලුත් උන නිසා වෙන්න ඇති. ශෙනායාට දුක හිතුනේ සමහර විට මේ ඔහු අමතක කරන්න උත්සාහ කල මතකයක් වෙන්න ඇති කියලා ඇයට දැනුනු නිසා.
"ඒත් තිත්ත ඇත්ත අමතක කරලා හිනා වෙලා සතුටින් ඉන්න තරම් අංකල් ධෛර්‍යවන්තයි. ඒ අතින් අපි කොච්චර දුර්වලද. අපි මේ පුංචි දේවල් අල්ලගෙන කොච්චර දුක් විඳිනවද. ඒ අතින් මට ආඩම්බරයි අංකල් වගේ කෙනෙක් එක්ක කතා කරන්න ලැබුනු එකටත්." ශෙනායා කිව්වෙ අමරසිරි මහතාගෙ හිත හදන්න විතරක්ම නෙමෙයි. ඇය දන්න යථාර්ථය එය නිසයි.
ශෙනායා මොහොතක් නිහඬව බලාගෙන හිටියා. හරි අපූරු විදියට අමරසිරි මහතාගෙ මූණෙ ඉරියව් වෙනස් වෙලා සුපුරුදු පියකරු බව මූණට ආවා.. ශෙනායා බලන් හිටියේ පුදුමෙන්.
"මේ තරම් දුකක් දරාගෙන හිනාවෙලා ඉන්න අපූරුව. අන්තිමට තමන්ගෙ ලෙයින් ඉපදුනු දරුවත් නැති උනා. කොච්චර නම් තනි වෙලාද." ශෙනායා ඒ පියකරු මුහුණ දිහා බලාගෙනම හිතුවා.
"ඔයාට දැනගන්න ඕනෙ උන තොරතුරු ලැබුනද දෝණි?" අමරසිරි මහතා සුපුරුදු පියකරු සිනාව මුහුණ මත තියාගෙන ඇහුවා. ශෙනායා හිස වැනුවෙ ඔව් කියන්න. ඊට පස්සෙ දෙන්නම ආයෙත් වැඩිහිටි නිවාසය දෙසට පා තැබුවා.
"දෝණි ඔය තොරතුරු වලින් මොකද්ද කරන්න යන්නෙ?" අමරසිරි මහතා හිනාවෙලා ඇහුවා.
"මම පොතක් ලියනවා අංකල්." ශෙනායා කිව්වා.
"එහෙනම් මම ඒකෙ පිට කවරෙට මගේ ගානෙ චිත්‍රයක් ඇඳලා දෙන්නම්." අමරසිරි මහතා කියද්දි ශෙනායා ගොඩක් සතුටු උනා.
"අංකල් තාමත් චිත්‍ර අඳිනවද?" ශෙනායා ඇහුවෙ පුදුමෙන්.
"ඔව් ඔව්... මම ඔයාට ලස්සන චිත්‍රයක් ඇඳලා දෙන්නම්කෝ..." අමරසිරි මහතා නොවෙනස් පියකරු සිනාවෙන්ම කිව්වා.
ශෙනායා අමරසිරි මහතාගෙන් සමු අරන් පාලක තුමාගෙ කාර්‍යාලය දෙසට ගියේ ඔහුට ස්තූති කරන්න.
"එන්න දරුවෝ. ඉඳගන්න. තොරතුරු ටික ලැබුනා කියලා හිතනවා." පාලක තුමා ඇහුවා.
"ඇත්තටම ඔව්. ඔබතුමාට ගොඩාක් ස්තූතියි මට අමරසිරි අංකල්ව මුණ ගැස්සුවාට. මට දැන් මගේ පොත ලියන්න පුලුවන් කිසිම අඩුවක් නැතුව.." ශෙනායා හිනාවකින් මුව සරසගෙන ස්තූතිපූර්වකව කිව්වා. ඇය ඇගේ වොයිස් රෙකෝඩරය ප්ලේ කලා. සේරම නැතත් ටිකෙන් ටික යව යව පාලක තුමා අමරසිරි මහත්මයාගෙ ජීවිත කතාවට සවන් දුන්නා.
"අමරසිරි මහත්තයා හිනා වෙලා හිටියට එයාගෙ හිතේ ලොකු දුකක් තියෙන බව මට දැනිලා තිබුනෙ දරුවෝ. හැබැයි එයා කාටවත් එයාගෙ දුක පෙන්නුවෙ නෑ. අනිත් හැමෝටම වඩා සතුටින් සැහැල්ලුවෙන් එයා ජීවත් උනේ. ඒ නිසයි මම ඔය දරුවට කතා කරන්න එයාවම තෝරලා දුන්නෙ. මම හිතනවා දැන් එයාගෙ හිතත් නිදහස් ඇති කියලා. බොහොම ස්තූතියි ඔය දරුවා මෙහෙට ආවට." පාලක තුමා ඇසට නැගුණු කඳුලක් පිසදාලා ශෙනායාට ස්තූති කලා.
අමරසිරි මහතා චිත්‍රයට නැගුවේ ඔහුට මතක තිබුණු අවුරුදු එකොළහක් වයසැති ඔහුගෙ පුංචි පුතාගෙ රුව කවරයේ ඉදිරිපසට සහ ශෙනායාගෙ සුන්දර මුහුණ කවරයේ පිටුපසට යොදලා. මාසෙකට පස්සෙ ශෙනායා වැඩිහිටි නිවාසයට එන්නෙ කවරයේ චිත්‍රය ලබාගන්න.
"අංකල් පේන්ටින් එක රෙඩිද?" ශෙනායා ඇහුවෙ අමරසිරි මහතාගෙ ලඟට ගිහින්. අමරසිරි මහතා සුපුරුදු සිනාවෙන්ම කාමරේට ගිහින් චිත්‍රය අරන් ඇවිත් ශෙනායාට දුන්නා. චිත්‍රය දැකපු ශෙනායාට කතා කරගන්න බැරි උනා.
"මේ... මේ... බෝයි කවුද අංකල්?" ශෙනායා ඇහුවෙ අමරසිරි මහතාගෙ පුතුගේ රුව දැකලා.
"මේ ඉන්නෙ මගේ පුතා." අමරසිරි මහතා සිනාවෙන්ම පිළිතුරු දුන්නා.
"නේත්‍ර කියන්නෙ ඔයාගෙ පුතාද?" ශෙනායා ඇහුවෙ ඇස් ලොකු කරන්.
"නේත්‍ර කිව්වෙ?" අමරසිරි මහතා අන්දමන්ද වෙලා ඇහුවෙ ඔහු පුතුගේ නම නොදන්න නිසා.
"නේත්‍ර කියන්නෙ මගෙ හොඳම යාලුවෙක්. මේ පේන්ටින් එකේ ඉන්නෙ එයාමයි. ඔව් මට ශුවර්. මේ එයාමයි. මේ ෆොටෝ එකක් මගෙ ලඟ තියෙනවා. එයා අන්තිමට ලංකාවෙන් යද්දි ගත්ත ෆොටෝ එකක් කියලා මේකම එයා මට එවලා තියෙනවා." ශෙනායා කඳුලු පිරුණු දෑසින් අමරසිරි මහතාගෙ උරහිස්වලින් අල්ලගෙන කිව්වා. අමරසිරි මහතා බලාගෙන හිටියෙ සිද්ධවෙන දේ හිතාගන්න බැරුව.
"දෝණි මට තේරෙන්නෙ නෑ මුකුත්." අමරසිරි මහතා හිටියෙ ලොකු ගැටලුවක.
"මේ බලන්න අංකල්... මේ බලන්න... මේ ඉන්නෙ අංකල්ගෙ පුතා නේද? මේ ඒ ඇස් නේද?" ශෙනායා ෆෝන් එකේ තිබුනු නේත්‍රගේ ෆොටෝ එකක් පෙන්නලා ඇහුවා.
"ඔ.. ඔව්මයි. මගේ පුතා. මේ එයා. මට මතකයි. මේ ඒ ඇස් දෙකමයි. සඳරේඛාගෙ ඇස් දෙක." අමරසිරි හරි ආදරෙන් කිව්වෙ ඇස් වලින් කඳුලක් වැටෙද්දි. තාමත් ඒ ඇස් වල තියෙන ආදරේ දැකපු ශෙනායා තීරණයක් ගන්නවා.
"මම පොරොන්දු වෙනවා නේත්‍රගෙ කටින් අංකල්ට තාත්තා කියවනවා කියලා." ශෙනායා ඇගේ අතක් අමරසිරි මහතාගෙ හිස මත තියලා පොරොන්දු උනා. අමරසිරි මහතා උපේක්ෂා සහගතව බලාගෙන හිටියා සිදුවෙන සියලුම දේ දිහා.
මාස තුනකට පස්සෙ ශෙනායාගෙ මාධ්‍යවේදී දිවියට වසර දහයක් පිරීම නිමිති කරගෙන ඇගේ අතින් ලියවුණු, අමරසිරි මහතාගෙ චිත්‍රයෙන් හැඩ වූ ලස්සන පිටකවරයක් සහිතව "තනි වූ ඔහු" නමින් කෘතිය දොරට වඩිනවා.. ඔව්... ඒ අමරසිරි ඉද්දමල්ගොඩ මහතාගේ ජීවිත කතාව.
ශෙනායා පළමු කෘතිය පුද දෙන්නෙ අමරසිරි මහතාට. ඔහු කඳුලු පිරි දෙනෙතින් කෘතිය අතට ගන්නෙ පූජා වස්තුවක් දෑතට ගන්නවා තරම් භක්තියෙන්.
කෘතිය දොරට වැඩීමේ උත්සවයට ශෙනායා ඇගේ හිත මිතුරන් සියලු දෙනාට ආරාධනා කලා. නේත්‍රත් ආවෙ තම මිතුරියගේ සතුට බෙදාගන්න. ශෙනායා නේත්‍රට අමරසිරි මහතාව අඳුන්වා දෙන්නෙ ඇගේ පියා විදියට. නේත්‍රව දුටු සැණින් මෙතෙකැයි කිව නොහැකි සතුටක් අමරසිරි මහතාගෙ ඇස් වල සටහන් උනා.
"කොහොමද තාත්තා.... ශෙනායා කියන්නෙ මගේ හොඳ යාලුවෙක්." කිසිත් නොදත් නේත්‍ර එසේ කියා අමරසිරි මහතාගෙ දෙපා අල්ලා වඳිනවා. සුපුරුදු අව්‍යාජ පියකරු හිනාවෙන් මුව සරසා ගත් අමරසිරි මහතා සමග නේත්‍ර බොහොම ලෙන්ගතුව කතා කරනවා දකිද්දි ශෙනායාගෙ හිතට දැනුනෙ තමන් ගැනම ලොකු ආඩම්බරයක්.
"අන්තිමට මම තනි වූ ඔහුගෙ එකම ආසාව ඉෂ්ඨ කලා." ශෙනායා ඇසට නැගුනු කඳුලක් පිස දමමින් සිතුවා.
අවසානයි.
පසුවදන...
ශෙනායාගෙ පොතේ කවරය දකින නේත්‍රට එය ප්‍රශ්නයක් උනා. ශෙනායා කිව්වෙ ඒ අමරසිරි මහතාගෙ කුඩා කාලයේ පින්තූරයක් බලාගෙන අඳින ලද චිත්‍රයක් බව. එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ නේත්‍ර අම්මාගෙන් ප්‍රශ්න කරනවා. සිදු වූ දෙය විස්තර කරන සඳරේඛා නේත්‍ර සමග අමරසිරි මහතා ලඟට එනවා. එවිටයි අමරසිරි මහතා දැනගන්නෙ සඳරේඛා නැවත විවාහ නොවූ බවත් එදා සිටියේ ඇගේ මිතුරෙකු බවත්. කෙසේ වෙතත් ශෙනායා නිසා අමරසිරි මහතාගෙ සැඳෑ සමය තම බිරිඳ සහ පුතා සමඟ ගත කරන්න අවස්ථාව ලැබෙනවා.. ඒ වගේම මෙතෙක් කාලයක් පිය සෙනෙහස නොවිඳි නේත්‍රටත් පිය සෙනෙහස නොමඳව ලැබෙනවා.
__________________________________________________________________
මේ ලෝකෙ අමරසිරි මහත්මයා වගේම ජීවිතේ තනි වුනු මිනිස්සු අනන්තයි අප්‍රමාණයි. ඒ අයට වචනයකින් හරි සහනයක් වෙන්න පුලුවන් නම් එය ඉතාමත් උතුම්. ලොකු දෙයක් නෙමෙයි එයාගෙ කතාව අහන් ඉන්න පුලුවන් නිශ්ශබ්ද සවන් දෙන්නෙක් වෙන්න ඔබට පුලුවන් නම් ඒකත් ඔහුට සහනයක්.
තෙරුවන් සරණයි!
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI