මට සමාවෙන්න මහත්තයෝ... කෙල්ලෙක් විදියට ඔයා ලඟට එන්න පින නැතුවට...- ශ්ශ්... මුකුත් කියන්න තහනම්..... මාව බඳින්න කැමතිද මැණික?

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
❤️ කඳුලු_හඳක් ❤️
- සිතූ.. නැගිටිනවා...
- අනේ මහත්තයෝ මට රිදෙනවා...
- තමුසෙට මම කියන විදියට ඉන්න බැරි නම්...
- අනේ ගහන්න එපා...
විහාන් ඒ හඬ ඇසී නැවතුනේ තමාගේ එකම මල්ලීගේ නිදන කාමරයේ දොර අසලින් ය. ජපානයේ වැඩිදුර අධ්යාපනය ලබා එම විශ්වවිද්යාලයේම මහාචාර්යවරයෙකු වන විහාන් ලංකාව ආවේ අවුරුදු දෙකකට පසුය. ඔහු ලංකාව අත් හැර ජපානයේ ස්ථිරවම පදිංචි වී සිටියද මෙහි ආවේ අම්මාත් තාත්තාත් බලා යන්නය. ඔහු නිදා ගන්නා තුරුත් මල්ලී ගෙදර පැමිණ තිබුනේ නැත. නෑනා සිතුදි නිදහසට කරුණු කීවේ ඔහු පිරිත් ගෙදරක ගිය බවක්..
විහාන් රාත්රියේ ඇහැරුනේ වතුර තිබහක් දැනිලාය. වතුර බී උඩ තට්ටුවේ කාමරයට යන අතර ඇසුන සිතුදිගේ හැඬුම් හා රශේන්ගේ බැනුම් ඇසී ඔහුගේ දෙපා ඒ අසල නැවතුනි.
- කටවහනවා... කෑගහන්නේ කාට ඇහෙන්නද? අයියට ඇහෙන්නද?
හැඬුම් හා ඉකිබිඳුම් වියැකී දැන් ඇහෙන්නේ සිතුදිගේ වේදනාත්මක කෙඳිරියක් පමණි. තවත් මොහොතක් උන් විහාන් කල්පනාවේම කාමරයට ගියද ඔහුට එලිවන තුරු නින්දක් නැත.
හවස සිටම තදබල හිසේ කැක්කුමකින් පීඩා විඳි සිතුදි රශේන්ගේ රළු හැසිරීම් හා පහරදීම් වලින් තවත් දුර්වල වී උන්නද උදේ වනතුරු නින්ද ඇගේ අහලකවත් නොවුනි. සිතුදිගේ සිරුරින් මිදුන රශේන් හොඳින් නිදාගෙන ඉන්නා අයුරු බලා ඇය වෙනදා මෙන් එදාද මුලු රැයම කඳුලු වැගිරුවේ හඬක් නොනැගෙන ලෙසය.
උදෑසන ඇහැරුන විහාන් කෙලින්ම කුස්සියට යද්දී රශේන්ට කෑම උයන සිතුදි දැක පුදුම විය. හැකි උපරිමයෙන් සිනාවක් පෑ ඇගේ මුහුණේ එලිවනතුරු විඳි දුක් වේදනාව මහන්සිය නොඅඩුව පෙනුනි.
- ගුඩ් මෝනින් අයියා... නින්ද ගියේ නැද්ද ඇස් දෙකත් රතුවෙලා...
- ගුඩ් මෝනින්.. නින්ද ගියා.. ඔලුව ටිකක් බරයි වගේ... ඔයා නම් ලෙඩ පාටයි නංගි.. සනීප නැද්ද ?
- මට ඊයේ හවස ඉඳලා මිග්රේන් අය්යා... නින්ද ගියේම නෑ... අයියාට තේ එකක්?
ඇගේ ලෙංගතු කමේ නම් අඩුවක් නැත.
- මම හදාගන්නම්.. ලෙඩ තියාගෙන උදේ නැගිට්ටේ ඇයි? මම කඩෙන් කෑම ගේන්නම් ඔයා ටිකක් නිදාගන්න ආයෙත්..
රශේන්ගෙන් කිසිදා අසන්නට නොලැබෙන ලෙංගතු ආදරය මුසු වචන විහාන්ගෙන් ඇසෙද්දී ඈ දෑසට ඉනූ කඳුල සඟවා ගත්තේ සින්ක් එකට හැරී විදුලි කේතලයට වතුර පිරවීමෙනි.
- එයා කොහොමත් කන්නේ කඩෙන් අයියා.. අම්මයි තාත්තායි බෙහෙත් බොන නිසා උදේම කෑම දෙන්න ඕන.. මම තව ටිකකින් උයලා ඉවරයි.. අයියා ඉන්න තේ හදලා දෙන්නම්.. අමාරුවක් නෑ මට..
විහාන්ගේ හදවත බිඳුනි. ඈ හිතන්නේ රශේන්ගේ මෙන්ම තමාගේ දෙමාපියන් ගැන නේද?
- මම එහෙදිත් තනියම ඔක්කොම වැඩ කරගන්නේ.. ඔයාගෙ වැඩ ටික කරගන්නකෝ... මම තේ හදාගන්නම්..
- ඒ එහෙදිනේ අයියා.. මෙහෙදි අපි ඉන්නවා... ඔයාගේ ටේස්ට් එක එයිද දන්නෙ නෑ... අද මගේ තේ එකත් බීලා බලන්නකෝ...
ඇය විහාන් හා කතා කරන්නේ අමුතුම සැහැල්ලුවකිනි.
- හරි හරි.. 
ඔහු සිනාසුනි.
- ඉස්සර මම අම්මගේ ඇරෙන්න වෙන කාගෙවත් තේ බොන්නෙ නෑ... 
විහාන් දිගටම කතා කලේ ඇයද තමා හා කතාවෙන් අස්වැසිල්ලක් ලබන බව මනෝ විද්යාව මහාචාර්යවරයෙකු වූ ඔහුට වැටහුන නිසාය.
කෙල්ල මදක් සද්දෙන් හිනා උනද එහි හිනාවෙන්නට දෙයක් නොතිබුනි.
- දැන් නම් අම්මත් බොන්නේ මගේ තේ...
ඇය ලැබෙන පුංචි දෙයකින් වුවද සතුටු වේ...
- අම්මලා ගැන මම හරි හිතේ බරකින් හිටියේ.. ඔයා මේ වගේ එයාලා බලා ගන්න එක මගේ හිතට සැනසීමක්... මට සන්තෝසෙන් ආපහු යන්න පුලුවන්...
ඈ අහිංසක ලෙස සිනාසුනි.
වතුර උණුවන තෙක් විහාන් කල්පනා කලේ රශේන් හා සිතුදි ගැනය. සිතුදි එක්වරම සාලයට දිව්වාය. එවිටම ඔහුට ඇසුනේ රශේන්ගේ වාහනය පිටවන හඬයි.
- මල්ලි ගියාද? 
ඔහු ඇසුවේ නැවත පැමිණි සිතුදි ගෙනි.
- ඔව් අයියා.. 
ඈ ඔහුගේ මුහුණ බැලුවේ නැත.
- මාර මිනිහෙක් නේ.. මට නිකම්වත් කිව්වෙ නෑ..
- එයාට ලේට් වෙලා... අයියාට කියන්න කිව්වා...
මල්ලීට ලැබී ඇත්තේ හොඳ බිරිඳකි.. වාහනයේ හඬ හා සිතුදි එලියට ගිය කාලයට අනුව ඈ ඔහුගේ මුහුණ තියා සෙවනැල්ල වත් දකින්නට වෙලාවක් ලැබෙන්න ඉඩක් නැත.
මුලු සතියක් තිස්සේ විහාන්ට හැම රාත්රියකම සිතුදිගේ හැඬුම් වේදනාත්මක කෙඳිරිය හා රශේන්ගේ බැනුම් ඇසුනි. එදා පටන් ඔහු ඕනෑකමින් අසා උන්නේය.
සිතුදි හා රශේන් පෙම්වතුන් උනේ සරසවියේදීය. තාත්තාත් නැතිව සිතුදි හදාගෙන උන් අම්මා හදවත් රෝගයෙන් හදිසියේ මිය යාමෙන් තනිවූ ඇයව වෙඩින් එකක්වත් නොගෙන ඉක්මනින් රශේන්ගේ නිවසට එක්කාගෙන ඒමට මුල් උනේ රශේන්ගේ අම්මාත් තාත්තාත් ය. විහාන් ඔවුන්ගේ විවාහයට වත් ලංකාවට ආවේ නැත.
- පුතා ආයෙත් යනවද? 
ඇසුවේ අම්මාය.
- ඔව් අම්මා... මම කිව්වනේ මෙහේ ඉන්න අදහසක් නෑ මගේ... අම්මලත් යමු මා එක්ක.... වෙනසකටත් එක්ක හොඳයිනේ...
- අනේ මේ හදාගත්තු ගේ දොර දාලා කොහේ යන්නද අපි දෙන්නා... ඔයාගේ තනියට කෙනෙක් හොයාගන්න කාලෙ පහුවෙනවා දැන්...
- එහෙම කියන්න එපා... ටික දවසකට හරි යමු.... මගේ තනි ජීවිතේ මට හොඳයි.. ඒත් අම්මායි තාත්තායි මා එක්ක ඉන්නවා නම් මම කැමතියි... තව මාස හයකින් මම එනවා ඔක්කොම හරිගස්සගෙන අම්මලා ටික දවසකට හරි එක්ක යන්න.... හිතට ඇල්ලුවේ නැත්නම් ආපහු එක්ක එන්නම්...
- දුව තනියම දාලා මම කොහේවත් යන්නෙ නෑ... තාත්තා එක්ක යන්න...
- අම්මා... මට නංගියි මල්ලියි ගැනත් කතා කරන්න ඕන..
- ඔයාටත් ඇහුනද? 
අම්මා හෙලුවේ සුසුමකි.
- ඒ කියන්නේ අම්මත් දන්නවා...
- චූටි පුතා එක්ක ඇවිල්ලා මේ දරුවා දුක්විඳිනවා පුතේ... පව් ඒ අසරණී.. මේ මිනිහා යකෙක්... ඔයා ආපු නිසා මේ දවස් වල ටිකක් සද්දේ අඩුයි... සමහරදාට මමයි බේරගන්නේ... කෙල්ල රස්සාවෙන් අස් උනා එහෙමවත් හැදෙයි කියලා...
- මල්ලිට මොනවා වෙලාද? මා එක්ක වචන දහයක් කතා කරේ නෑ.. කතා කරන්න ගෙදරක නෑනේ..
- මම දන්නෙ නෑ පුතේ.. හැමදාම රෑ දොලහා පහුවෙලා එන්නෙ බීලා... ඒ ඇවිත් හොඳටම ගහනවා කෙල්ලට... වද දෙනවා... ඒ කෙල්ල වචනයක් කියන්නේ නෑ... පුදුම තරම් ඉවසනවා... කාත් කවුරුත් නැති කෙල්ල... මට වාවන්නේ නෑ.. අපිට හයියක් නෑ චූටි පුතා එක්ක ඔට්ටු වෙන්න... තාත්තාට මේ ගෙදර ජීවිතේ එපා වෙලා ඉන්නේ.. ඒ මනුස්සයා ලෙඩ වෙයි කියලා මට බයයි...
- ඇයි අම්මලා මේ මුකුත් මට නොකිව්වේ?
- ඔයා මේ මූදෙන් එහා ඉඳන් මොනවා කරන්නද පුතේ... මේක අපේ වගේම සිතූගේ ලැබීම... කෙල්ලට මම කිව්වා මෙහෙන් යන්න මෙයාව අතඇරලා කියලා... ඒ කෙල්ලත් මූ මත්තේ නහින්න ආපු එකියක්... මාත් මැරිලා ගිය දවසක මේ අහිංසකී තනි වෙනවා දෙයියනේ... 
අම්මා හොඳටම හඬන්නට විය.
- අම්මා අඬන්න එපා... මම මල්ලි එක්ක කතාකරන්නම්...
විහාන් රශේන්ගේ කාර්යාලයට ගොස් ඔහුව කතාවට අල්ලා ගත්තේ සෑහෙන්න මහන්සියකිනි. අවන්හලකට ගොස් දිගින් දිගට කතා කිරීමෙන් පසු රශේන්ගේ සිතේ ඇති දේවල් එලියට ගන්නට විහාන් සමත් විය. රශේන් බීමට ඇබ්බැහි වී ඇත්තේ ඔහුගේ පෙම්වතියන් නිසාය. සරසවියේ සිටම සිතුදිට අමතරව තවත් පෙම්වතියන් ඔහුට ඇත. ඔහුගේ හැසිරීම බීමත් කමත් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වේ. විහාන් අවසානයේ නිශ්චය කලේ රශේන් මානසික වෛද්යවරයෙකුට පෙන්වීමටය. 
මාසයක් පමණ බෙහෙත් බීමෙන් රශේන් තරමක් දුරට හොඳ අතට හැරුන බැවින් විහාන් නැවත ජපානයට ගියේ හිත සැහැල්ලුවෙනි. සිතුදි උදේ හවා විහාන්ට පින් දුන්නාය. පෙම්වතියන් ආශ්රය නතර නොකලද රශේන් සිතුදිට වද දුන්නේ නැත.
අම්මාත් තාත්තාත් උන්නේ සැනසීමෙනි. විහාන්ගේ ඉල්ලීම පිලිගත් දෙදෙනා ටික කලකට ජපානයට යන්නට සිතීය. සිතුදි ඔවුන්ට බාධා නොකලේ රශේන්ගේ තත්ත්වයද හොඳ බැවිනි.
මාස දෙකක් ගතවුනි. අම්මාටත් තාත්තාටත් විහාන් හා ජීවිතය සැනසීමක් විය. නැවත යන්නට හදිසි නොවූ ඔවුන් කලින් හිතා උන් පරිදිම මාස තුනක් ඉඳ යන්නට කැමත්තෙන් උන්හ. එදින අම්මා හා තාත්තා අසල වූ පන්සලට ගිය අතරේ විහාන්ට කෝල් කලේ ලංකාවෙනි.
- හෙලෝ...
- අනේ අයියා... මම සිතූ... 
කෙල්ල හඬා වැටේ.
- ඇයි නංගි.. කරදරයක්ද? අඬන්නෙ නැතුව කියන්න මොකද උනේ...
- අනේ අයියා අම්මලා ආයෙ එවන්න එපා.. රශේන් අමුතුම මනුස්සයෙක් වෙලා... එයා වෙන කෙල්ලෙක් ගෙදරට අරගෙන ආවා...
- මොකක්? ඔයා කොහෙද ඉන්නේ...
- මම ගෙදරින් පැනලා යනවා අයියා... ඒ දෙන්නා සතියක් තිස්සේ මට වද දුන්නා... ඊයේ මාව ගැටගහලා එලියේ ගබඩා කාමරේ වැහුවා.. පොල් කඩන මනුස්සයා මම අඬන සද්දෙට දොර කඩලා බේරගත්තේ...
- ඔයා කොහෙද යන්නේ?
- මම කොහේ කියලා යන්නද අයියා...
- හරි.. මෙහෙම කරන්න නංගි. මම මේ කියන තැනට යන්න ඔයා.. ඒ ගෙදර ඉන්නේ මගේ යාලුවෙක්.. ලේඩි කෙනෙක්... මම එයාට කියන්නම්... කැබ් එකක් අරන් යන්න...
විහාන් ඇයව මිතුරියකගේ නිවසේ නතර කලේය. බුද්ධිමත් තරුණියක වූ සිතුදි නිවසින් පැන එද්දී ඇගේ අත්යාවශ්ය ලියකියවිලි ගෙනවිත් තිබුනි. සති දෙකක් ඇතුලත විහාන් ඇයද ජපානයට ගෙන්වා ගති.
පැමිණි දවසේ සිටම ඈ උන්නේ අසනීපයෙනි. 
උදේ පාන්දරම විහාන්ට ඇසුනේ සිතුදි වමනය කරන හඬකි. ඔහු බාත් රූම් එක අසලට දුවගොස් බලන විට කෙල්ල සින්ක් එකේ එල්ලී වමනය කරමින් උන්නාය. ඔහු ඇයව අල්ලාගෙන කාමරයට ගෙන එද්දී ඒ දෑසේ වූ අසරණකම විහාන්ගේ හදවත දවා දැමීය. අම්මාගේ උදව්වෙන් ඇයව ලේස්ති කරගන රැගෙන ගියේ රෝහලටය.
- congratulations! Your wife is pregnant..
කැඩුණු ඉංග්රීසියෙන් ඇහුන වචනවලින් සිතුදි තවත් අසරණ උනද විහාන්ගේ හිතේ මල් යායක් මැවුනි. ඇයව උරහිසින් වත්තම් කරගෙන වාහනය ගෙන ගිය විහාන් එතැන් පටන් හැසිරුනේ රටක් රාජ්යයක් දිනූ පරිද්දෙනි.
- අම්මා දැන් නම් සිතූ පරිස්සමෙන් බලාගන්න වෙයි.. 
කොල්ලා කිව් ස්වරයට සිතුදිට පුදුම හිතුනි. ඇයට මේ ආදරය ලෙංගතුකම හිතට හරි බර වැඩිය.
- අනේ මගේ දුවේ... 
අම්මා ඇගේ මුහුණ සිපගත්තේ හරිම ආදරයෙනි.
- මම ටක් ගාලා එන්නම් 
කියමින් නිවසින් ගිය විහාන් ආවේ ලොරියකට තරම් දේවල් කාරයේ පුරවාගෙනය. 
කෑම බීම වලට අමතරව බබාට උවමනා ඇඳුම් සෙල්ලම් බඩු පවා තිබෙනු දැක අම්මාට හා තාත්තාට සිනාව නවතාගත නොහැකි විය. ඒ දුටු සිතූටද සිනා යයි. බොහෝ කලකට පසු හැමෝම සතුටිනි.
- අනේ පුතේ... මේවා මොකටද දැන්ම... 
අම්මා කියාගත්තේ අමාරුවෙන් සිනාව නවතාගෙනය.
එදා පටන් සිතූගේ ජීවිතය වෙනස් උනි. විහාන්ගේ ආදරය සොයා බැලීම් මැද සිතූ පුදුම සැහැල්ලුවක් වින්දාය. 
විහාන් උදේ කැම්පස් යද්දී සිතූ නිදි වුවද ඈ හවස ඔහු එනතෙක් පාර දෙස බලා සිටී.. ඇයට හැමදාම කුමක් හෝ කෑමක් ගෙන එන්නේ ලංකාවේ චෙෆ් කෙනෙක් ඉන්නා රෙස්ටුරන්ට් එකකින් විශේෂයෙන් හදවාගෙනය. ඔහු දකින ඈ ඉදිරියට දුවයි.
- කොහොමද මගේ බබයි අම්මියි... අද මොනවද කලේ...
- බබා අද දැඟලුවා අයියා... 
දෙවරක් නොසිතූ විහාන් දණ බිම තබා ඇගේ කුසට මුහුණ තැබීය. ඔහුට කිසිත් නොදැනුනද ඇගේ දෑසින් වැටුන කඳුලු බිඳුවක් නලලට වැටීමෙන් ඔහු ඇගේ මුහුණ දෙස බැලීය.
- සිතූ... ඇයි මැණික අඬන්නේ.... 
ඔහු ඇගේ හිස අතගාන්නට විය.
- අයියා කොහොමද මේතරම් දේවල් කරන්නේ... 
කෙල්ල හොඳටම අඬයි. ඔහු ඇයව තුරුලුකර හිස අතගායි.
- අඬන්න එපා නංගි.. මම හරි සතුටින් ඉන්නේ... ඔයාලා හැමෝම මං ලඟ. මට පුලුවන් නම් මම මල්ලිව ඔයාට ගෙනත් දෙනවා මැණික... ඉතින් අඬන්න එපා... බබාට දුක හිතෙයි...
- මටයි මගේ බබාටයි අයියා මේ කරන දේවල්... 
ඇයට කතා කරගන්නත් බැරි තරම් ඇඬේ.
- එයා කොහොමද ඔයාගෙ බබා උනේ? එයා අපි ඔක්කොගෙම බබා... තේරුනාද...
කෙල්ලගේ හිස සිප සැනසූ විහාන්ගේ ආදරය ඇයට මහමෙරක් මෙනි.
සිතුදිගේ කුසට මාස අටක් වෙද්දී ලංකාවෙන් ආවේ හොඳ පණිවුඩයක් නොවේ.. වාහන අනතුරකින් රශේන් එතැනම මියගොස් තිබුනි. ඔහුගෙන් කොතෙන් වද වේදනාවන් වින්දද සිතුදිගේ ආදරයේ අඩුවක් නොවුනි.
- නංගි... ඔයාව මේ තත්වෙන් ලංකාවට එක්ක යන්න මගේ නම් කැමැත්තක් නෑ... ඒත් ඔයාට මම මොනවත් කියන්නේත් නෑ... අම්මා මොකද කියන්නේ?
- මමත් කියන්නේ දුව මෙහේ හිටියා නම් හොඳයි කියලා...
කඳුලු වගුරුවමින් හඬක් නෑසෙන්නට අඬමින් උන් සිතූ කතා කලේ ඉකි ගසමින් ය.
- එයා මට ගොඩාක් වද දුන්නා තමයි. ඒත් මම දන්නවා මගේ අතින් එයාට කිසිම වරදක් වෙලා නෑ හීනෙන්වත්... දැන් මට වටින්නේ මගේ දරුවා... අම්මලා ගිහින් එන්න.. මම ඉන්නම්... ඒ විදියට රශේන්ව දකින්න තරම් මගේ හිතේ හයියක් නෑ...
ඇයට හයියෙන්ම ඇඬුනි.
- හා... ඔය ඇති ඇඬුවා... මට නම් කොහෙත්ම එයාගෙ මරණෙටවත් යන්න අදහසක් තිබුනෙත් නෑ.. ඇත්තෙත් නෑ.. ඔය දෙන්නා ගිහින් එන්න... මම දුව බලාගෙන ඉන්නවා...
තාත්තා කීවේ ස්ථිර ලෙසින් නිසා ඉන් එහාට කතාවක් කාටවත්ම තිබුනේ නැත.
රශේන්ට වඩා දරුවා ගැන සිතූ ඇය හිත හදාගනිමින් උන්නාය. එයට දෙමාපියන් හා විහාන්ගේ සහයෝගය ඕනවටත් වඩා ලැබුනි. රශේන් ලඟ උන්නාට වඩා රැකවරණයක් ආදරයක් සෙනෙහසක් මැද ඇය උන්නේ දරුවා ගැන ලොකු බලාපොරොත්තුවකිනි. සතුටකිනි.
කිරිකැටියා මෙලොව එලිය දුටු දින විහාන් සතුටු වුනේ ඔහුගේම ලෙයින් උපන් දරුවෙක්ටත් වඩා ආදරයකිනි. ඔහුගේ මුලු ජීවිතයම දරුවා විය. ඒ ඔහුගේ දරුවෙක් නොවේ යයි එක මොහොතක් නොසිතුනද සිතුදි හා තිබූ බැඳීමේ නම් සහෝදරකමකට වඩා වෙනසක් නොවීය. කිරිකැටියාගේ පියා ලෙස විහාන්ගේ නම දුන් දින සිතුදි හඬා වැටුනි. දරුවා ද විහාන්ට සෙනෙහසින් බැඳී උන්නේ සිතුදිට පවා නලවා ගත නොහැකි වේලාවට විහාන්ගේ කටහඬ ඇසූ පමණින්ද නැලවුනි.
දරුවා ටිකෙන් ටික ලොකු වත්ම කොලු පැටියෙක් වූ ඔහු විහාන්ගේ පසුපසම එල්ලී ගෙන සිටීම ඔහුට හරි ආඩම්බරයක් විය.
- පුතේ... පුතා වෙන කසාදයක් කරගන්න හිතක් නැති එකේ දරුවා ගැන හිතලාවත් සිතූ එක්ක පිලිවෙලක් උනොත් හොඳයි නේද?
- අම්මා.. මේ ලංකාව නෙමේ... කවුරුත් අපේ දේවල් හොයන්නේ නෑ... නංගිට එහෙම ඔය විකාර කියන්න යන්න එපා...
විහාන්ට කියා එපා වූ තැන අම්මා ඒ ගැන සිතූට කරදර කලද ඇගේ අදහසද වෙනසක් නැත.
- අයියා වගේ කෙනෙක් ලබන්න පින් කරන්න ඕන අම්මා... එයා මගේ පව් වලට කරගහන්න ඕන නෑ... අයියාට ලැබෙන්න ඕන ගොඩාක් හොඳ කෙනෙක්...
දෙදෙනාටම කියා එපා වූ තැන අම්මාත් තාත්තාත් නිහඬ විය.
හවසට මුණුබුරා සමඟ ඇවිදින්න යාම අත්තම්මා හා සීයාගේ පුරුද්දයි. එදිනත් තිදෙනාම ගිය පසු ඉතිරි වූ සිතුදි විහාන් එනතෙක් ඔහුගේ පරණ පොත් ගොඩක් අවුස්සමින් උන්නේ ඇය වැඩිදුර අධ්යාපනයට යොමු වීමට හිතමින් උන් නිසාය. පොත් ගොඩ අතරේ ඇයට හමු වූ පැරණි ඩයරියකි. ඈ නිකමට පිටු පෙරලුවේ විහාන්ගේ අකුරු බැලීමට ආසාවෙනි.
එක් තැනක ඈ නතරවිය.
'සිතුදි දිව්යාංජලී' 
කාලයත් සමඟ බොඳවූ අකුරින් වූ සටහන් වී තිබුනේ ඇගේ නමයි. ඇය ඒ පිටුව කියෙව්වේ ගැහෙන හදවතින් හා වෙව්ලන දෑතිනි. තොල් පට පවා වෙව්ලමින් නලල දහදියෙන් තෙත්වනු ඇයට දනුනි.
' එයා වගේම නමත් ලස්සනයි. දිව්යාංගනාවක් වගේ කෙල්ලෙක්.'
ඈ පෙර පිටුව කියෙව්වේ කුතුහලයෙනි.
' කැම්පස් එක ලඟදි කෙල්ලෙක් වාහනේට හැපෙන්න හැදුවා.. '
ඈ දිනය බැලුවාය. 2012 / 03/ 20
ඒ ඔවුන් කැම්පස් එකට ඇතුලු වූ දිනයයි. හඳුන්වා දීමේ වැඩසටහන නිමවී පාරට ආ ඇය එහා පැත්තේ උන් අම්මා දැක කලබල වී වාහනයකට හැපෙන්න ගිය අයුරු මේ දැන් ද මැවී පෙනුනි.
කෙල්ල පිටු පෙරලුවේ වෙව්ලන ඇඟිලි වලිනි.
' මල්ලිගේ බැජ් එකට අලුතින් ආ කෙල්ලෙක්.. '
' සඳ කුමරි වඩින්නේ කවදාද මගෙ ලොවට
ඔය සුමුදු දෙපා පොඩි තබා පරිස්සමට
මගේ රළු හිත සසල කරන එක බැල්මකට
ඉඩක් නැතිවද තවම මගෙ සෙනෙහේ දකින්නට..'
ඉන්පසු දින ගනනාවක් කිසිත් ලියවී නැත.
' හෙට මම මෙහෙන් යන්නම යනවා.. අන්තිම වතාවට සිතුදි දැක්කේ... තව අවුරුද්දකින් දෙකකින් එයා මගේ නංගි වෙයි... ඒ දිහා බලාගෙන ඉන්න තරම් මට බෑ... අම්මා තාත්තා ගැන දුකයි.. ඒත් මගේ හිත හදාගන්න වෙන විසඳුමක් නෑ... ආයේ කිසි කෙනෙකුට මගේ හිතේ ඉඩක් නෑ... '
ඇය එක දිගටම හැඬුවාය. ජීවිතය මුලු මනින්ම ඇයට මග හැරී තිබුනි. ඇයට ඇසුනේ විහාන් නිවසට ආ හඬයි. ඒ ආවේගයෙන්ම ඉදිරියට දිවූ ඈ ඩයරියත් සමඟම ඔහුගේ බෙල්ලේ එල්ලුනේ අඬාගෙනය.
- සිතූ... ඇයි මැණික... 
කොල්ලා ඉන්නේ කිසිත් හිතාගත නොහැකිවය. ඇගේ අතේ වූ ඩයරිය දුටු ඔහුට සියල්ල පැහැදිලි විය.
- ඇති මැණික ඇඬුවා... 
කොල්ලා ඇගේ නලල මතා හාදුවක් තැබුවේ වසර ගණනක් සඟවා උන් ආදරයෙනි.
- කෝ මේ බලන්නකෝ...
ඇයව සිරුරෙන් මුදාගෙන මුලු මුහුණම එකදිගටම සිපගත්තේය. අනතුරුව ඇයව දෝතට ගෙන කාමරයට ගෙනගොස් තැබුවේ ඇඳෙනි. තවත් ඉවසන්නට දෙයක් විහාන්ට නොතිබුණි. ඈ ඔහුට බැඳී ඇතිබව තේරුම් ගන්නට මේ ආදරය මදිද.. විහාන් බර උනේ ඇගේ දෙතොලටය. බොහෝ වේලාවකට පසු සිතුදිටද දැනුනේ නැවත උපන්නාක් මෙන් නැවුම් බවකි.
- මට සමාවෙන්න මහත්තයෝ... කෙල්ලෙක් විදියට ඔයා ලඟට එන්න පින නැතුවට...
විහාන් ඇගේ තොල් මත දබර ඇඟිල්ල තබා තදකලේය.
- ශ්ශ්... මුකුත් කියන්න තහනම්..... මාව බඳින්න කැමතිද මැණික? 
කොල්ලා ඇගේ මුහුණට ලංවිය.
ඇය හිස සොලවද්දී දෑසින් ගැලූ කඳුලු කැට කම්මුල මත තැබූ සටහන එහෙම්ම තියෙන්න දුන් විහාන් ඇගේ දෙතොල් සිපගත්තේ පුදුම ආදරණීය ලෙසිනි.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI