Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

“ ඔබ එනකම්… “

අහ්... අද මගේ කෙල්ලට කලින්ම මාව මතක්වෙලා තියෙන්නේ... "

වෙනුර තමන්ගේ කාර්යාලයේ වැඩ අවසන් වෙලා ෆෝන් එක අතට ගත්තේ එයාගේ පුංචි දඟකාරිගෙන් ආපු මැසේජ් එක දැකලයි.

" බබා..මං දැන් ඕෆ් උනේ... ගෙදර ඇවිල්ලා විඩීයෝ කොල් එකක් ගන්නම් හරිද..? ගොඩක් ආදරෙයි... පරිස්සමෙන් ඉන්න."

" හරි බබා... ඉක්මනට එන්න මං බලාගෙන ඉන්නවා. ඔයාට බුදුසරණයි .. මමත් ආදරෙයි.

නිශූගේ රිප්ලයි එකත් ආවේ ඒ වේලාවේමයි. වෙනුර රැකියාව කරන්නේ පිටරට. වෙනුර අවුරුදු දෙකකට පස්සේ තව දවස් දෙකකින් නිශුව බලන්න නිවාඩුවට එන්න තමයි ඉන්නෙ. නිශූව වෙනුරව අදුරගන්නේ යාළුවෙක්ගේ මාර්ගයකින්. මේ දෙන්නාගේ සම්බන්ධයට ගෙවල් වලින් නම් කිසිම අකැමත්තක් නෑ. නිශු කියන්නේ දඟකාර කටකාර හුරතල් කෙල්ලෙක්. එයා එක්ක ඉන්න ඕනේම කෙනෙක්ට පාළුවක් නම් දැන්නේ නෑ. වෙනුර ඉක්මන්ට ගෙදර ආවේ නිශුට විඩියෝ කෝල් කරන්නයි.

" බබා... මං ආවා. ඔන්ලයින් එන්න..."

" හා..බබා, එත් මගේ කැම් එක වැඩ නෑ... Audio කතා කරමුද...?

වෙනුර විඩියෝ දාලා කතා කරාට නිශුට විඩියෝ දාන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.

" අයියෝ බබා... තාම හැදුවේ නැද්ද ..? මාසයකටත් ළඟයිනේ. මේ වැඩ නිසා අපේ තාත්තාට කියන්නත් බැරි උනා මට. ඉන්නකෝ මං ආවම ඕක බලන්නම්..."

" අයියෝ හරි පුතේ... තව දවස් දෙකයි ඉවසන්නකෝ..ඇති තරම් අපි කතා කරන්න බැරියෑ කොල්ලෝ... බුලත් ටිකක් හප හප.. "

නිශු කියපු විදියට ඇත්තටම වෙනුරට හිනා ගියා.

" අම්මේ...මේ කෙල්ලගේ කට නම්. ඔය කටර් එක අහන්න තමයි මං එන්නේ.. එක නෙමෙයි වෙනදාට මමයි එන්න කියන්නේ කොල් කරන්න. අද මගේ කෙල්ලෙටම මාව මතක් වෙලා..."

" අනේ ඇයි..? අපිට ඔයාව මතක් උනොත් නරකද..?

නිශු පොඩ්ඩක් දඟ උනා.

" අනේ නෑ... මං ආසයිනේ ඔයා මට කෝල් කර කර වද දෙනවාට. ඒක නෙමෙයි මොනවාද තව ඕනේ... "

" අනේ මට මුකුත් එපා මහත්තයෝ .. ඔයා පරිස්සමෙන් මාව බලන්න ඉක්මනටම එන්නකෝ ඒ ඇති මට... "

නිශුට එක පාරටම කැස්සක් ආවා…

බබා.. ඔයා හොඳින්ද..? අනේ අර කැස්ස තාම හොඳ නැද්ද ..? කෝ වතුර ටිකක් බොන්න බබා "

" හරි මං හොඳින්... බයවෙන්න එපා..බබා.."

" බෙහෙත් ගන්න සල්ලි ආයෙත් දාන්නද බබා..."

" පිස්සද අනේ කැස්සක් විතරයිනේ... හරි හරි අපි එක අමතක කරමු... පුංචි ගේම් එකක් කරමු.."

නිශු කතාව වෙනස් කරන්න හැදුවේ, නැත්තම් පොඩි අසනීපයක් උනත් වෙනුර මහා ගොඩක් බයවෙන නිසයි. නිශුව බැඳලා නැති උනත් හැම මාසේම සල්ලි යවන පුරුද්දක් වෙනුරට තිබ්බා.

" මෙයත් මහ රෑ මාර දේවල් හිතෙන්නෙ. හාකෝ...හාකෝ... මගේ මැට්ටි කියන්නකෝ මොකක්ද කියලා.. ඒක නෙමෙයි අද ගෙදර සද්ද මොකද..? "

" අහ්.. ඒ අක්කලා ඇවිල්ලා අද ඒකයි. හරි හරි... ගේම් එක අනිවාර්යයෙන් කරන්න ඕනේ. ඔයා කරේ නැත්තම් මට කැස්ස ගොඩක් හැදිලා මාව ඉස්පිරිතාලේ නවත්තන්න ඕනේ... "

" මොනාද බබා මේ කියවන්නෙ... ඉස්පිරිතාලේ කතා… පිස්සුද ඔයාට… ආ…”

වෙනුරව ඉමෝශනල් බ්ලැක්මෙල් කරන එක නිශූගේ දඟකාරකම් වලින් එකක්.

" මොකක්ද කියන්නකෝ.....කරන්න යන්නෙ. හරි පොරොන්දු වෙන්නම්.. ඒත් පිස්සු නටන්න එපා..."

" එහෙනම් ඔන්න මං කිව්වා... ඔන්න කිව්වා ... මෙන්න කිව්වා.... මොකක්ද දන්නවාද..? ඔයා ලංකාවට එනකම් මාත් එකක් කතා නොකර, මැසේජ් නොකර ඉන්න ඕනේ... "

" මොකක්... පිස්සුද මට බෑ.. ඔයාට පුළුවන් ඇති එහෙම... ඒත් මට බෑ… ඊටත් ඒ මොන සෙල්ලමක්ද..? අහ්.. මට බෑ. අනික මං මේ එද්දී... මට බෑ මට බෑ මට බෑ.. "

" එහෙමනම් ඔයා මට ආදරේ නෑ.. මං තරහයි මං යනවා ඔෆ්ලයින්.. බොරු ආදරේ ..." කියද්දීම නිශුට ආයෙත් කැස්සක් ආවා.

" බබා.. යන්න වතුර බොන්න.. කෝ කැස්ස හොදටම. මං අපෙ අම්මාට කියන්නම් ඔයාව පෙන්නන්න එක්කන් යන්න කියලා... "

" නෑ මං වතුර බොන්නෙත් නෑ.. බෙහෙත් ගන්න යන්නෙත් නෑ.. ඔයා මට පොරොන්දු වෙනකම්..."

" මොකක්ද අනේ මේ ඔයාට වේලා තියෙන්නෙ. දෙයියනේ ඔයාට කතා නොකර මං කොහොමද එහෙම ඉන්නේ. මං එහෙම ඉදලා තියෙනවාද..? ඔයාට මැසේජ් නොකර.. ඔයා තරහා උනත් මං පිස්සෙක් වගේ මැසේජ් කරනවා, ඔයා යාළුවෙනකම්. මං ලංකාවට එන්න ඉද්දීම ඇයි මෙහෙම කරන්නේ... ඔයාට පුළුවන් උනාට මට බෑ බබා.. අනික ඔයාගෙන් අහන්නෙත් නැතුව මට බඩු පැක් කරන්නත් බෑ.."

" ඒ කියන්නේ ඔයාට මං වෙනුවෙන් කතා නොකර ඉන්න බැරිද.? මට බලන්න ඕනේ ඔයා මට කොච්චර ආදරෙයිද කියලා. මං නැතුව ඉන්න පුළුවන් ද කියලා විතරයි. එයාර්පෝර්ට් එකෙන් බැස්ස ගමන් එන්න අපේ ගෙදර හරිද..? මං ඔයා අදින්න ඕනේ ඒවා, ඔයාගේ බඩු ඔක්කොම දැන් මැසේජ් කරනවා.."

" අනේ මට බෑ බබා... ඇයි මේ.. හරි ඔයාගේ දඟ වැඩවලට මං ආසයි. ඒත් ඇයි මට කරන්න බැරි දේවල්ම කියන්නේ.. එයාර්පෝර්ට්වත් ඔයාට එන්න බැරිද...? "

වෙනුර කතා කලේ හරිම දුකෙන්. වෙනුරට නිශු කියන්නේ එයාගේ ජිවිතේ. වෙනුර හරීම සංවේදී කෙනෙක්. එයාට නිශුගේ මැසේජ් එකක්වත් නැතුව ඉන්න බෑ. කටහඬ අහන්නෙ නැතුව ඉන්න බෑ. වෙනුර ඉන්නේ රට උනත් හැමවේලාවේම නිශූට දැනෙන්න දුන්නේ එයා ඉන්නේ නිශූ ළඟමයි කියලා. කවදාවත් නිශුගෙන් අහන්නේ නැතුව ඇඳුමක් ඇන්දේ නෑ. ගමනක් ගියේ නෑ... නිශුත් වෙනුරට හවුල් උනේ එයා ළඟම ඉන්නවා වගේ.

" අනේ... බබා.. මට එද්දී චෝකො ගොඩක් ගේන්න හරිද..? කෙලින්ම අපේ ගෙදරට. ඔයාට සප්‍රයිස් එකක් ලැස්ති කරලා අනේ තියෙන්නේ එකයි.. ඒ නිසා අද එලිවෙනකම් මං ඔයා එක්ක මෙහෙම කතා කරන්නම්කෝ... "

" අනේ.. මට බෑ .. යන්න අනේ යන්න. මංදා බබා... ඔයා කරන ඒවාට මට බයත් හිතෙනවා... මම ඔයාට මැසේජ් කරනවා. ඔයා බලනවාද නැද්ද මං දන්නේ නෑ. මට මැසේජ් නොකර ඉන්න බෑ... හරි මං කොල් කරන්නේ නෑ.. හරිද..? "

ඒකට නිශු "හා" කියලා පොරොන්දු උනා. දෙන්නා එලිවෙනකම් කතා කරා. නිශූට විටින් විට කැස්ස ආවා. ෆෝන් එක තියලා Game එක පටන් ගන්න කලින් නිශූ මේ දවස් දෙකේ වෙනුරට කරන්න ඕනේ දේවල්, ලංකාවට ඇඳගෙන එන්න ඕනේ මොනාද..? පාස්පෝට් , ටිකට් ඒ හැමදේම විස්තර කරලා අන්තිම මැසේජ් එකත් යැව්වා.

" ඔන්න අපි දවස් දෙකක් කතා නොකර ඉන්න යන්නේ මහත්තයෝ.. බලමු ඔයා මට කොච්චර ආදරේයිද කියලා... ඔන්න තරඟය පටන් ගත්තා... "

මේ මැසේජ් එක දැක්කාම වෙනුරට ආවේ ලොකු දුකක්. පොඩි එකෙක් වගේ මේ කෙල්ලගේ වැඩ. හිත බිඳින්න පොඩ්ඩක්වත් ආස නැති නිසා කියන හැමදේකටම හා කියනවා. කල්ප ගානක් ගියා වගේ ලංකාවට යන දවස වෙනුරට ළංවුනේ. නිශු නැති අඩුව වෙනුරට තදින් දැනුනා. ඒත් ඒ දවස් දෙකේ කරපු හැමදේම සුපුරුදු විදියට මැසේජ් කරාට නිශු ඒවා කියෙව්වේ නම් නෑ.

එයාපෝර්ට් එකෙන් බැහැලා එළියට එද්දී අම්මාලා ඇවිල්ලා හිටියා. අම්මා පුතාව බදාගෙන හුඟාක් ඇඩුවේ අවුරුදු දෙකකින් තමන්ගේ පුතාගේ මුණ දැකපු නිසයි.

" අනේ.. තාත්තා කෙලින්ම නිශුගේ ගෙදර යන් "

අම්මායි තාත්තායි මුණට මුණ බලාගත්තා.

නිශුගේ ගෙවල් වලට ළංවෙද්දී වෙනුරට අමුත්තක් දැනුනා... ගේ ගාවින් බැස්සාත් ගෙදර සුදු කෝඩි දාලා තිබ්බා.

" අම්මා කාටද කරදරයක් වෙලා තියෙන්නේ. අනේ කියන්නකෝ.. "

වෙනුර අම්මගේ උරහිසෙන් අල්ලාන් එහෙම අහද්දී අම්මායි තාත්තායි බිම බලාගෙන ඇඩුවා. නිශුට ගත්ත බඩු හැමදේම බිම දාලා වෙනුර දිව්වේ නිශුගේ ගේ ඇතුලට. දැකපු දේ වෙනුරට අදහා ගන්න බැරි උනා. එතනම කලන්තේ දාලා වෙනුර වැටුනේ සිහිය එන්නත් ටිකක් වෙලා ගියා.

" සුදු නෝනා.. අනේ නැගිටින්නකෝ රත්තරන් .. අනේ මේ මොකද උනේ සුදු නෝනා ඔයාට මාව දාලා මෙහෙම යන්න බෑ.. දෙයියනේ මගේ ජිවිතේ මේ ඉන්නේ මාව දාලා කොහොමද යන්නේ... ඔයා කිව්වේ දවස් දෙකක් නේද අපි කතා නොකර ඉන්නෙ කියලා.. එහෙම කියලා ආපහු කතා කරන්න බැෆි වෙන්නම ඔයා ගියේ කොහොමද…? “

මනාලියක් වගේ ලස්සන සුදු සාරියකින් සැරසිලා නිසොල්මන්ව මිනි පෙට්ටියක වැතිරිලා ඉන්න නිශුව දැක්කාම වෙනුරට අදහාගන්න බැරි උනා.ඒ මුණ කොච්චර ලස්සනද .? ඒත් මගේ කෙල්ල කොහොමද මාව මෙහෙම දාලා යන්නේ.. වෙනුර නිශුගේ මුණ ඉඹ ඉඹ මිනිය බදාගෙන ඇඩුවා. එතන අඩ අඩ හිටපු නිශුගේ අක්කා පිටට තට්ටු කරලා ලියුමක් වෙනුරට දිග් කරා. එතන බිම ඉද ගත්ත වෙනුර ....

මගේම සුටි මහත්තයාට,

හිහිහි...මේ ලියුම ඔයාට ලැබෙද්දී මං ඔයා ළඟ නැතුව ඇති සුදු මහත්තයෝ. කොහොම හරි ඔයා Game එකෙන් දින්නා. Yeh yeh...congratulations 😘. මං දන්නවා මගේ සුදු මහත්තයාට මං නැතුව බෑ කියලා. ඒ නිසාමයි ඔයාගෙ හිත රිද්දන්න මං ආස නොකලේ. එදා ඔයාට මං කතා කරද්දීත් මං හිටියේ හොස්පිටල් එකේ. මං පිලිකාව ගැන දැන ගත්තේ ගිය මාසේ. එතකොටත් ලස්ට් ස්ටේජ් එකේ. ඔයාට කිව්වේ නැත්තේ ඔයා දුක්වෙනවා මට බලන් ඉන්න බැරි නිසා. ඒ වෙද්දී පවුල් දෙකම මේක දන්නවා ඔයා ඇරෙන්න. ඒකට මට සමාවෙන්න මහත්තයෝ. එදා හොස්පිටල් එකට හැමෝම ඇවිල්ලා හිටියා. ඔයාවත් අන්තිම වතාවට බලාගන්න ඕනේ උනා. යන්න කලින් ඒ ආසාවත් මට ඉශ්ඨ කරගන්න පුළුවන් උනා. මේ ආත්මේ ඔයාව ඉක්මනට දාලා ගියත්, උපදින හැම ආත්මේක මං ඔයාගේ විතරයි. මං ඔයාව කාටවත් දෙන්නෙ නැ. දුක්වෙන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න අහ්.. සමාවෙන්න මහත්තයෝ ඔයා මට විඩියෝ කොල් කතා කරන්න එන්න කියද්දි මං ආවේ නැත්තේ ඒ වෙද්දී මගේ කොන්ඩේ ගොඩක් යන්න ගත්තා බබා. ඒ නිසයි බොරු කියන්න උනේ ඔයාට.තව දෙයක් බබා, ඔයා මට එවපු හැම සතයක්ම ඔයාගේ නමින් අකවුන්ට් එකක් Open කරලා ඒකට දාලා ඇති. එක රුපියලක්වත් වියදම් නොකලේ ඔයා මහන්සි වෙලා එවන සල්ලි වියදම් කරන්න මට හිත දුන්නේ නෑ බබා. පාස් බුක් එක අක්කාට දීලා ඇති එයා ඔයාට දෙයි. ඔයා හොදින් ඉන්න ඕනේ. වේලාවට කන්න බොන්න ඕනේ. පුළුවන් වේලාවකට මේ කටකාර කෙල්ලව මතක් මතක් කරන්න හරිද.. ? මගේ මැට්ටෝ. කොහේ හිටියත් ඔයා දිහා මං බලාන් ඉන්නවා. මගේ සුදු මහත්තයාට උපදින හැම ආත්මයක පැලෙන්න ආදරෙයි.. කෝ කෝ දැන් හිනාවෙන්න අඩන්නේ නැතුව. බුදුසරණයි පණ සමාවෙන්න මේ කෙල්ලට ගොඩක්.

ඔයාගේ පිස්සී
- නිශු -

මුළු ලෝකෙම කළුවර වෙලා ඇස් නිලංකාර වෙනවා වගේ වෙනුර දැනුනා. කෑ ගහලා අඬන්නවත් හිතට හයියක් එන්නේ නැති තැන කඳුළු බිංඳු එකින් එක ලියුම උඩට වැටුනා. අම්මායි තාත්තායි ඇවිල්ලා වෙනුරව අල්ල ගනිද්දි ඒ බොඳ වෙලා යන නිෂූගේ පුංචි බෝල අත් අකුරු අතරින් වෙනුරට මැවිලා පෙනුනේ නිෂූගේ හිනාව ඒ පුංචිඇස් දෙක. ඒත් ඒ ඇස් දෙක අද සදහටම පියවිලා නේද මේ තමන් ඉස්සරහා ඉන්නේ කියලා වෙනුරට හිතා ගන්නවත් බැරි උනා.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI